ලෝකයේ ධනවත් ම රාජ්‍යය වන අමෙරිකාවේ රාජ්‍ය සේවකයා මේ මාසය ගෙවා දමන්නේ අසහනයෙන් හා කෝපයෙන් ය. ඊට හේතුව මෙවර වැටුප් ගෙවීම පිළිබඳ ගැටලුවක් ඇති බැවින් ය. මේ අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයා 2019 ජනවාරි මාසය ඉතා තෘප්තිමත් ව අභිමානයෙන් ගෙවා දමන බව විශ්වාස කළ හැකි ය. හේතුව මෙරට රාජ්‍ය සේවකයාගේ වැටුප තවත් වරක් ඉහළ දමා ඇති බැවින් ය. පහළම ශ්‍රේණියේ රාජ්‍ය සේවකයකුගේ මූලික වැටුප රුපියල් දෙදහස් පන්සියයකින් පමණ වැඩි වනු ඇත. ඉහළම ශ්‍රේණියේ රාජ්‍ය සේවකයකුගේ මූලික වැටුප රුපියල් දසදහසකින් පමණ වැඩි වනු ඇත. විශේෂය වන්නේ මේ මාසයේ සිට ම ඊට අදාළ ගෙවීම් ලබාදීම ය.
ප්‍රංශ රජය ඉන්ධන බද්ද ඇතුළු තවත් බදු ගණනාවක් ඉහළ දැමූ අතර; ඒ හේතුකොට රට පුරා කෝලාහල ඇතිවිය. කහ ජැකට් පෙළපාලි ඒ අතර ප්‍රධාන විය. රටේ පොදු සම්පත් විශාල ප්‍රමාණයක් කෝලහලවලදී විනාශයට පත් විය. මෙහි සමස්ත පාඩුව තව ම ගණනය කර නැත. මේ අතර ශ්‍රී ලංකා රජය තෙවන වරටත් ඉන්ධන මිල පහත දමා තිබේ. ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් බැරලයක මිල ශීඝ්‍රයෙන් පහතට ගමන් කරන්නේ නැතිවුව මහජනයාට ලබාදෙන සහනයක් ලෙස සලකා තෙවන වරටත් තෙල් මිල පහත දමා ඇත. මෙහි සම්පූර්ණ වාසිය ජනතාවට ලබා දෙන්නට සෙසු ක්ෂේත්‍ර පෙලඹෙන්නේ නම්; ජනතාවගේ ජීවන තත්ත්වය සතුටුදායක වනු ඇත.
1980 ගණන්වල දී රාජ්‍ය සේවකයකුගේ වැටුප හා සාමාන්‍ය ව්‍යාපාරිකයකුගේ ආදායම අතර බරපතළ පරතරයක් තිබිණි. සාමාන්‍ය පන්තියේ රාජ්‍ය සේවකයකුට බැංකුවකින් සතුටුදායක ණය මුදලක් ලබාගැනීමේ හැකියාව එදා තිබුණේ නැත. යාන්තමට බැංකු ණයක් ලබාගත හැකිව තිබුණේ විධායක ශ්‍රේණියේ ඉහළ නිලධාරියකුට පමණි. මේ අනුව රාජ්‍ය සේවකයා දිළින්දෙකැ’යි මතයක් සමාජය තුළ ස්ථාපිත විය. රාජ්‍ය සේවකයාගේ අභිමානය බිඳ වැටිණි. ඔහුගේ සාකල්‍ය ජීවිතයට ම මෙය බලපෑවේ ය. රාජ්‍ය සේවයට වඩා පෞද්ගලික අංශය කෙරෙහි තරුණ පරපුරේ ආකර්ෂණය හිමිවූයේ 1980 ගණන්වලින් පසුව යැයි කියන්නට පුළුවන.
සාමාන්‍යයෙන් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය වන්නේ රාජ්‍ය සේවය හැකිතාක් කප්පාදු කරනු යන්න ය. රාජ්‍ය සේවය රටේ සංවර්ධනයට ලබා දෙන දායකත්වය අඩු බව ද, රාජ්‍ය - ආයතන බෙහෙවින් පාඩු ලබන බව ද ඉහත කී ආයතනවල මතය වෙයි. මේ අනුව විශ්‍රාම වැටුප් ක්‍රමය පවා වෙනස් විය යුතු බව ජාත්‍යන්තර ආයතන පෙන්වා දෙයි. ශ්‍රී ලංකා රජය ඉහත කී ආයතනවල නිර්දේශ හිස් මුදුනින් පිළිගන්නේ නැත. ණය හා ආධාර ලබාගැනීම සඳහා කොන්දේසි ගැන සලකා බලන්නේ වුව රාජ්‍ය සේවකයාට අයුක්තියක් වීමට ශ්‍රී ලංකා රජය මෙතෙක් පියවර ගෙන නැත. විවිධ දේශපාලන විවේචන පැවතිය ද ඇත්ත තත්ත්වය එය වෙයි.
