සීත වන්නියේ දලුලන ගොවිතැන | දිනමිණ

සීත වන්නියේ දලුලන ගොවිතැන

දැනට අක්කර 05 ක පමණ ආරම්භ කර ඇති පටක රෝපණ කෝලිකුට්ටු වගාව අක්කර 100 ක් දක්වා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු කෙරේ. පිරිසිදු ස්වාභාවික මීපැණි මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සලසාදීම පිණිස පදියතලාව හෙළ බොජුන්හල ආසන්නයේ මීපැණි වෙ‍ෙළඳ සලක් ආරම්භ කිරීමට සුදානම් කර ඇති අතර. පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරවාන සහ පල්ලේගම ගම්මාන ආශ්‍රිතව බිඟු ගම්මාන දෙකක් ආරම්භ කිරීමට මුලික පියවර ගෙන තිබේ. මි මැසි ජනපද 220 ක් ගොවීන් 60 දෙනෙකුට ලබා දී ඇත.

කන්ද උඩරට හරහා නැගෙනහිර පළාතට ගමන් ගන්නා අය මෙන්ම අම්පාර සහ නැගෙනහිර පළාත සම්බන්ධ කරන මංසන්ධිය වන්නේ මහඔය සහ පදියතලාව නගරයයි.

පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසින් නැගෙනහිර වෙරළබඩ සිට වෙළදාමට සහ උඩරට සිංහල රජවරුන් හමුවීමට ගිය මාර්ගය මෙම ප්‍රදේශ හරහා වැටි තිබුණ බව ඉතිහාසය සාක්ෂි දරයි. ආදිවාසීන්ට ආදරය කළ සුදු දොස්තර ආර්.එල්.ස්පිටල් මහතා ඔවුන් අවශය බෙහෙත් පාන් ආදිය රැගෙන මඩකලපුවේ සිට මහඔයට පැමිණි බව දන්නා පැරැණ්නෝ පවසති.

මහඔය, පදියතලාව ප්‍රදේශය වියළි කලාපයට අයත් වුවත් මෙම ප්‍රදේශ ඉතිහාස ගත වී ඇත්තේ සීත වන්නිය යනුවෙනි. ශ්‍රී ලංකාවේ විශාලම ජලාශය ඉගිණියාගල ඩී.එස්.සේනානායක සමුද්‍රය පිසගෙන එන සීත සුළග මහඔය, පදියතාලාව හරහා නැගෙනහිර දෙසට හමා යයි .

උඩරට සිංහලයන් විසින් 1818 දී කැරලි ගැසීමට උරණ වූ ඉංග්‍රීසි පාලකයින් වැව් අමුණු විනාශ කර දැමීම නිසා මහඔය පදියතලාව ප්‍රදේශ වල ජනතාව මොසම් වැස්සත් සමග හේන් ගොවිතැන් කර අවුරුද්ද වරක් ගොවිතැන් කර අවුරුද්දට අවශ්‍ය ආහාර පවසා ගැනීමට පුරුදු වී සිටියහ.

වියළි කලාපයට අයත් වුවද සම මෙම පළාත් වල සම සීතෝෂ්ණ දේශගුණයක් පැවතියේ නොවැදුල් වන ගහණය නිසාය . රඹකැන්ඔය, පළතුරු වැල්ල , පේරවැල් තලාව වැනි නම් වලින් හැදින්වුණ ගම්මාන වල රස ගුණ පිරි පළතුරු වගා කර ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි . කෙසෙල්, අන්නාසි, පැණි දොඩම් , දෙහි , පේර , අඹ වැනි පළතුරු මෙම ප්‍රදේශ වලදී ගොවීහු විසින් වගා කර තිබු බව පැවසේ.

සැලසුම් කළ වාරි මාර්ග ක්‍රමයන් නොමැති නිසා මෙම ප්‍රදේශ වල ජනතාව ඔක්තෝම්බර් සිට ආරම්භ වන මෝසම් වැසි කාලයේ දී වට්ටක්කා . පැණි කොමඩු , අල බතල , රටකජු , කව්පි ඇතුළු ධානය වර්ග වගා කරති.

පළාත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අම්පාර නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය මගින් මෙම ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු මෙහෙයවනු ලබයි. පළාත් නියෝජ්‍ය කෘෂි කර්ම අධ්‍යක්ෂක කාර්යාලය විසින් පාලනය කරනු ලබන පුහුණු මධ්‍යස්ථානය සහ පැළ තවානක් මහඔය ආරම්භ කර ඇති අතර ඒ මගින් මෙම ප්‍රදේශ වාසීන්ට ඉමහත් සේවාවක් ඉටුවේ. සැලසුම් සහගත වාරිමාර්ග ක්‍රම ක්‍රියාත්මක නොවෙතත් මහඔය , රඹකැන්ඔය ආසන්නයේ විශාල කෙසෙල් වගාවන් තිබුණ යුගය හමාර වී අද මෙම ප්‍රදේශ වලට කෙසෙල් පිට පළාත් වලින් ගෙන ඒමට පුරැද්දක් වී ඇත.

