පතල් ඩීල් සහ කුණු කොන්ත්‍රාත් ඩීල් | දිනමිණ

පතල් ඩීල් සහ කුණු කොන්ත්‍රාත් ඩීල්

ඇමරිකන් හස්ල් 54

“ කැම්ඩන්වල කුණු කොන්ත්‍රාත් එක කැට්ස්ට දෙන එක සිම්පල්. අපිට පුළුවන් මුලු දිස්ත්‍රික්කයකම කුණු කොන්ත්‍රාත්තු කැට්ස්ට අල්ලලා දෙන්න. මට ඒකට පොටක් පෑදීගෙනයි එන්නේ. ෆිලඩෙල්ෆියාවලට අලුතෙන් තේරිලා එන්න යන නගරාධිපති විලියම් ග්‍රීනුයි, නිව් ජර්සි නගර සභාවේ සභාපති ජෝර්ජ් ෂ්වාර්ට්සුයි මම ළඟින්ම ආශ්‍රය කරන හින්දා වැඩේ අමාරුවෙන එකක් නැහැ. ෂ්වාර්ට්ස් නම් ටිකක් අමාරුකාරයෙක්. මිනිහාට පගාව දෙන්නම වෙනවා. ඒත් වැඩේ ෂුවර්.

ඇමරිකානු ජනපති පවා තම අත පොවන මානයේ තබාගෙන සිටි සෙනේටර් විලියම්ස් වූ කලී රජයේ කොන්ත්‍රාත්තුවලට වගකියන ඉදිරිපෙළ බලවතකු විය. රජයේ කොන්ත්‍රාත්තු ලබාගැනීමේදීත්, රාජ්‍ය ආරක්ෂක සේවාවට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් හඳුනාගැනීමේදීත් අත්‍යවශ්‍ය අංක එකේ සාධකය වූයේ සෙනේටර් විලියම්ස්ය. කිසිම ආයෝජනයක් සිදුකර නොතිබුණත්සෙනේට්වරයා ටයිටේනියම් පතල් ව්‍යාපාරයේ කොටස්කරුවකු කරගෙන තිබුණේ ඒ හේතුව නිසාය. පතල් ව්‍යාපාරයේ සෙනේට්වරයාගේ භූමිකාව රහසක්ව තබාගැනීමට පෙළඹවූ ප්‍රධානම හේතුවද එයමය. සෙනේට් භූමිකාව අතකොළුවක් කරගනිමින් පතල් ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් යොදාගන්නේ එහි කොටස්වලට හිමිකම් කීමේ අරමුණින් බව ප්‍රසිද්ධියට පත්වුවහොත් නවතින්නට සිදුවන්නේ ෆෙඩරල් අපරාධ අධිකරණය හමුවේ බව සෙනේට්වරයා හොඳින් දැන සිටියේය.

සෙනේටර් විලියම්ස්ගේ පතල් භූමිකාවේ ගැටලුව විසඳුණේ තවත් ගැටලු දෙකක් උද්ගත කරමිනි. ඇබ්ස්කැම් කණ්ඩායම යළිත් ඔළුගෙඩි හප්පාගන්නට පටන් ගත්තේය. පළමුවැන්න ටයිටේනියම් පතල ගැන දක්වන උනන්දුව මේ යැයි ඔප්පු කරන්නේ කෙසේද යන්නය. විලියම්ස්ගේ උනන්දුවට හේතුව වසන් කරගෙන හිටියේ ඔහුගේ නියෝජිත ෆෙයින්බර්ග්ය. ෆෙයින්බර්ග්ගේ උනන්දුවට සැඟවුණ හේතුව තිබුණේද කාටත් අත පෙවිය නොහැකි මානයකය. ඊළඟ ගැටලුව සෙනේටර් විලියම්ස් පතල් ව්‍යාපාරයෙන් තම ලාභය ගන්නේ එහි හිලව්වට, පතල් ව්‍යාපාරයට වාසිවන පරිදි වැඩ කිරීමට රජයට බලපෑම් කිරීමේ පදනම පිටය යන්න ඔප්පු කිරීමට නෛතික සාක්ෂි නැතිවීමය. ජෝන් ගුඩ් කියන ආකාරයට කිසිවකු දූෂිතයකු බව දැනගැනීම එකකි. එය සාක්ෂි ඇතිව ඔප්පුකිරීමට අපරාධ නඩුවක් ගොනු කිරීම තවෙකකි. ඇබ්ස්කැම් මෙහෙයුම ඉදිරියට ගෙන යා නොහැකිව හිරවූ සෑම අවස්ථාවකදී මෙන්ම මෙතැනදීත් ගැලවුමට ආවේ වෙයින්බර්ග්ගේ උපාය ඥානයයි.

