ජනතාවගේ හදවත තුළින් මතුවන ව්‍යවස්ථාවක් ඇති කළ යුතුයි - ඇමති රවී | දිනමිණ

ජනතාවගේ හදවත තුළින් මතුවන ව්‍යවස්ථාවක් ඇති කළ යුතුයි - ඇමති රවී

රටේ ඒකීයභාවය රැකෙන, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන, ජනතාවගේ හදවත තුළින් මතුවන ව්‍යවස්ථාවක් ඇති කළ යුතු බව විදුලිබල, බලශක්තිසහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. 
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (13) පස්වරුවේ මහරගම ප්‍රදේශයේ දරුදැරියන්ට අභ්‍යාස පොත්, පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙම අවස්තාවට ප්‍රදේශයේ දේශපානාධිකාරිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.  
 
"නිදහස් අධ්‍යාපනය තුලින් ලැබෙන දේ රටට ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි තත්ත්වයට අද පත්වෙලා තිබෙනවා. අද විශ්වවිද්‍යාල පද්ධතිය බැලුවොත්, හැමදාමත් වහලා. නිදහස් අධ්‍යාපනය තුළින් නොමිලයේ ලැබෙන නිසාද මේ ආකාරයෙන් අගයක් නොමැති තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. විදේශීය රටවල් වයස අවුරුදු 21,22 පමණ වනවිට අධ්‍යාපනය හදාරලා, උපාධි ලබාගෙන ආර්ථික ලෝකයට එකතු වෙනවා. ලංකාවේ ශිෂ්‍යයෙක් අවුරුදු 25 ක් වුණත් ඒ තත්ත්වයට පත්වෙලා නැහැ. ඔවුන් හැමදාමත් බෝඩ් ලෑලි අල්ලාගෙන, පෙළපාලි යනවා. මේකද අධ්‍යාපනයේ ඇති වටිනාකම?. අපි නැවත හිතන්න අවශ්‍යයි. මම හිතන විදියට අපේ තරුණ දූපුතුන්ට මේ දීලා තියෙන අවස්ථාව නාස්ති කරන්න බැහැ. අපේ තරුණ තරුණියන්ගේ නොදැනුවත්කම නිසා දැන් මේ උසස් අධ්‍යාපනයත්  දේශපාලන උපක්‍රමයක් බවට පරිවර්තනය කරගෙන. දෙමව්පියන් මොනතරම් අමාරුවෙන්ද දරුවන්ට මුදල් සපයන්නේ. පාසල් නොගියත් දරුවන්ට ටියුෂන් යන්න දෙමව්පියන් සල්ලි හොයනවා. මෙන්න මේ නිසා අද පාසල් අධ්‍යාපනයේ වටිනාකම අඩු වෙලා. දළ දේශීය නිෂ්පාදනයෙන් 4.5% ක් විතර අධ්‍යාපනයට වෙන්කරනවා. නමුත් මේ තුළින් යම් ඵලදායිත්වයක් ඇතිවෙනවද කියලා අපි සලකා බලලා, එහි උපරිම ලාභය අනාතගයේදී අපි දරුවන් තුළින් ලබාගත යුතුයි. අද දේශපාලන නායකයෝ වුණත් සැලකිලිමත් වන්නේ ඡන්දය ගැන මිසක් රට ගැන නොවෙයි. අපි ජීවන වියදම ගැන කතා කරනකොට අපි බලන්නේ කොහොමද යම් සහනාධාරයක් ලබාදෙන්නේ කියලා විතරයි. නමුත් දුප්පත්කම නැති කරන්නේ කොහොමද කියලා අපි බලන්නේ නැහැ. අද දේශපාලඥයෝ විරැකියාව ගැන කතා කරනවා. නමුත් නූතන ලෝකයේ විරැකියාව දුරලන මාර්ග පෙන්නලා නැහැ කව්රුවත්. අද රටේ නායකයෝ, නායකයෝ වශයෙන් කටයුතු කරන්නේ නැහැ. ඔවුන් දේශපාලඥයෝ වශයෙන් පමණක් කටයුතු කරන එක තමයි රටට හෙනයක් වෙලා තිබෙන්නේ" එහිදී අමාත්‍යවරයා කියා සිටියේය.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් රවී කරුණානායක මහතා මෙසේ ද පැවසීය.
 
“වසර 71 එකකට පස්සේ රටේ සියළුම දේශපාන පක්ෂ තම අත්දැකීම් අනුව පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් ඉදිරිප්ත කරලා තිබෙනවා. මේ තුළින් රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ඇතිකළ යුතුයි. රටේ ඒකීයභාවය රැකෙන, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන, ජනතාවගේ හදවත තුළින් මතුවන ව්‍යවස්ථාවක් ඇති කිරීම තමයි මේ අවස්ථාවේ අපි සිදුකළ යුත්තේ. මේ මොහොතේත් මේ ව්‍යවස්ථාව පිළිබදව යම් යම් පිරිස් අන්තවාදීව කතා කරනවා. මෙන්න රට කන්න හදනවා, රට නැති කරන්න හදනවා කියලා කියනවා. එල්ටීටීය නැති කරලා,  ඒ එල්.ටී.ටී.යෙ හිටපු කට්ටිය හිටපු මේ පාලන පක්ෂයේ උපසභාපතිවරුන් බවට පත්කරගෙන, ඒ කට්ටියම මේ ලේබල් ගහන එක මොන විහිළුවක්ද.
 
ඒ නිසා අපි දැන් මේවා පැත්තකට දාලා, මේ රටේ සාමයට ස්ථිරසාර විසදුමක් ලබාදෙන, සෑම පක්ෂයකටම, සෑම ආගමකටම එකට ජීවත්විය හැකි මගේ රටක් කියන ව්‍යවස්ථාවක් ඇති කිරීම තමයි අවශ්‍ය  වන්නේ. අන්තවාදී ලේබල් පැත්තකට දාලා, රට සුරක්ෂිත කරන්න, රට පෝෂණය කරන්න, රටට සාමයක් ඇතිකරලා දෙන්න අපි අත්වැල් බැදගන්න ඕන.“
 
 
 
 

අදහස් 1ක් ඇත

wada karanna puluwan unath , obala janathawata da ratagana sithada wada karannema naha , boru katha pamanayi!

නව අදහස දක්වන්න