සුවපහසු දේශගුණයක් සහිත වනාන්තර වල මී මැස්සන් ජනාවාස ඉදිකර ගෙන ඇතත් එම කටයුතු තමන්ගේ අතට ගැනීමට ගම්වැසියන් තවමත් උනන්දුවක් නැති බව පෙනේ.

කාලයකට පිපෙන බිම්මල් ආහාරයට ගැනීමට ගම්වාසී කාන්තාවන් ගේ කැමැත්තක් ඇතත් වානිජ කර්මාන්තයක් ලෙස එම කටයුත්තට යොමු වී නැත.

මෙම සියලු ප්‍රශ්න වලට විසදුම් ලබා දීමට නැගෙනහිර පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක ඩී.එම්.එස්.බී.දිසානායක මහතා මූලික පියවර ගෙන ඇත.

මේ අනුව වන ප්‍රදේශයේ ගොවීන් කෙසෙල් වගාවට යොමු කිරිමට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපුරා ලීමටත් වැඩ ආරම්භ කර ඇත්තේ. දීර්ඝ කාලයක් සිදු කරන කෙසෙල් වගාව නිසා පැතිර යන ලෙඩ රෝග වලක්වා ගැනීමටත් කෙසෙල් පැළ ප්‍රවාහණයට ඇති අපහසුවත් වඩාත් අස්වනු ලබා ගත හැකි වන පටක රෝපණ කෝලිකුට්ටු වගාව ගොවීන්ට හදුන්වා දීමෙනි. දැනට කිහිප දෙනෙක් යොමු වී සිටින මෙම පටක රෝපණ කෙසෙල් වගාව අක්කර 100 ක් දක්වා වැඩි දියුණු කර ගොවීන්ගේ ආදායම වැඩි කර සෞඛ්‍ය ආරක්ෂිත කෙසෙල් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු සැලසුම් කර තිබේ.

මී මැසි පාලනය වැඩි දියුණු කර විශ්වාසවන්ත මී පැණි සපයා ගැනීමට අවශ්‍ය කටයුතු බිගු ගම්මාන හරහා සිදු කිරීමට රුපියල් 1400 ක් වැනි මුදලකට මී පැණි පෙට්ටි ලබා දී මහා වනාන්තර වල සිටින මි මැස්සන් එම පෙට්ටි වලට යොමු කර ක්‍රමවත් ලෙස මි පැණි අස්වනු ලබා ගෙන සෞඛ්‍යාරක්ෂිත ලෙස මහජනතාවට අලෙවි කිරීමට මී මැසි පාලනේ යෙදි සිටින ගොවීන් යොමු කිරීමටත් ඔවුන්ට හොද ආදායමක් ලබා ගැනිමටත් වැඩ පිළිවෙලක් සකසා තිබේ .කර්මාන්තයක් ලෙස බිම්මල් නිෂ්පාදන කිරිමට ප්‍ර දේශවාසී තරුණ තරුණියන් යොමු කිරීම සදහා පුහුණු කිරීම් කටයුතු ද මේ දින වල සිදු කරගෙන යයි.

පදියතලාව කිරවාන කේ.එච්.බී.ප්‍රේමතිලක මහතා - උත්සහවන්ත තරුණ ගොවි මහතෙකි.

ගිය අවුරුද්දේ මාර්තුවල පටක රෝපණ කෝලිකුට්ටු වගාව ආරම්භ කරනු ලැබුවේ නැගෙනහිර පළාත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අම්පාර නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ මෙහෙයවීමෙන් ය. අපි තුන් දෙනෙක්ම කටයුත්තට ඉදිරිපත් වුණා . මම අක්කර දෙකක් පටක රෝපණ කෙසෙල් වගාවට යොමු වුණා . පැළ 850 . පැළ ගෙනාවේ පස්යාලෙන් . පැළයක් රැපියල් 100 ක් වනවා . ප්‍රවාහන ගාස්තු පැළයකට රු.10 ක් වැය වනවා . අපි තුන් දෙනා පැළ ගෙන ඒමට වාහන තුනක් රැගෙන ගියා . පැළ විනාශ නොවන්නට එසේ කළ යුතුය.