“ ටයිටේනියම් ඩීල් ටික හැන්ඩ්ල් කරන්න අපි අලුත් ගේමක් පටන්ගමු. අලුත් පතල් සංස්ථාවක් හදලා එයාලගේ ඔක්කොම ටයිටේනියම් ගනුදෙනු ටික ගාණට කරගෙන යන්න ඒකට භාරදෙමු. එරිචෙට්ටි තමයි සංස්ථාවේ වැඩවලදී අපේ ව්‍යාපාරික සගයා කියලා සෙනේටර්ටයි, ෆෙයින්බර්ග්ටයි කියමු. පතල් වැඩවලට යසීර්ගෙන් සල්ලි පන්නගන්න නම්, මටයි, ටෝනිටයි, නගරාධිපතියටයි එයාලගේ පතල් බිස්නස් එක ටිකක් එහෙන් මෙ‍ෙහන් රන් කරන්නයි, ඒකේ ලාභෙන් කොටහකුයි ඕනේ කියලත් කියමු. සංස්ථාවේ කොටස් ටිකක් සෙනේටර්ට දීලා, ඒකේ හිලව්වට ආණ්ඩුවෙන් අපිට කරලා දෙන්න එයා එකඟවන දේවල් මොනවාද කියලා දැන ගන්න අපිට පුළුවන්. එතකොට සෙනේට්කාරයා නිකම්ම දැලේ. කොටස් නිකම්ම ගන්න එයා අපිට ඒ වටිනාකමට හිලව්වෙන්න දෙන්නේ මොනවාද කියලා එයාට කියන්නම වෙනවා. ඒ වගේ දෙයක් රෙකොඩ් කරගත්ත කියන්නේ පුචියෝට ලුණු ඇඹුල් ඇතුව හොඳවැයින් කේස් එකක් හදාගන්න, ඒකම ඇතිනේ. “

බැලූ බැල්මට එය නිර්භීත සැලැස්මක් විය. නමුත් ඒ එඩිතරකම ජෝන් ගුඩ්ගේ සිත් ගත්තේය. හුදෙක් නමට පමණක් සීමාවු සංස්ථාවක් වුවත්, අනාගතයේදි ඒ සම්බන්ධයෙන් තීරණ රැසක් ගැනීමට සිදුවනු නියතය. සැලැස්මේ ඉදිරිය සකස් කිරීමට සිදුවන්නේ සැලැස්ම ක්‍රියාත්මක වන අතරවාරයේදීමය. එය ඇබ්ස්කැම් කණ්ඩායමට තවත් අභියෝගයකි. නමුත් දැනට පවතින තත්වය අනුව එය අපූරුවට ගැලපෙන වෙයින්බර්ග්ටම කියාපු සැලැස්මකි. දැලට හසුවූ ගොදුරේ ගෙලට, ඔහුගේම කෑදරකමේ තොණ්ඩුව තවත් සිරකිරීමකි.

“අපි ඒකත් කරලා බලමු.“

ගුඩ් සිය අවසන් වචනය දුන්නේය.

සිය කාර්යාලයේ ජනේලයෙන් එපිටට දෑස් යොමුව තිබුණත් වෙයින්බර්ග් දැන් මේ කරමින් ඉන්නේ තමාගේම සැලැස්මේ ඊළඟ පියවර සංවිධානය කිරීමයි. ඊට මොහොතකට පෙර ඔහු සෙනේටර් විලියම්ස්ගේ නියෝජිතයා මෙන්ම නීතිඥයාද වන ඇලෙක්සැන්ඩර් ෆෙයින්බර්ග්ට සුබ ආරංචියක් ලබා දුන්නේය.