රාජ්‍ය සේවකයාගේ මෙවර වැටුප් වැඩිවීම විශේෂිත වෙයි. වෛද්‍යවරයකුට රුපියල් නවදහස් ගණනකින් වැටුප් වැඩිවන අතර ගුරුවරයකුට රුපියල් තුන්දහස් ගණනකින් වැටුප් වැඩිවෙයි. කළමනාකරණ සේවා, කළමනාකරණ සහායක, පරිපාලන, රියැදුරු ආදී සෑම ක්ෂේත්රයකම වැටුප් ඉහළ දමා ඇත. මෙහි ඇති කැපීපෙනෙන ලක්ෂණය වන්නේ වැටුප් වැඩිවීම කෙළින් ම මූලික වැටුපට ඇතුළත් කර තිබීම ය. 1980 ගණන්වලදී ඇතැම් රාජ්‍ය සේවකයන් තම වැටුප් වාර්තාව කිසිවකුට දක්වන්නේ නැත. හේතුව ඔහුගේ අභිමානයට එය කැළලක් වන බැවින් ය. වසර ගණනාවකට පසු රාජ්‍ය සේවකයාට බියක් - සැකක් නොමැතිව සිය වැටුප් වාර්තාව දැක්විය හැකි තත්ත්වයක් දැන් උදා වී ඇත. රාජ්‍ය සේවකයා දෙපයින් හිටවූ අවස්ථාවක් ලෙස මෙය සැලැකිය හැකි ය.
තෙල් මිල පහත දැමීමේ සහනය වඩාත් හොඳින් දැනෙන්නේ සාමාන්‍ය පන්තියේ ජනතාවට යැයි කිව හැකි ය. රුපියල - දෙක එකතු කොට තමන්ගේ යතුරුපැදියට තෙල් ලීටරයක් පුරවාගන්නා අය සිටිති. එම තෙල් ලීටරයෙන් ගෙදර වැඩක් කරගෙන කාර්යාලයට යෑම සඳහා දුම්රිය පොළ වෙත ගමන් කිරීමත් රාජ්‍ය සේවකයන්ගේ දෛනික ජීවිතයට අයත් වැඩ කොටස් ය. තෙල් මිල රුපියල් දෙකකින් පහත දැමීම පවා සාමාන්‍ය පවුලකට සාධනීය ලෙස බලපායි. ලෝක තත්ත්වයට අනුව ගතහොත් ඉන්ධන මිල හා ඉන්ධන සඳහා අය කරනු ලබන බදු ආණ්ඩුවක ජනප්රියභාවය තීන්දු කරන ප්‍රධාන සාධකයක් වී තිබේ. තෙල් මිල වැඩි කරන ආණ්ඩු ජනප්‍රිය වන්නේ නැත. එබඳු ආණ්ඩු නිරන්තරයෙන් ම මහජන විවේචනයට ලක්වෙයි.
තෙල් මිල ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් ද වෙයි. එහි මිල ඉහළ යනවිට භාණ්ඩ හා සේවා මිල ද ඉහළ යයි. තෙල් මිල පහළ යන විට සමස්තයක් ලෙස භාණ්ඩ හා සේවා මිල පහළ යා යුතු වුව අපේ රටේ එය සිදුවන්නේ නැත. තෙල් මිල දෙවරක් පහළට ගියවිට බස් ගාස්තු අඩුකිරීමක් සිදුවුව; එය මගියාට දැනෙන අඩු කිරීමක් වූයේ නැත. බස් සංගම් වෙනත් හේතු දක්වා ගාස්තු නිර්ණය කිරීම තමන්ගේ වාසියට හරවාගත් බවක් පෙනෙන්නට තිබේ. දැන් තෙවන වරටත් තෙල් මිල පහත දමා ඇති බැවින් බස් ගාස්තු ගැන නැවත සලකා බැලීමට කාලය පැමිණ තිබේ. මගීන්ගේ පැත්තෙන් ද මේ සම්බන්ධයෙන් යම් බලපෑමක් සිදුවීම වරදක් නොවේ.
රටේ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රධාන තැනක් ප්‍රවාහනයට ලැබේ. ආහාර ද්‍රව්‍ය වෙළෙඳ පොළට එන්නේ ප්‍රවාහන පද්ධතියක් ඔස්සේ ය. ප්‍රවාහන ගාස්තුව ද භාණ්ඩයක මිල තීරණය කිරීමට බලපාන සාධකයකි. තෙවරක්ම තෙල් මිල පහළ දැමූවිට ප්‍රවාහන ගාස්තු අඩුවිය යුතුය. එහි එක් අර්ථයක් වන්නේ ආහාර ද්‍රව්‍යවල මිල ද යම් පමණකින් අඩුවිය යුතු බවය. එහෙත් එවැන්නක් සිදුවී නැත. එළවළු, මාළු, පලතුරු, සහල්, මිරිස් හා තවත් දේවල් සුපුරුදු මිල ගණන් යටතේම අලෙවි කරනු දක්නට ලැබේ. රජය තෙල් මිල පහළ දමා ඇති වුව එහි සම්පූර්ණ වාසිය මහජනයාට ලැබෙන්නේ යැයි කිව නොහැකි ය. එසේ වීමට නම්; ව්‍යාපාරික ප්රජාවද මේ ගැන සලකා බැලිය යුතුය.
ආර්ථික ක්‍රියාදාමය සාර්ථක වන්නේ ද, එය සාධාරණ වන්නේ ද ව්‍යාපාරිකයාගේ ක්‍රියාවලියත් සමඟ ය. ඔහු සාධාරණ නොවනතාක් පාරිභෝගිකයාට නියම සහන ලැබෙන්නේ නැත.
නව අදහස දක්වන්න