සාගර මත් ජාවාරම මඬින්න බළකායක් | දිනමිණ

සාගර මත් ජාවාරම මඬින්න බළකායක්

බුද්ධිකා ඉඹුලාන

මුහුදු මාර්ග ඔස්සේ රට තුළට විෂ මත්ද්‍රව්‍ය රැගෙන එ්ම වැළැක්වීමට සාගර බළකායක් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළට ශක්තියක්වීම සඳහා සමස්ත ධීවර ප්‍රජාවම දායක කර ගැනීමේ අරමුණෙන් මේ ජාතික ක්‍රියාන්විතය ආරම්භ කෙරෙනු ඇත.

මේ යටතේ, රට වටා ඇති සියලු තොටුපළ සහ ධීවර වරායන් ජාලයක් ලෙස මේ ජාතික වැඩපිළිවෙළ සඳහා දායක කර ගැනීමට සැලසුම් කර තිබේ.

ධීවර ක්ෂේත්‍රයට හඳුන්වා දුන් ‘නිල් ආර්ථික’ වැඩපිළිවෙළ යටතේ ප්‍රජා මූලික කළමනාකරණ ක්‍රමවේදය ඔස්සේ දැයේ අනාගත පරපුර මතින් නිදහස් කර ගැනීම පිණිස මේ ක්‍රියාන්විතය සැලසුම් කර තිබේ.

ධීවර වරාය නීතිගත සංස්ථාවට නව ප්‍රධානීන් පත් කළ වහාම වරාය කළමනාකරණ කමිටු පිහිටුවා, එම කමිටු මගින් කළමනාකරණය, ධීවර වරාය සංවර්ධනය සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සිදු කරන බව රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කරයි.

එලෙස රට තුළට විෂ මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට, පොලිස් විශේෂ කාර්ය බළකායට, ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බළකායට සමස්ත ධීවර ප්‍රජාවගේම සහාය මේ වැඩපිළිවෙළ ඔස්සේ හිමි කර දීම අරමුණ බව ද රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

නව අදහස දක්වන්න