තර්ස්ටන් විදුහලට 69යි තර්ස්ටන් මවුනි! | දිනමිණ

තර්ස්ටන් විදුහලට 69යි තර්ස්ටන් මවුනි!

රටට වැඩ ඇති පුතුන් අපමණ බිහිකළාවූ උතුම් විදුබිම
දිනෙන් දින නිති බැබළි බැබළී ලොවේ දිදුළන රුවන් විදුබිම
උපන් බිම වෙත ණයක් නැති සුරු පුතුන් බිහිකළ මහා විදුබිම
පුරා හැටනව වසක් තිස්සේ මහා මෙහෙයක් කරපු විදුබිම

සුබ පතමු අපි සිරස නමමින් අපේ විදුහල් මෑණියන් හට
තර්ස්ටන් නම දිලෙන්නට ලොව මෙලෝ ගැබ පවතින තුරාවට
සහස් සිසුනට ශිල්ප ක්ෂීරය පොවා සුදනන් කළ නිසාවට
ඔවුන් ණය ගැති වේය ඔබහට මෙලෝ ජීවත්වන තුරාවට

- ආදිශිෂ්‍ය - පසිඳු මිහිරාන් රැටියල

(කොළඹ තර්ස්ටන් විද්‍යාලය ආරම්භ කර ඊයේට (11) වසර 69 ක් සපිරුණි. මේ සමරු සටහන ඒ නිමිත්තෙනි.)

තර්ස්ටන් විද්‍යාල භූමිය එක් පසෙකින් කොළඹ විශ්වවිද්‍යාලයටත්, අනෙක් පසින් රාජකීය විද්‍යාලයටත් සමාන්තරව පිහිටා ඇත. ප්‍රධාන මාර්ග තුනකින් වටවී ඇති මේ විද්‍යාල භූමිය කුරුඳුවත්ත සහ කොල්ලුපිටිය විශේෂිත නාගරික ආසනවලට කේන්ද්‍රගතව පිහිටීම විශේෂිත වේ. කොළඹ නගර සභා බල ප්‍රදේශයේ හදවත බඳු මේ බිම්කඩ ලංකාවේ බොහෝ අවස්ථාවල අධ්‍යාපනික හා සමාජමය වෙනස්වීම්වලට එදත්,අදත් සුවි‍ශේෂී ප්‍රවේශයක් ලබා දී ඇත. ස්වභාව සෞන්දර්යයේ අපූරු දායාදයක් වන නුගතුරු සෙවණින් හා වන පියසින් සුසැදි මේ අලංකාර භූමිය කුමාරතුංග මුණිදාස මාවත හෙවත් තර්ස්ටන් මාවතට මුහුණලා පිහිටා ඇත.

භාෂාව, සාහිත්‍යය, රංග කලාව, දේශපාලනය, ව්‍යාපාර පරිපාලනය, ආරක්ෂාව හා ක්‍රීඩා ආදි විවිධ ක්ෂේත්‍රවලින් පියවර රාශියකින් ඉදිරියට ගමන් කර ඇති නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ හඳුන්වා දෙන ලද සෙසු ජාතික පාසල් අතර සුවි‍ෙශ්ෂත්වයක් පෙන්නුම් කරන අධ්‍යාපන තක්සලාවක් ලෙසත්, තර්ස්ටන් විද්‍යාලය හඳුන්වා දිය හැකිය. අදට අවුරුදු හැට නවයක ස්වර්ණමය ගමන් මඟක් සනිටුහන් කරන මේ අධ්‍යාපන ආයතනය එදා මෙදා තුර පැමිණි ගමන්මඟ හා එහි ආරම්භය අනෙක් අධ්‍යාපන ආයතනවලට වඩා හාත්පසින්ම වෙනස් ගමන් මඟකි. තර්ස්ටන් විදුබිමේ මුල් නිමැවුම්කරුවාණන් වූ ස්වර්ගස්ථ ඒ.ජේ.තර්ස්ටන් දේවගැතිතුමා ආරම්භ කළ කෘෂිකාර්මික හා කාර්මික විදුහල වසා දැමීමෙන් පසු රජයේ ජ්‍යෙෂ්ඨ ද්වීතික පාසලක් ලෙස 1950 වර්ෂයේ තර්ස්ටන් විදුහල ආරම්භ කෙරුණි. තර්ස්ටන් විද්‍යාලයේ ආරම්භක විදුහල්පති වන්නේ ඊ.ඒ.ෂොක්මන් නම් උදාර මිනිසාය. ඔහු තම නැණස මෙහෙයවා අනාගතය දැක සුළු සිසු සංඛ්‍යාවකින් ආරම්භ කළ කුඩා අධ්‍යාපන ආයතනය යුගයෙන් යුගය අධ්‍යාපනය නංවාලන ‍තෝතැන්නක් බවට නිරතුරුව පත්විය. ඊ.ඒ.ෂොක්මන් විදුහල්පති සද්භාවයෙන් ආරම්භය සනිටුහන් කළ මෙම ආයතනය ආරම්භයේ සිටම අනාගත දියුණුවක පෙරගමන් මඟක් පෙන්නුම් කළේය.