පැළ වලට ක්‍රමාණුකූවල පොහොර යෙදිය යුතුයි. ගොම පොහොර ට්‍රැක්ටරයක් රුපියල් 6000 ක් වනවාග මේ වන විට රු . ලක්ෂ දෙක හමාරක් පමණ වැය වී තිබෙනවා. මාර්තු, අප්‍රේල් වන විට කෙසෙල් කැන් වෙළද පොළට යැවීමට හැකියාව ලැබෙනවා.

පදියතලාව කිරවාන පදිංචි එල් .ජී. සුමනදාස මහතා - මීමැසි පාලනය කරගෙන යන ගොවි මහතෙකි .

මී පැණි ඖෂධයක් . මීපැණිවලට වෙනත් පැණි වර්ග කවලම් කරන නිසා විශ්වාසවන්ත කෙනෙකුගෙන් මිලට ගැනීමට පාරිභෝගිකයන් කැමති . මම මී පැණි බෝතලයක් අලෙවි කරන්නේ රුපියල් 1000.00 ක ටයි. වඩාත් විශ්වසවන්තව මී පැණි මිල දී ගැනීමට සමහර උදවිය මී වද ඉල්ලනවා . කිලෝවක් රු.4000 කට අලෙවි කරනවා . මීමැසි පාලන ඉතා වාසි දායකයි. අප අවට වනාන්තරවල තියෙන මී මැසි ජනපද . එම මී මැසි ජනපද අල්ලා ගැනීමට මි මැසි පෙට්ටියක් රු.1400 කට මිලදී ගැනීමට පළාත් කාෂිකර්ම දෙපාර්තමේන්තුව පහසුකම් සලසා තිබෙනවා . මේ කටයුත්තට කැපවීමක් තිබිය යුතුයි. අපට සිටින ප්‍රධාන හතුරන් දෙඹරුන් කටුස්සන්ය. මි මැසි පෙට්ටි විවෘත කරන විට එම හතුරන්ට ඇතුල් වීමට ඉඩ නොලැබෙන පරිදි සෙවිල්ලෙන් සිටිය යුතුය .

පදියතාලාව කෘෂිකර්ම උපදේශක එස්.ඩබ්.එල්. රාජපක්ෂ මහතා - අස්වනු ලැබීමට සුදානම් කෙසෙල් පැළයකට තවත් පැළ දෙකක් ඉදිරි කර අනෙක් පැළ ඉවත් කරනවා. එසේ කරන්නේ පීදෙන කෙසෙල් කැනේ බර වැඩි කර ගැනිම සදහායි. ඒසේ කරන විට හොදින් පිරැණ ගෙඩි සහිත කෙසෙල් කැනක් ලබා ගැනීමට හැකියි . කෙසෙල් අක්කරයකින් අවුරුද්දකට රුපියල් ලක්ෂ 24ක ආදායමක් ලබන්න හැකියාව තිබෙනවා.

මී පැණි නිෂ්පාදනය සදහා මී මැසි පාලනය පිළිබද ගොවීන් පුහුණු කිරීම සදහා තාක්ෂණ උපදෙස් ලබා දිම අප දැනටමත් කර ගෙන යනවා . එපමණක් නොව බිම් මල් වගාව ස්වයං රැකියාවක් ලෙස සිදු කර ගෙන යාම සදහා පුහුණුවක් ලබා දෙමින් බිම් මල් නිෂ්පාදනයට යොමු කිරීමත් බිම් මල් ආහාරයට ගැනීම සදහා කැමැත්තක් දක්වන අයට ඒ සදහා අවස්ථාවක් ලබා දීමටත් අපි කැපවීමක් කරනවා .

නියෝජ්‍ය කෘෂි කර්ම අධ්‍යක්ෂක (පළාත්) ඩි.එම්.එස්.පී.දිසානායක මහතා -

රැකියා සොයමින් නගරයට ඇදී යන ගම්මාන වල තරුණයන්ට පළතුරු වගාවන් ගෙන් ආදායම් ලබා ගැනිමට අවස්ථාව සලසා දීම සහ පළාතේ නිෂ්පාදනය කරනු ලබන පළතුරු ආහාරයට ගෙන ජනතාවගේ සෞඛ්‍ය තත්වය රැක ගැනීමට අවස්ථාව සලසා දිම අරමුණ වන අතර . පැපොල් , පටක රෝපණ කෝලිකුට්ටු, කෙසෙල් වගාවන් දැනටමත් ආරම්භ කර ඇත.

මෙම ගොවිතැනට යොමු වන අයට කෘෂි ළිං , වතුර පොම්ප , ක්ෂුද්‍ර ජල යෝජනා ක්‍රම, ජල නල , 50% සහන යටතේ ලබා දීමට සුදානමින් සිටිනවා.

