විදේශ සංචිත තර කරන්න තෙවැදෑරුම් ක්‍රියාවලියක් | දිනමිණ

විදේශ සංචිත තර කරන්න තෙවැදෑරුම් ක්‍රියාවලියක්

ජයසිරි මුණසිංහ

රටේ පැවැති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් පහත වැටුණු නිල විදේශ සංචිත නැවත ගොඩනඟා ගැනීම සඳහා තෙවදෑරුම් ක්‍රියාවලියක් ආරම්භ කොට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

වසර 2018 නිමාවන විට අමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 8කට අධික නිල විදේශ සංචිතයක් ගොඩනඟා ගැනීමට මහ බැංකුව අපේක්ෂා කරයි. එනමුත් එම ප්‍රමාණය වසර නිමාවන විට ඩොලර් බිලියන 6.9ට අඩු විය.

මේ අන්දමට පහත වැටුණු නිල විදේශ සංචිතය යළි ඉහළට රැගෙන යෑමට මහ බැංකුව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම කාලීන ණය ලබා ගැනීම සහ රාජ්‍ය බැංකු හරහා ණය ලබාගැනීම සම්බන්ධයෙන් දැනටමත් කරුණු සාකච්ඡා කරමින් ක්‍රියාමාර්ග ගන්නා බව ද මහ බැංකුව කියයි.

මෙලෙස විදේශ ණය විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ ලබා ගැනීමේ කටයුතු මේ වසරේ පළමු කාර්තුව නිමවීමට පෙර සිදු කරලීමට ද හැකිවනු ඇතැයි මහ බැංකුව පවසයි.

දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයේ (සාර්ක්) සාමාජික රටවල් අතර පවත්නා විනිමය හුවමාරු පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදීමට ඉන්දීය සංචිත බැංකුව එකඟ වී ඇත.

මීට අමතරව, එක්සත් ජනපද ඩොලර් බිලියනයක් ලබාගැනීම සඳහා ඉන්දීය සංචිත බැංකුව සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරන ලද ඉල්ලීම ද සලකා බැලෙමින් පවතී.

ආනයන සහ ණය සේවාකරණය සම්බන්ධ මුදල් ගෙවීම සිදුකරමින්, අවිධිමත් ගැළපීම් වළක්වා අවශ්‍ය විටෙක දී ව්‍යවහාර මුදල් තත්ත්වය මනාව පවත්වා ගැනීමෙන් ද, විදේශ සංචිත ප්‍රමාණවත් පරිදි පවත්වා ගැනීමෙන් ද ආයෝජක විශ්වාසය ඉහළ නැංවීමෙහි ලා ඉන්දීය සංචිත බැංකුවෙන් ලැබුණු කඩිනම් සහයෝගය මහෝපකාරී වනු ඇත.

මේ එකඟතාවට එළඹීමේ දී ඉන්දීය මධ්‍ය රජයත්, නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයත් දැක් වූ ක්‍රියාශීලී සහයෝගය ශ්‍රී ලංකා මහ බැංකුව අගය කරයි.

රටේ පැවැති දේශපාලන වෙනස්වීම් නිසා ඇති වූ ප්‍රමාදයන් අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා රජයත් ශ්‍රී ලංකා මහ බැංකුවත් විසින් ක්‍රියාවලින් පිළිබඳ විමර්ශනය කෙරෙමින් පවතී.

(i) ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම

(ii) කාලීන ණය ලබාගැනීම

(iii) රාජ්‍ය බැංකු හරහා ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සාකච්ඡා කිරීම

මේ කටයුතු 2019 වසරේ පළමු කාර්තුවේ දී නිමා වීමට නියමිතය.

එසේම, විස්තීර්ණ අරමුදල් පහසුකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා කෙරෙන සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා වොෂින්ටන්හි සංචාරයක නිරතවීමට නියමිතය.


නව අදහස දක්වන්න