දරුවන් මනසින් දකින නැවුම් ලෝකය සැබෑකර දීම වැඩිහිටියන්ගේ වගකීමක් | දිනමිණ

දරුවන් මනසින් දකින නැවුම් ලෝකය සැබෑකර දීම වැඩිහිටියන්ගේ වගකීමක්

රක්ෂණ ශ්‍රියන්ත

අලුත් ලෝකයට ඇතුළු වී එහි රසය භුක්ති විදින්න, දැනුමින්, බුද්ධියෙන්, අවබෝධයෙන්, අත්දැකීමෙන් දරුවන්ට විශාල වුවමනාවක් ඇති බවත්, අපේ රට වාසනාවන්ත රටක් යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා පැවසීය.

 තර්ස්ටන් විද්‍යාලය 69 වසරක කීර්තිමත් අතීතය තුළ ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් උගතුන් විද්වතුන් මුළු මහත් මානව ප්‍රජාවට බිහිකර තිබෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ (11දා) කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වු ඩී.වී. ශාන්ත සිල්වා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණනය ඉදි කර තිබේ.

තර්ස්ටන් විද්‍යාලය වෙත සපැමිණි ජනාධිපතිවරයා විදුහල්පති ගුරුභවතුන් සහ සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගෙන කැඳවාගෙන යන ලදී. පළමුව විද්‍යා‍ලයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැද පුදාගනිමින් ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා අනතුරුව විද්‍යාලීය රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වන ලදී. අනතුරුව තර්ස්ටන් විද්‍යාලයේ අභිනව ගෘහස්ථත ක්‍රිකට් ක්‍රීඩාංගණනය වෙත ගිය ජනාධිපතිවරයා සමරුඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව පීත්ත පටිය කපා සිසු අයිතියට පත් කරන ලදී. ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පළමු පන්දුව විසි කිරීමේ අවස්ථාවද ජනාධිපතිවරයාගේ සුරතින් සිදු විය. විද්‍යාලීය විශේෂ අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් තැබීමද ජනාධිපතිවරයා විසින් සිදුකරන ලදි.

ක්‍රිකට් ක්‍රීඩංගනයේ ඔප්පුව විදුහල්පතිවරයාට පිරි නැමුවේද ජනාධිපතිවරයා විසිනි. රුපියල් මිලියනයක් වටිනා චෙක්පතක්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට පිරි නමන ලදී. ජනාධිපතිවරයාට සමරු තිළිණයක් පිරි නැමූ විදුහල්පතිවරයා, ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කළ ඩී.වී.ශාන්ත සිල්වා මහතාට සමරු තිළිණයක් ජනාධිපතිවරයා අතින් පිරි නැමුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්..

මම ජනාධිපති ධූරයට පත්වුනායින් පසුව තර්ස්ටන් විද්‍යාලයට පැමිණි මේ තුන්වෙනි අවස්ථාව. මීට කලින් මම දෙසැරයක් පැමිණ තිබෙනවා. තුන්වෙනි වරටත් නැවතත් පැමිණීමට හැකිවීම පිළිබඳ මම ඉතාම සතුටු වෙනවා, මේ පින්වන්ත දරුවන් හමුවීම වි‍මේ විශේෂයෙන් අවස්ථාවක් ලැබීම පිළිබඳව. ඒ වගේම ඉදිරිපිට වාඩි වී සිටින ආදි ශිෂ්‍යයන් හුඟක් මම දන්නා හඳුනන අය බොහොම කීර්තිමත් ගෞරවනීය චරිත රාශියක් ඔබේ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය චරිත වල සිටින නිසා මම ඒ ගැනත් සතුටු වෙනවා. අපි අද ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ගෘහස්ථ පුහුණු විමේ ගොඩනැගිල්ලක් විවෘත කරා.

මේ වසර 2019 වර්ෂය තවම ලබල නව වර්ෂයක් ලැබීමේ උණුසුමත් සමග තවමත් අපි කටයුතු කරන්නේ ගෙවී ගිය වර්ෂයේ අත්දැකීම් සමග. මේ වර්ෂයේ උත්සවයක් විදියට ප්‍රධන මම සහභා‍ගී වුනේ ඔබට මතක ඇති ප්‍රධාන ජාතික උත්සවය ජනවාරි 05 වෙනිදා උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් වීම ප්‍රකාශයට පත් කිරීම මාතලේ ‍ඓතිහාසික අළුවිහාරයේදී, දෙවැනි ජාතික මට්ටමේ උළෙල ජනවාරි 08 වෙනිදා නව කළු ගඟ ජලාශම මහජනතාවට උරුම කර දිම සහ ලංකාවේ පළමුවෙනි හරිත නගරය විවෘත කිරීම ලග්ගල නගරය. බොහෝ ලෝකයේ රටවල අපේ රටේ පමණක් නොවෙයි නගර කියලා කියන්නේ තනිකරම කොන්ක්‍රීට් වලින් වැසුණු ප්‍රදේශ.

