විමල්ගේ නඩුව මාර්තු 27ට කල් යයි | දිනමිණ

විමල්ගේ නඩුව මාර්තු 27ට කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව මාර්තු මස 27 වනදා කැඳවන මෙන් කොළඹ මහාධිකරණය අද(14) නියම කළේය. 
 
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ සාක්ෂි වලට අදාල  හැටන් නැෂනල් බැංකුවේ පවතින පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්ති පාර්ශ්වයට ඉඩ දෙන මෙන් මීට පෙර අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබුණත් ඒ සඳහා අවසර දීම අදාල බැංකුව ප්‍රතික්ෂේප කර ඇති බව කියා සිටියේය.
 
මේ හේතුවෙන් අදාල පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා එම බැංකුව වෙත විශේෂ නියෝගයක් ලබාදෙන මෙන් ද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීම් කළේය. එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ සාක්ෂි ඇතුළත් අදාල පරිගණක පද්ධතිය පරික්ෂා කිරීම සඳහා විත්ති   පාර්ශවයට අවසර ලබා දෙන මෙන් අදාළ බැංකුවට නියෝග කළේය. ඉන් අනතුරුව නඩුව මාර්තු මස 27 වැනිදා කැඳවන ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ. 2010 වසරේ ජනවාරි මස පළමුවනදා 2014 වසරේ දෙසැම්බර් මස 31 දක්වා කාල සීමාවක් තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීතියානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75  කට ආසන්න වත්කම් සහ මුදල් උපයා  ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

නව අදහස දක්වන්න