“ඔන්න ඇලෙක්ස් වැඩේ හරි. සැවානාවල ඇමරිකන් සිනිමිඩ් එකයි, බ්ලු රිජ්වල ෆැක්ටරි එකයි ගන්න යසීර්ගෙන් කොහොම හරි ඩොලර් මිලියන් සීයයක් පන්න ගත්තා. ඒකට හොඳ ගේමක් දෙන්න වුණා. වකාරේට සල්ලි තිබුණත් මිනිහා හොඳ හේතුවක් නැතුව ඩොලර් එකක්වත් හොලවන්නේ නැහැ. හැබැයි ඉතින් එක කොන්දේසියක් උඩ. සල්ලි ටික ඔහේට පාස්කරන්න නම් මගේයි ටෝනිගෙයි ‘ඕකේ‘ එක ඕනේ කියලයි යසීර් කියන්නේ. මිනිහාට අපි දෙන්නා ඇරෙන්න මිනිහාගේ ගෑනිවත් විශ්වාස නැහැ. ඉතින් වෙච්ච මහන්සියේ හැටියට අපි දෙන්නටත් දෙයක් තියෙන්න එපැයි. ඔයාට තියෙන්නේ පතල් සංස්ථාවේ ලාබෙන් කොටහක් අපි දෙන්නටයි එරිචෙට්ටිටයි දෙන එක. ඒක යසීර් දැනගන්න ඕනේ නැහැ. ඒක අපි දෙතුන්ගොල්ලෝ අතරේ වෙච්ච ඩීල් එකක්. මොකද කියන්නේ. මෙහෙම චාන්ස් හැමදාම වදින්නේ නැහැ.“

“හැමදාම හැමෝම එක්ක ඩීල් දාන අපිට ඕක මොකක්ද මෙල් ? ඇරත් මේ වැඩෙන් අපි හැමෝම ගොඩයනවානේ. වැඩේ තීන්දුයි කියලා හිතා ගන්න.“ ෆෙයින්බර්ග් දෙපැත්තට වැනෙන්නේ නැතිව දුන් කෙළින් උත්තරය නිසා, බලාපොරොත්තු වූ පරිදිම සිය යෝජනාවෙන් ඔහු ප්‍රීතියට පත්ව සිටින බව දැන වෙයින්බර්ග් තවත් ඇමක් දැම්මේ ඩොලර් මිලියන සියයේ ණය ලබාදීම කල් දැමීමේ අරමුණිනි. ඇට්ලන්ටා නුවර ‘ඩූන්ස්‘ කැසිනේ ජාලයේ ශාඛාවක් ඉදිකිරීමට අවශ්‍ය මුල්‍යාධාර අබ්දුල්ගෙන් ලබාදෙන ලෙස ෆෙයින්බර්ග් ඉල්ලා තිබුණේ මීට කලකට ඉහතදීය. ඊට ප්‍රමුඛත්වය දී වැඩේ අවසානයක් දකින තුරු ඩොලර් මිලියන සියයේ ණය ලබාදීම ටික කලකට පමාවනු ඇති බව වෙයින්බර්ග් දන්වා සිටියේය. ඩුන්ස් කැසිනෝ ජාලයේ අයිතිකරුද ඇබ්ස්කැම් දැලට කොටුකර ගැනීමට තරම් වටිනා සලකුණක් වූ බැවින් එක ඇමෙන් ගොදුරු දෙකක් ඩැහැගැනීමට එය කදිම උපායක්ද විය.

“ නගරාධිපතියාට පතල් සංස්ථාවේ කොටස් දෙන්න ගත්ත තීරණේ තමයි හොඳම වැඩේ. දැන් මිනිහාට කොහෙත්ම අපිව දාලා යන්න බැහැ. මිනිහා දැන් යසීර්ගෙන් හම්බවෙන්න තියෙන ඩොලර් මිලියන් දාහතේ කොක්කේ පැටලිලයි ඉන්නේ. ඒකට තියෙන උනන්දුව හින්දා දැන් සෙනේටර්වයි, සැන්ඩි විලියම්ස්වයි රන් කරන්නෙත් මිනිහා. කොටින්ම දැන් හැමෝම දුවන්නේ නගරාධිපතිගේ කීමට. කුණු අවුස්සන ජෝර්ජි කැට්ස්වත් නගරාධිපතිට අඳුන්වලා දුන්නම වැඩේ තව ටිකක් නැඟලා යයි.“

වෙයින්බර්ග් තනිවම සිතුවේය. කවදත් තමා සිතන දේවල් ඇත්ත වන බවත් හේ දැන සිටියේය.