ගස කොළ ස්වභාවික සම්පත් දක්නට නැති බොහෝ භෞතික වශයෙන් පිරුණු ස්වභාව ධර්මයාගේ ආශිර්වාදයට වඩා නව තාක්ෂණයක් සමග ගොඩ නැගුණු බොහෝ දේ තමයි අපට දක්නට තිබෙන්නේ. මම ‍ඉතා සතුටු වෙනවා අපිට පුළුවන් වුනා පළමුවෙනි වතාවට ලංකාවේ හරිත නගරය පසුගිය 08 වෙනිදා විවෘත කරන්න. මොරගහකන්ද කළු ගඟ ජලාශය ප්‍රදේශයට ගියොත් ඔබට දරුවනේ දෙමව්පියොත් සමග බලන්න පුළුවන් මේ මෑත භාගයේ බිහි වෙච්ච ජලාශය හා නව හරිත නගරය නව තාක්ෂණය තුළ කොතරම් සැලසුම් සහගතව ඉදි කරලා තිබෙනවාද කියලා. මෙතෙක් මේ ‍රටේ හරිත නගරයක් බිහි වීම විතරක් නොවෙයි නගරයක තිබිය යුතු සියලු අංග සම්පූර්ණ සේවාවන්, රජයේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු රෝහල් පාසල් පොලිසි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොවි ජන සේවා, සමුපාකාර, ආයුර්වේද ‍ඒ සියලුම දේ අලුත් ගොඩනැගිලි 112ක් හදලා හරිත නගරය අපි විවෘත කරා.

කළු ගඟ ජලා‍ශයෙත් වැඩ අපිට අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න පුළුවන් වුනා. ඔබට මතක ඇති මොරගහකන්ද ජලා‍ශය ඒ පිළිබඳව‍ බොහෝ තො‍රතුරු ඔබ දන්නවා. 2016 ජුලි මාසේ 25 වෙනිදා තමයි කළු ගඟ ජලාශයේ නිදන් වස්තු තැන්පත් කෙරුවේ මම. අවුරුදු දෙක හමාරකින් පුළුවන් වුනා මුළු වේල්ල හදලා ජලය සමග ජනතාවගේ උරුමයට පත් කරන්න පසුගිය අට වෙනිදා. මම මේ ටික කිව්වේ ඔබට වෙනත් කතාවක් කියන්න මුල පුරන්නයි.

එදා ලග්ගල හරිත නගරයේ ගොඩනැගිලි 112ක් ගයන්ත කරුණාතිලක ඇමැතිතුමත් ගියා තිලංග සුමතිපාල මන්ත්‍රී තුමත් ගියා මැති ඇමැතිවරු ගිහින් විවෘත කළ හරිත නගරයේ මේ නව ගොඩනැගිලි 112ක් තුළ සේවා කරන ආයතන එහි නියෝජනය වෙනවා 57ක්, අධ්‍යාපනය සෞඛ්‍ය කෘෂිකර්ම ඒ විදියට. අලුත් පාසලක් විවෘත කෙරුවා ලග්ගල හරිත නගරයේ නව පාසල දරුවනේ‍. රුපියල් කෝටි 30කට වැඩිය ‍ඒ පාසලට වියදම් කර තිබෙනවා. සියලු පහසුකම් ඒ පාසලට දී තිබෙනවා ගොඩනැගිලි. උදේ වරුවේ විවෘත කිරීම් අවසන් වෙලා මැති ඇමැතිවරුත් එක්ක, ඒ පාසලේ තමා හවස් වරුවේ උත්සවය ති‍බුනේ ඒ පාසලට මම උත්සවයට යන විට මම යන දෙපස සිටි පුංචි දරුවෝ හත් අට දෙනෙක් මා ලගට දුවගෙන ආවා.

ඒ කවුරුවත් සැලසුම් කරලා නෙවෙයි, දෙපැත්තේ ඉන්න‍කොට මම කතා කරා මම ළඟට අරගෙන කතා කර කර තමයි අර උත්සවයට ගියේ. මම ඇහුව්වා ඔයාලා කීයේ පන්තියේද.? දෙතුන් දෙනෙක් කිව්වා පහේ කියලා තව එක්කෙනෙක් දෙන්නෙක් කිව්වා හයේ කියලා. ඒ කියන්නේ වයස අවුරුදු දහයයි එකොළෙහයි. දරුවොත් එක්ක මම කතා කර කර යන ගමන් මම ඇහුව්වා අද ඉස්කෝලෙ විවෘත කරානේ වෙන අඩු පාඩු තියෙනවාද කියලා මම ඇහුව්වා. එක දරුවෙක් කිව්වා ඔව් ජනාධිපතිතුමා ඉස්කෝලෙ දුන්නාට අපිට ඩෙස් පුටු නැහැ කියලා කිව්වා. මම කිව්වා ඩෙස් පුටු නැහැ වෙන මොනවද නැත්තේ අපිට පරිගඝණක නැහැ.