ඉන්පසුව විදුහල්පති ධුරයට පත් වූ එම්.ඩී. ගුණවර්ධන මහතා දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ තලයකට ගෙනඒමට කටයුතු කරන ගමන්ම ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍යය ඔපවත් කිරීමටත් දැඩි පරිශ්‍රමයක් දැරීය. එහි ප්‍රතිඵල තවදුරටත් පවත්වාගෙන යමින් දැයේ දරුවන් අනාගත පෙර ගමන්කරුවන් බවට පත්කිරීමට ඉන් පසුව පැමිණි විදුහල්පති පී.එම්.ජයතිලක මහතා කටයුතු කළේය.

මේ අතර තර්ස්ටන්, ඉසිපතන මහා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමේ පුරෝගාමියා බවටද පී.එම්.ජයතිලක විදුහල්පතිවරයා කටයුතු කළේය. එමෙන්ම සෙසු ක්‍රීඩා අංශද දියුණු කිරීමට කටයුතු කළේය. අනතුරුව තර්ස්ටන් තක්සලාවේ අධිපති ධුරයට පත්ව ආ සිරි පණ්ඩිතසේකර හා ඒ.කේ. වෛද්‍යසේකර යන විදුහල්පතිවරුද විදුහලේ අධ්‍යාපන සංවර්ධනය සඳහා ඉමහත් කාර්යභාරයක් ඉටු කළහ. මෙහි වඩාත් වැදගත් වන්නේ දැනට තර්ස්ටන් විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන අනභිභවනීය කලා උළෙල සිරි පණ්ඩිතසේකර විදුහල්පතිතුමාගේ අවධියේ විද්‍යාලයක ප්‍රථමයෙන් අර්ථවත් කලා උළෙලක ආරම්භය සනිටුහන් කිරීමය.

අනතුරුව තර්ස්ටන් මාතාව සරසන්නට පැමිණි විදුහල්පති පී.එස්.ගුණසේකර මහතා තම කාලය තුළ විද්‍යාලයකට අවශ්‍ය භෞතික සම්පත් විද්‍යාලයේ දියුණුවට එක් කිරීමට මහත් සේ ඇප කැප විය. ඔහුගේ කාල පරිච්ඡේදය වඩාත් වැදගත් වන්නේ පැරණි තුරඟ තරග පිටියේ අක්කර 5 ½ ක භූමි භාගයක් තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු සඳහා ක්‍රීඩා භූමියක් වශයෙන් ලබාගැනීමට උත්සුක වීමයි. එය තර්ස්ටන් මාතාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.