වසන්තය කඩිනමින් ගෙවී යද්දී ඊට නොදෙවැනි වේගයකින් ඇබ්ස්කැම් මෙහෙයුමත් ප්‍රගතිය ලබමින් සිටියේය. නිව්යෝක්, ෆ්ලොරිඩා, ලෝන්ග් අයිලන්ඩ්, ඇට්ලන්ටා සිටි හා නිව් ජර්සි වැනි පාතාලයේ තදාසන්න නගරවලින් වැල නොකැඩී අලුත් මගඩි ලැබෙමින් තිබූ වකවානුවකි ඒ. එරිචෙට්ටි හා ෆෙයින්බර්ග්ද තවත් අලුත් වැඩකට අතගසා තිබිණි. ඒ නිව් ජර්සි නුවර ‘ගාර්ඩ්න් ස්ටේට්‘ නමින් අලුත් තුරඟ ධාවන පිටියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකි. ඊට අබ්දුල්ගෙන් මුදල් ණයට ගෙන දෙන ලෙස දෙදෙනා කළ ඇවිටිලිවල කෙළවරක් නැත. ණයේ හිලව්වට තුරඟ තරඟ පිටියට විශේෂ බදු සහනයක් ලබාදෙන පණතක් රජය ලවා සම්මත කරවාදීමටද එරිචෙට්ටි ගිවිසුම් දී තිබිණි.

ඇබ්ස්කැම් ගනුදෙනු ගැන සොයාබලමින්, සලකුණු මෙල්ල කර ගන්නා අතරවාරයේ නිවෙසක් සොයා ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමටත් වෙයින්බර්ග්ට සිදුව තිබිණි. ඒ අතර බිරිය මාරිගෙන් එන පැමිණිලි නොසලකා හැරීමටද ඔහුට හැකියාවක් තිබුණේ නැත. ඇබ්ස්කැම් ගනුදෙනුකරුවන්ගේන් දෛනිකව එන පනහකට හැටකට අධික දුරකතන ඇමතුම්වලට පිළිතුරුදී හෙම්බත්ව සිටි මාරිගේ ඉවසී විට රතු ඉර පැන තිබිණි.

“මෙල්, මට තවත් මේ කරදර උහුලන්න බැහැ. ඇයි දෙයියනේ මමත් මනුස්සයෙක්නේ. ඔයා ඉන්නවා කියලා ගෙදරදොර වැඩක් හොයල බලන එකක්යැ. උයන පිහන වැඩයි, ගෙදර වැඩයි, ළමයාගේ වැඩයි ඔක්කොම කරන ගමන් දවසකට කෝල් පනහකට හැටකට උත්තර බඳින්නත් වෙලා. හරිනම් මට දැන් ටෙලිෆෝන් ඔපරේටර් විදිහට පඩියක් දෙන්න වටිනවා.“

මාරිගේ කතාව අසාධාරණ නැතැයි වෙයින්බර්ග්ට සිතිණ. එරිචෙට්ටි එදින ලබාදුන් ඇමතුම අහවර කිරීමටම වෙයින්බර්ග්ට පැයකට හමාරකට වැඩි කාලයක් ගතව තිබිණි. ඒ එක ඇමතුමකින් කරගැනීමට වැඩ රාශියක් නගරාධිපතිට තිබූ නිසාය. තුරඟ ධාවන පථයට අවශ්‍ය ණය, බොබ් ගුචියෝන්ගේ කැසිනෝ අවන්හල ඉදිකිරීමට ලබාදෙන්නට පොරොන්දු වූ ණය මුදල, ටයිටේනියම් පතල, කැම්ඩන් නගරයේ ඉදිකරන්නට යන තවත් නිවාස සංකීර්ණයක් පිළිබඳ ගනුදෙනු මදිවාට ඇට්ලන්ටා නුවර කැසිනෝ අවන්හල් ඉදිකිරීමට සුදුසු යැයි තමා තෝරාගත් ස්ථානවල ලැයිස්තුව යසීර්ට පෙන්වීමටද එරිචෙට්ටිට තදින්ම වුවමනාව තිබිණි. එක දුරකතන ඇමතුමකින් ඒ සියල්ල වෙනුවෙන් කේවල්කරන නගරාධිපති ඇමතුම නිමා කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂ සභාපතිවරයා සමඟ හමුවකට දිනයක් වෙන්කර දෙන ලෙස ඉල්ලමිනි. දවසකට එවැනි දුරකතන ඇමතුම් පනහක් හැටක් සමඟ ඔට්ටුවීමට වෙයින්බර්ග් හැර අන් ජගතකු නැත.