මම ඇහුව්වා වෙන මොනවද නැත්තේ අපිට මේකප් සෙට් නැහැ මම ඉතින් තව ඇහුව්වා ඔහොම උත්තර දුන්නා මට. මම දරුවනේ මේ කතාව කිව්වේ ඇයි. මගෙන් පරිගණක ඉල්ලුවෙත් මගෙන් මේකප් සෙට් ඉල්ලා ඉංග්‍රිසි වචන පාවිච්චි කරලා ඉල්ලුවෙත් වයස දහයේ එ‍කොළහේ දරුවෝ. ඒ ලග්ගල නගරය වගේම මම ඉගෙන ගත්තෙත් පොළොන්නරුවේ ඉතාම දුෂ්කර කැලෑ ගම්මානෙක තමයි පහේ පන්තියට වෙනකන් ගියේ.

මම එදා උත්සවය ඉවරවෙලා ඇවිල්ලා හවස ගෙදර ඉන්න ගමන් මට කල්පනා වු‍නා දරුවනේ ඒ උත්සවයේ කටයුතු පිළිබදව මගේ මතකය අවදි කරන විට මේ දරුවෝ මට කියපු කතාවක්. මම පොලොන්නරුවේ මහා කැලෑවේ දුෂ්කර ගමක පහේ පංතියේ ඉගෙන ගන්නකොට, පහේ පංතියෙන් හයේ පංතියට ගියේ නගරයේ පාසලට. එවිට මගේ වයස අවුරුදු 10යි. මම දරුවනේ පරිගණකය කියන එක දන්නෙත් නැහැ. අහලත් නැහැ. ඒ වගේම තමයි මගේ වයස අවුරුදු 10 දී මේකප් කියන වචනය අහලා නැහැ. මේ ඉල්ලීම් දෙකම හරි වැදගත්.

පිටිසර ගම්මානයක, ලග්ගල වගේ පාසලක පහේ පංතියේ දරුවෝ ජනාධිපතිවරයාගේ අතින් එල්ලිලා අපිට පරිගණක නැහැ කියලා කියනවා වගේම දරුවන් පරිගණකය තමන්ට නොලැබුණත් පරිගණකය මනසින් දකිනවා. සිතින් දකිනවා. අහලා තිබෙනවා. මේ දරුවන් කොච්චර වාසනාවන්ත ද. අපේ වයසයි මේ දරුවන්ගේ වයසයි අවුරුදු දහයේ දී ගත්තම. මේකප් සෙට් එකක් ඕන කියනවිට මම පස්සේ ඒ දරුවාගෙන් ඇසුවා මොන මේකප් සෙට් එකද කියලා. අද ජනාධිපතිතුමා එනකොටත් අපේ අක්කලා ඩාන්ස් කරන්න එනකොට මේකප් කරන්න ඒවා නැතිව ගියා. ඒ නිසා අපිට මේකප් සෙට් එකකුත් ඕනෑ කිවුවා.

ඉතිං මම කියන්නේ නව සංස්කෘතික ප්‍රවාහයන් සමඟ එයත් මම දකින්නේ සමාජයේ විවිධ සමාජ, සංස්කෘතික බලවේගයන් එක්ක අලුත් දෙයක්. එතකොට දරුවෝ ඉල්ලුවේ පරිගණකයක් සහ මේකප් සෙට් එකක් කියා කිවුවම දරුවන් අලුත් ලෝකයේ කොතෙක් දැක තිබෙනවා. අලුත් ලෝකයට දරුවන් කොතරම් අවතීර්ණ වෙන්න උත්සාහ ගන්නවාද. අලුත් ලෝකයට ඇතුළු වන්න එහි රසය භුක්ති විදින්න දැනුමින්, බුද්ධියෙන්, අවබෝධයෙන්, අත්දැකීමෙන් දරුවන්ට මොනතරම් වුවමනාවක් තිබෙනවාද. ඒ නිසා අපේ රට වාසනාවන්ත රටක්.