කෙසෙල් වගාව 2019 වසරේ දී ව්‍යාප්ත කිරීම සදහා රුපියල් ලක්ෂ තුනක මුදලක් අම්පාර දිසාපති කාර්යාලය විසින් වෙන් කර දී ඇති අතර එම මුදල යොදවා ලබා ගන්නා පැල 4200 ක් ලබා දී ගොවීන්ට ලබා දී කෙසෙල් වගාවට යොමු කිරීමට සුදානම් කර ගෙන යනවා.

සිංහල අලුත් අවුරුද්දේ දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ උත්සව අවස්ථාවන් එළඹෙන මාසවල දී අස්වනු නෙළා ගැනීම සදහා කෙසෙල් වගාව සිදු කිරිමට ද සැලසුම් කර තියෙන්නේ.

දැනට අක්කර 05 ක පමණ ආරම්භ කර ඇති පටක රෝපණ කෝලිකුට්ටු වගාව අක්කර 100 ක් දක්වා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු කෙරේ.

පිරිසිදු ස්වාභාවික මීපැණි මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සලසාදීම පිණිස පදියතලාව හෙළ බොජුන් හල ආසන්නයේ මීපැණි වෙළද සැලක් ආරම්භ කිරීමට සුදානම් කර ඇති අතර.

පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරවාන සහ පල්ලේගම ගම්මාන ආශ්‍රිතව බිඟු ගම්මාන දෙකක් ආරම්භ කිරීමට මුලික පියවර ගෙන තිබේ. මි මැසි ජනපද 220 ක් ගොවීන් 60 ක් දෙනාට ලබා දී ඇත.

මී මැසි පාලනය සදහා කැමැත්තෙන් සිටින ගොවින් බණ්ඩාරවෙල බිදුනවැව මී මැසි පාලන ඒකකයට යවා පුහුණුවක් ලබා දී ඇති අතර වනාන්තර වලින් අල්ලාගෙන එන මී මැසි ජනපද රදවා ගැනීම සදහා මී මැසි පෙට්ටි ලබා දී ඇත.

ජුනි, අගෝස්තු මාස ඇතුළත එක් මී පැණි පෙට්ටියකින් මි පැණි බෝතල් 06 ක් ලබා ගත හැකි වෙයි. මී පැණි බෝතලයක වෙළද පොල වටිනාකම රු. 1200 කි. විශ්වාසදායී ලෙස මි පැණි මිලදී ගැනීමට

ඇතැම් අය මී වද මිලයට ගනිති. මී මැසි පෙට්ටියක තිබෙන මී වද 06 කින් එකක් රුපියල් 4000 බැගින් අලෙවි කරති. මී මැසි ජනපද පවත්වාගෙන යන ගොවීන්ට මී මැසි පෙට්ටියකින් රුපියල් 24000 ක ආදායමක් ලබා ගත හැකි වනු ඇත

පිරිසිදු මී පැණි සහතිකයක් ඇතිව මහජනයාට මීලදී ගැනීම සදහා බෝතලයට ලේබලයක් අලවා සහතික කිරීමටත් එම මී පැණි බෝතල් පදියතාව හෙල බොජුන් හල ආසන්නයේ ඉදිකෙරෙන වෙලද සැලකින් මිලදී ගැනීමටත් අවස්ථාව සලසා දීමට සුදානමින් සිටිනවා.

අම්පාර මහ දිසාපති ඩි.එම්.එල්. බණ්ඩාරනායක මහතා - සාම්ප්‍රදායික කෙසෙල් වගාව කිරීමට පැළ හෝ කෙසෙල් අල යොදා ගනිති . කෙසෙල් වගාවට ලෙඩ රොා්ග පැතිර යාමටත් ඒ නිසා ඉඩ තිබෙනවා . ඒවා ප්‍රවාහණය කිරීමටත් අපහසුයි . ඒ නිසා වැඩි වියදමක් දැරීමට සිදු වනවා . නමුත් නවීන තාක්ෂණය අනුව සිදු කරනු ලබන පටත රොපණවගාවන් මගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැක වනවා .

මහඔය පදියතාලව ප්‍රදේශීය ලේකම් කොට්ටාස දෙක තුළ තිබෙන අසීමිත ඉඩම් වලින් ප්‍රයෝජන ගනිමින් ප්‍රදේශ වාසීන්ට මෙම පටක රෝපණ කෙසෙල් වගාවට යොමු වී රට වැසිනයන්ට පිරිසිදු සෞඛ්‍යාරක්ෂිත කෙසෙල් අස්වැන්නක් ලබා ගෙන හොද ආදායමක් ලබා ගැනිමට හැකියාව ලැබෙනවා .

පියසේන වතුදුර
දිගාමඩුල්ල සංචාරක 

නව අදහස දක්වන්න