යහපත් දරු පරපුරක් බිහිවනු දැකීම අපේක්ෂාවයි | දිනමිණ

යහපත් දරු පරපුරක් බිහිවනු දැකීම අපේක්ෂාවයි

රක්ෂණ ශ්‍රියන්ත

නව තාක්ෂණික දැනුමත් සමඟ ගුණ යහපත් දරු පරපුරක් රට තුළ ගොඩනැඟෙනු දැකීම තම අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා පවසයි.

නවීන තාක්ෂණයේ ප්‍රතිලාභ අද නාගරික සහ ග්‍රාමීය භේදයකින් තොරව රටේ සියලු දරුවන්ට හිමිව තිබෙන අතර, ඔවුන් එම සියලු තාක්ෂණික මෙවලම් රටේ සහ තම අනාගතයේ යහපත උදෙසා භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය‍. අද ග්‍රාමීය පාසල්වල දරුවන්ට ද නවීන තාක්ෂණික මෙවලම් පිළිබඳ පුළුල් අවබෝධයක් තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා, තමා එම පාසල් වෙත ගිය විට එම දරුවන් ඉල්ලා සිටින්නේ ඩෙස් පුටු සේම පරිගණක බව ද කියා සිටියේය.

එම සියල්ල කිසිදු භේදයකින් තොරව දරුවන්ට ලබාදීමට තමන් කටයුතු කරන්නේ රටේ සියලු දරුවන්ට අධ්‍යාපනයේ සාධාරණයක් ඉටු කිරීමට බව පැවැසූ ජනාධිපතිවරයා නවීන තාක්ෂණයත් සමඟ ගුණ යහපත් දරු පරපුරක් රට තුළ ගොඩනැ‍ඟෙනු දැකීම තම අපේක්ෂාව බව ද කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (11) පෙරවරුවේ එක් වෙමිනි.

විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ඩී. වී. ශාන්ත සිල්වා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මේ ක්‍රීඩාගාරය ඉදිකර තිබේ.

පෙරවරුවේ තර්ස්ටන් විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

පළමුව විද්‍යාල භූමියේ පිහිටි රණවිරු ස්මාරකය වෙත ගිය ජනාධිපතිවරයා මල් කළඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ක්‍රිකට් ක්‍රීඩාංගණ සංකීර්ණය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

විදුහල්පති කේ. වී. ඒ. එල්. ඩයස් මහතා විසින් ජනාධිපතිවරයා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

ආදි ශිෂ්‍ය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ඇමැති ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ලක්ෂ්මන් ඩයස් යන මහත්වරුන් සහ ගුරුභවතුන් මවුපියන්, ආදි සිසුන්, සිසු දරුවන් ඇතුළු ආරාධිත පිරිසක් මීට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න