හවසට රූපවාහිනිය බලනවිට මොන මොන දේ කතා කළත්, හරි දේ වගේම වැරැදි දේ, අවශ්‍ය දේ වගේම අනවශ්‍ය දේ, සුදුසු දේ වගේම නුසුදුසු දේ, විනීත දේ වගේම අවිනීත දේ, විචාර දේ වගේම අවිචාර දේ මේ සියල්ල මාධ්‍ය තුළ දැක්කත් ඔබ වගේම මේ රටේ දරුවන්ගේ හෙට දවස වාසනාවන්ත, පින්වන්ත, භාග්‍යවන්ත කාලයක් උදාවෙනවා. මම එදා උත්සවයේ දී ලග්ගල දී කිවුවා මේ දරුවන් ඉල්ලූ දේ. මම කිවුවා ඩෙස් පුටු නම් ඉතා ඉක්මණින් එවන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හොයා බලන්න ඕන. ලේකම්වරයාත් ඉන්නවා.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ පළාත් සභාවෙන් හොයා බලා එවන්න නම්. තිබු‍ණොත් හදලා එවන්නම්. නැතිනම් ටික කාලයක් යයි කිවුවා. මම එහෙම කිවුවේ අධ්‍යාපන අමාතයාංශය හා පළාත් සභා ඩෙස් පුටුදීමේ පසුගිය වසර තුනේම දැක්ක ප්‍රමාදය නිසායි. පසුගිය වසර තුනක කාලයේ දී ටෙන්ඩර් කැඳවා ඩෙස් පුටු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දෙනවා. මම ගිය සතියේ ටෙන්ඩරයකට අනුමැතියට අත්සන් කළා. ජනාධිපති ලේකම් කාර්යලයෙන් පාසල්වලට ඩෙස් පුටු දෙන්න. ඉතිං ඒ නිසා අපිට නව ලෝකය ජයගන්න, නව තාක්ෂණය සමඟ දරුවනේ ආදි ශිෂ්‍යන් දැනුමින් හා පරිණත බවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ රටට, සමාජයට වැදගත් වැඩකොටසක් කළා වගේම මේ තර්ස්ටන් විද්‍යාලය 69 වසරක කීර්තිමත් අතීතය තුළ ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් උගතුන් විදුවතුන් මුළු මහත් මානව ප්‍රජාවට බිහිකර තිබෙනවා.

ඒ නිසා තර්ස්ටන් විද්‍යාලය කියන්නේ අපේ රටේ ගෞරවයට, ආදරයට,භක්තියට පත්වූ පාසලක්. ඔබේ පාසලට පැමිණ අද මේ වැදගත් උත්සවයට සහභාගි වන්න ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. මට පුංචි දරුවෙක් ලිපියක් දුන්නා. ඒකේ තිබෙන්නේ ගොඩනැඟිල්ලක් ගැනයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර වැඩපිළිවෙලක් හදනවා කියන්න කැමැතියි.

තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ලක්ෂ්මන් ඩයස් මහතා අදහස් දක්වමින්- පාසලක් කියන්නේ අධ්‍යාපනය ඉෂ්ඨ සිද්ධ කර ගැනීමේ අරමුණින් පවත්වාගෙන යන ආයතනයක්. අධ්‍යාපනයේ පරමාර්ථය විභාග සමත්වීම දැනුම ලබා දීම හෝ විෂය නිර්දේශ ඉගැන්වීම පමණක් නොවන බවත් යහපත් පුරවැසියෙක් රටට දායාද කිරීමේ කර්තව්‍ය පාසලකට හිමිවන කර්තව්‍ය බව මතක් කර සිටිනවා. යහපත් පුරවැසියෙක් බිහි කරන්න දැනුමෙන් පමණක් බැහැ.දරුවන්ගේ කුසලතාවයන් දියුණු කර වන්න ඕන. ක්‍රීඩාව කියන්නේ දරුවෙකුගේ පෞරුෂයේ බලවත් කරන්න පුලුවන් කුසලතාවයක්. මේ ගෙවුන වසර 69තුළ තර්ස්ටන් විද්‍යාලයේ ඉතිහාසය දිහා බැලූ විට ක්‍රීඩාව තුළින් පාසල ලද ජයග්‍රහණය දේශයට බිහි කළ හොඳ පුරවැසියන් ගණන ඉතාමත් ප්‍රශසංසනීයය්, සතුටුදායකයි. 2015-2016 වසර වල ලංකාවේ හොඳම ක්‍රිකට් කණ්ඩායම ලෙස පත්වීමට අපේ විද්‍යාලීය ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා‍. එවන් දක්ෂතා දක්වන දරුවන් අනාගතයට දායාද කිරීමට අවශයු සම්පතක් තමයි අද අපට මේ ලැබී තිබෙන්නේ විද්‍යාලීය ආදී ශිෂ්‍ය මහත්මයෙකුගේ ධන පරිත්‍යාගයෙන්.

මේ අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුලු ගුරු භවතුන්, දෙමාපියන්, ආදි සිසුන්, සිසු දරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර


නව අදහස දක්වන්න