1988 වසරේදී තර්ස්ටන් විදුහල්පති තනතුරට පත් වූ එච්.ඩී.හර්මන් පෙරේරා මහතා එම අවදියේ රටේ පැවති සමාජමය ගැටලු ඉදිරියේ විද්‍යාලය ඉදිරියට මෙහෙයවමින් විදුහලේ අධ්‍යාපන සංවර්ධනයත්, ක්‍රීඩා දියුණුවත් තව තවත් වර්ධනය කිරීමට කටයුතු කළේය. එතුමාගේ පාලන කාලය තුළ එනම් 1990, 1991, 1992 පිට පිට තුන් වතාවක් තර්ස්ටන් ඉසිපතන මහා ක්‍රිකට් තරගයෙන් තර්ස්ටන් විද්‍යාලය ජය ගැනීම ද විශේෂ සිදුවීමකි. 1993 දී විදුහල්පති ධුරයට පත් වූ ආර්.ඩී.එම්.පී. වීරතුංග මහතාගේ පාලන කාලයද කරුණු කිහිපයක් නිසා වැදගත් විය. සම්භාවනීය ආදි ශිෂ්‍ය ග්‍රේෂන් ගුණවර්ධන මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවුණු අංග සම්පූර්ණ පිහිනුම් තටාකය, අමරණීය සිහිවටනයකි. දේශබන්ධු කුමාර් දේවපුර මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදි වූ දේවපුර තෙමහල් ගොඩනැගිල්ල හා දේවපුර ක්‍රීඩාගාරය කොළඹ නගරයේ වර්තමානයට ගැළපෙන ආකාරයට සියලු අංගයන්ගෙන් යුක්තව නිර්මාණය කොට ඇත. විදුහලේ කටයුතුවල දී ක්‍රමිකත්වය හා සිසු විනය ගැන වැඩි අවධානයක් යොමු කළ යුගයක් විය. අනතුරුව තර්ස්ටන් විදුහල්පති තනතුරට පත්වූයේ ආර්.එම්. ජයසේකර මහතාය. අවුරුදු 35 ක් පමණ තර්ස්ටන් විදුහලේ සේවය කළ එතුමා දක්ෂ ආචාර්යවරයෙකු ලෙසත්, නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙසත් නිහඬව කටයුතු කරමින් විවිධ විදුහල්පතිවරුන්ගේ පාලන කාලයන් තුළ මවුපියන්, ආදි සිසුන් සමඟ සමීප බව ඇති කරමින් ගුරුවරුන් සමඟ සුහදව කටයුතු කරමින් විශාල සේවාවක් ඉටු කළේය. අනතුරුව පත් වූ විමල් ගුණරත්න, වයි.ඒ.එන්.ඩී.යාපා, ඒ.ඩී.එම්.ඩී.බණ්ඩාර, ඊ.එම්.එස්.ඒකනායක විදුහල්පතිවරුද තර්ස්ටන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට කැපවීම් කළහ. වර්තමාන විදුහල්පති කේ.වී.ඒ. ලක්ෂ්මන් ඩයස් මහතා ද මේ වන විට ආචාර්ය මණ්ඩලයේ උපරිම සහායෙන් අධ්‍යාපන සංවර්ධනයත්, ක්‍රීඩා කටයුතු නංවාලීමටත් සැලසුම් කර ඇත. එමෙන්ම තර්ස්ටන් ඉතිහාසයේ සුවිශේෂ මඟක් ගනිමින් පාසල් පරිසරය අලංකරණය කිරීමට ආචාර්යවරුන් මඟ පෙන්වීමක් කර ඇත. එමෙන්ම විද්‍යාලයේ පැවැත්මට මෙන්ම ආදරණීය දරුවන්ගේ යහගුණ වර්ධනය සඳහා ද ඉමහත් කැපවීමක් කරන විද්‍යාලයීය බෞද්ධ සංගමයත් විවිධ වැඩසටහන්වලින් පුළුල් කාර්යභාරයක් ඉටු කරමින් සිටී. එදා සිට මේ දක්වා තර්ස්ටන් පුතණුවන්ගේ නැණස පාදමින් යහගුණ වර්ධනය කළ විද්‍යාලයෙන් විශ්‍රාමගත් ගුරු භවතුන්ගේ සුහදතාව හා ගරුත්වය නඟා සිටුවාලීම සඳහා ආරම්භ කර ඇති විද්‍යාලයීය ආදි ගුරු සංසදයද ඉමහත් කාර්යභාරයක් ඉටුකරමින් සිටී.

