ඕනෑම මැතිවරණයකින් ජය ගැනීමේ ජනබලය අප සතුයි | දිනමිණ

ඕනෑම මැතිවරණයකින් ජය ගැනීමේ ජනබලය අප සතුයි

අනුර ප්‍රේමලාල්

අපි පාර්ලිමේන්තු මැතිවරණයක් බලාපොරොත්තු වුවත් පවත්වන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත්වි ජය ගැනීමේ ජනබලය අප සතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

ඒ මහත්මිය මේ බව සඳහන් කළේ (09) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය.ආණ්ඩුව සිටින්නේ ඔවුන්ගේ ස්වභාවික මරණය අබියසයි. නායකත්ව අර්බුදය දැවැන්ත ප්‍රශ්නයක් වෙලා. එජාපය ඇතුළේ තියෙන ගැටුම් දැන් තීව්ර වෙලා. සරත් ෆොන්සේකා, පාලිත තෙවරප්පෙරුම ද්වන්ද යුද්ධයක. ඒ වගේම මංගල සමරවීර හා රවී කරුණානායක ගල උඩ සටනක.මෙහෙම එජාපය ඇතුළේ ප්‍රබල ගැටීම් ඇති වෙන කොට මේ ආණ්ඩුවට රටේ ආර්ථිකය ගොඩගන්න බැරි බව මුලූ ලෝකයම දන්නවා.මෙවැනි තත්ත්වයක් යටතේ ණයදෙන ආයතන, ආධාර දෙන ආයතන එන්නේ නැහැ. අවුරුදු 10ට පස්සේ කොටස් වෙළෙඳපොළේ අවම දෛනික පිරිවැටුප ජනවාරි 4 වැනිදා වාර්තා වුණා. ඒ යුද්ධය අවසානයේ 2009 ඇති වු තත්ත්වයට සමාන තත්ත්වයක්. අද රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානයේ හිරකාරයෙක් වෙලා. ඊළමට පාර කපන ව්‍යවස්ථාව ගේන්න යන්නේ ඒ නිසයි. ඒ නිසයි මම කිව්වේ ආණ්ඩුව ඉන්නේ ස්වභාවික මරණයක් අබියසයි කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ පවතින ඕනෑම මැතිවරණයක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජය ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාව විපක්ෂ නායක විදියට පිළිගැනීම රටක් විදියට හොඳ තත්ත්වයක්. විපක්ෂ කණ්ඩායම් රැස්වීම වගේම සතියකට සැරයක් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හමුවෙනවා. විපක්ෂ නායක ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත්වීමෙන් පසුව කෝප් කමිටුව ඇතුළු කාරක සභාවලට නියෝජිතයන් පත්වීම සිදුවුණා. ව්‍යවස්ථාදායක සභාවට පත්කිරීම ඉදිරියේදි සිදුවෙයි.

ජනාධිපතිවරණයක් දෙනවාද නැද්ද කියලා මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කළයුතුයි. ඒක එජාපයට තීරණය කරන්න බැහැ. අපි පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලූවාට දුන්නේ නැහැ. දෙන්න තියෙන පළාත් සභා මැතිවරණයවත් දෙන්න සූදානමක් නැහැ. ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා

මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා-

අද පුවත්පත් වාර්තා කර තියෙනවා මේ මාසේ 10 වැනිදාට ඉන්ධන මිල වෙනස් වන බව. මිල සුත්‍රය අනුව තෙල් මිල ඉහළ දැමීමටයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අඩු වෙලා තියෙන අවස්ථාවකත් එහි වාසිය පාරිභෝගික ජනතාවට දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්වෙලා ඉතා කෙටි කාලයකින් ඉන්ධන මිල අඩු කර එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දුන්නා. ඒ නිසා එජාපයට සිදුවුණා තෙල් මිල අඩු කරන්න.

තෙල් මිල වැඩිවීම නිසා ප්‍රවාහන පද්ධතිය, කර්මාන්ත පද්ධතියට බලපෑමක් වෙනවා. මිල වැඩිවීමත් එක්ක ඉතිහාසය පුරාවටම සෑම නිෂ්පාදනයකම මිල ඉහළ ගිහින්, එහි බර ජනතාව පිට වැටෙනවා, අපි දැකලා තියෙනවා. තෙල් මිල අඩුවිමත් එක්ක බේකරි නිෂ්පාදන ඇතුළු බොහෝ නිෂ්පාදකයන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා නිෂ්පාදන මිල අඩු කරලා ජනතාවට එහි වාසිය ලබා දෙන්න පියවර ගත්තා.

රටේ ජනතාවට හැමදාම නත්තල් එන යුගයක් උදාකරන බව රජයේ ඇමැතිවරුන් කිව්වට එදාවේල කන්න විදියක් පවා මේ අකාර්යක්ෂම පාලනය විසින් ඇති කරලා. මහ මැතිවරණයක් එන්නේත් නැත්නම් ජනාධිපතිවරණයක් තියන්නෙත් නැත්නම් මේ වෙද්දිත් කල් ඉකුත් වෙලා තියෙන පළාත් සභා මැතිවරණය පවත්වන්න.

හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා -

එජාපය සුපුරුදු විදියට රට ප්‍රචණ්ඩත්වයට ගෙනයමින් සිටිනවා. පසුගිය කාලය පුරා සෑම දවසකම මහමඟ මිනිසුන් මැරෙනවා. මහ සඟරුවන විද්වතුන් ජනතාව මේ තත්ත්වය ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. නීතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙමින් තිබෙනවා.


නව අදහස දක්වන්න