එරිචෙට්ටිට කැට්ස් හඳුන්වාදීම සියල්ලට වඩා වැදගත් බව සිතූ වෙයින්බර්ග්, ඇට්ලන්ටා නුවර හොලිඩේ ඉන් හෝටලයේ හමුව සංවිධානය කළේය. එය කුණු කොන්ත්‍රාත්තු රජකළ හමුවක් විය. කැම්ඩන් පමණක් නොව මුලු නිව් ජර්සි නගරයේම කසළ බැහැර කිරීමේ කොන්ත්‍රාත්තු කැට්ස්ට ලබාදීමට නගරාධිපති එකඟ විය.

“කැම්ඩන්වල කුණු කොන්ත්‍රාත් එක කැට්ස්ට දෙන එක සිම්පල්. අපිට පුළුවන් මුලු දිස්ත්‍රික්කයකම කුණු කොන්ත්‍රාත්තු කැට්ස්ට අල්ලලා දෙන්න. මට ඒකට පොටක් පෑදීගෙනයි එන්නේ. ෆිලඩෙල්ෆියාවලට අලුතෙන් තේරිලා එන්න යන නගරාධිපති විලියම් ග්‍රීනුයි, නිව් ජර්සි නගර සභාවේ සභාපති ජෝර්ජ් ෂ්වාර්ට්සුයි මම ළඟින්ම ආශ්‍රය කරන හින්දා වැඩේ අමාරුවෙන එකක් නැහැ. ෂ්වාර්ට්ස් නම් ටිකක් අමාරුකාරයෙක්. මිනිහාට පගාව දෙන්නම වෙනවා. ඒත් වැඩේ ෂුවර්. “

“නගරාධිපතිතුමා කියන දේකට මමත් ඔට්ටුයි. ඔබතුමාට ඕන විදිහට වැඩේ සිද්ධ වෙයි. මේ ජෝර්ජි වචනයක් දුන්නොත් දුන්නාම තමයි.“ කැට්ස් පැවසුවේ ස්ථිරසාරවය.

(කැට්ස් පසුව වෙයින්බර්ග්ට රහසින් හෙළි කළේ තමා නගරාධිපතිට කුණු කොන්ත්‍රාත්තුවේ හිලව්වට ඩොලර් විසිදහසක ණයක් දුන් බවයි.)

“එතකොට දිස්ත්‍රික්කයේම කුණු අයින් කරන්න ෆැක්ටරි එකක් හදන වැඩේ අබ්දුල් හරි යසීර් ලව්වා හරි කරගන්න අපිට පුළුවන්. කැට්ස්ට තියෙන්නේ කුණු එකතුකරලා තියාගන්න එකයි. නගරේ කුණු බැහැර කරන වැඩේ පුද්ගලික සමාගමකට දෙනවා නම්, නගර සභාවේ කසළ ශෝධකයෝ රස්සාවෙන් අයින් කරන්න ෆිලඩෙල්ෆියාවට සිද්ධ වෙයි. ඒත් මොකද ? කුණු ජොබ් එකේ ගතමනාව අපිට බෙදා ගන්න බැරියැ.“

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ

පරිවර්තනය රුක්ලන්ති පෙරේරා

සඳුදා: චෙක්පත් මාරු කිරීමේ මගඩියක්

නව අදහස දක්වන්න