මේ කටයුතුවලදී විද්‍යාලයීය අධ්‍යාපන කටයුතු හා විෂය බාහිර කටයුතු ද, ක්‍රීඩා කටයුතු ආදී සෑම කටයුත්තකදීම ඉමහත් කැපවීමක් කරන ජ්‍යෙෂ්ඨ ආදි සිසුන්, කනිෂ්ඨ ආදි සිසුන්, මවුපියන්, සුබ පතන්නන් ආදී සෑම දෙනාගේම නොමද සහාය ලබමින් සෙසු පාසල්වලට වඩා අද්විතීය අයුරින් ගමන් මඟකට පිවිසෙමින් සිටියි. 69 වන ගමන් මඟක් සනිටුහන් කරන තර්ස්ටන් මාතාවගේ ප්‍රගමනය සඳහා සෑම අතින්ම දායක වූ විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු ඇතුළු ආදරණීය ගුරු මහත්ම මහත්මීන් මෙවන් අවස්ථාවක ගෞරවයෙන් හා ආදරයෙන් සිහිපත් කරන අතර ඒ සැමට අපගේ ප්‍රණාමයද පිරිනැමීම කළ යුතුවේ.

මේ පරාසය තුළ තර්ස්ටන් තක්සලාව ලක් මවට දායාද කළ ශ්‍රේෂ්ඨ පුතණුවන්ගේ ප්‍රමාණයද අසීමිතය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ රටට දැයට අතිවිශිෂ්ට කාර්ය භාරයක් ඉටු කළ හිටපු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය, හිටපු ශ්‍රී ලංකා ජනාධිපති හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා, අභාවප්‍රාප්ත මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ල, සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහින්ද රූපසිංහ,වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාධිකරණ විනිසුරු නිමල් දිසානායක,පරිපාලන ක්ෂේත්‍රයේ ලක්ෂ්මන් ජයවර්ධන, මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන අභාවප්‍රාප්ත සුජීව දිසානායක, ගාමිණී සුමනසේකර, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රබල චරිතය වූ කුමාර් දේවපුර, පාලිත දල්පතාදු, වාස්තු විද්‍යාඥ සුරත් වික්‍රමසිංහ, ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවේ නියමු නාලන් මෙන්ඩිස්, ජෝජ් ද සිල්වා (මියගිය), දයාරත්න රටගෙදර, රවිබන්දු විද්‍යාපති, ප්‍රදීප්කුමාර බාලසූරිය, රෝහණ සමරදිවාකාර, රංගන ප්‍රේමරත්න, උපුල් ශාන්ත සන්නස්ගල, විපුල් ධර්මප්‍රිය ජයසේකර, අමිත්ත වීරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, උදිත ගුණරත්න, කලණි පෙරේරා, සමන්ත පෙරේරා, අනුර ජයසේකර, උපුල් ප්‍රියන්ත මහානාම, සාරංග දිසාසේකර වැනි අසීමිත කලාකරුවන් රැසක් මෙන්ම පොලිස්පතිවරුන් සහ පොලිස් සේවයේ උසස් නිලධාරින්, යුද, ගුවන්, නාවික වැනි රටේ පැවැත්මට විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළ සහ අද දක්වා ඉටුකරන ආරක්ෂක ප්‍රධානීන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරින්, විද්‍යාඥයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු සෑම ක්ෂේත්‍රයකම වඩාත් කැපී පෙනෙන ශ්‍රේෂ්ඨ පුතුන් තර්ස්ටන් මාතාව වඩාත් ආලෝකමත් කිරීමට ශක්තිමත් කිරීමට හා සරසන්නට වරම් ලැබීම ජාතියේ භාග්‍යයක් ලෙස සැලකිය හැකිය.

-කොග්ගල්ලේ ප්‍රේමදාස ගමගේ,
විද්‍යාලයීය විශ්‍රාමික ගුරු
සංසදයේ සභාපති

නව අදහස දක්වන්න