ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න | දිනමිණ

ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න

චමීර ඇල්ලදෙණිය

ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරිවරුන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, ප්‍රධාන ඉංජිනේරුවන්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්, ව්‍යාපෘති කළමනාකරුවන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් පසුගිය දා (09) හමු වූ අවස්ථාවේ දී ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කළේය.

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී වැඩ ආරම්භ කර ඇති විදුලි ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය පිළිබඳව ඊට අදාළ නිලධාරීන් වෙතින් කරුණු විමසූ ඇමැතිවරයා මේ වන තෙක් වැඩ අවසන් කර ජාතික පද්ධතියට එක් කිරීමට නොහැකිවීමට බලපෑ හේතු පිළිබඳ සවිස්තර වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස ද අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

2015 වසරේ සිට මේ දක්වා පියසි මත සවි කළ සූර්යබල පද්ධති හැරුණු කොට ජාතික විදුලිබල පද්ධතියට යම් ධාරිතාවක් එක් කිරීමට සමත් කිසිදු විදුලි ව්‍යාපෘතියක් ස්ථාපිත කර නෑ. මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව අවම කරගැනීමට නම් විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එසේම මේ වන විට ඉදි කිරීමට යෝජිත සියලු ව්‍යාපෘති හැකි තාක් කඩිනම් කළ යුතුයි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. එම්. එස්. බටගොඩ, ලංවිම සාමාන්‍යාධිකාරි ඒ. කේ. සමරසිංහ මහත්වරු ද, අමාත්‍යාංශයේ සහ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න