උපා­ධිධාරී පළා වෙළෙන්දිය නිලන්ති | දිනමිණ

උපා­ධිධාරී පළා වෙළෙන්දිය නිලන්ති

රැකියාවක් නැති නිසා, කීර පළා කොළ විකුණා ජීවිතය ජය ගන්නට වෙර දරන ඇය, කැලණිය විශ්වවිද්‍යාලයෙන් විශේෂ උපාධිධාරිනියකි. අංක 15, පොදු වෙළෙඳපොළ පාර, ඇල්පිටිය ලිපිනයේ පදිංචිව සිටිමින්, අම්මා සමඟ දිවි ගෙවන, මේ දිරිය දියණිය, මේ සියලු කටයුතු කරන්නේ, මව ජීවත් කරවීමට ය.

පොදු වෙළෙඳ පොළ පාරේ කඩ මැස්සක කීර පළා කොළ තබාගෙන අලෙවි කරන මේ සුන්දර යුවතිය, කා අතරත් ප්‍රසිද්ධ ය. ඇය, පැමිණෙන සෑම ගනුදෙනුකරුවකුටම පළා මිටියක් හෝ අලෙවි කර ගැනීමට උත්සාහ දරන්නීය. ඒ අයුරින් ඈ සිය දිවි පෙවෙත ජය ගන්නී ය.නිලන්ති, ඇල්පිටිය ආනන්ද විද්‍යාලයෙන් අ.පො.ස. උසස් පෙළ සමත් වී, කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිව ය. ඉන් ප්‍රධාන වූයේ හොඳ රැකියාවක් කර මේ දක්වා දහ දුක් විඳිමින් ඉගැන්වූ අම්මාට, දුක් නොදී රැකබලා ගැනීම ය. එය මල්ඵල ගන්වමින්, උපාධි ලෝගුව පලඳවන අයුරු මේ මව කඳුළු පිරි දෙනෙතින් බලා සිටියා ය. ඒ, ඇය රැජණක් කළා යන හැඟීමෙනි.

එහෙත් දැන් සියල්ල කණපිට පෙරළී ඇත. මේ දක්වාම ඇයට රැකියාවක් ලැබී නැති නිසා, කීර පළා මිටි විකුණන්නට දිරි ගත්තා ය.

දැනුම අයෝජනයකි. දුපතුන්ට එය වාසනාව ගෙන දේ. උපාධියක් අතේ තබාගෙන කීර පළා විකුණනවා යනු, අඩුවක් හෝ හෑල්ලුවක් නොවේ. ඒ බව ඈ දන්නී ය. ඒ නිසා ම දිවි රකිනු වස්, දිරියෙන් යුතුව ඈ මේ කටයුත්තේ නිරතවී සිටින්නී ය.නිලන්තිගේ මව අසනීප වුව ද, කොහේ හෝ ගොස් පළා මිටි ටිකක්, ඇඹරැල්ලා ටිකක් ගෙනැවිත් කඩමැස්සේ තබන්නේ, මහත් අපහසුවෙනි. ඒ, දියණිය තැන් තැන්වල යැවීමට ඇති බිය නිසා ය.

" කීර පළා ගේන්නේ, අම්මාට පුළුවන් විදිහට ගමේ ගොඩේ ගිහිල්ලයි. අම්මා මං කොළ ගේන්න එහෙ මෙහෙ යනවට කැමැති නෑ. අපි දෙන්නට ජීවත් වෙන්න ප්‍රමාණවත් තරමට අපි මුදල් හොයා ගන්නවා. උපාධියක් තිබුණා කියලා රැකියාවක් ලැබෙනකං නිකං හිටියොත්, කවදාකවත් අපට දියුණු වෙන්න බැහැ. අපි දෙන්නට ජීවත් වෙන්න හරිහමං ගේකුත් නෑ. මාත් එක්ක එකට සිටිය යහළු යෙහෙළියන්, අද විධායක අංශයේ රැකියාවල නිරතවෙලා ඉන්නවා." ඇය පවසන්නී ය. උපාධිධාරීන් රැකියාවට ගොස් එන විට ඔවුන්ට පළා මිටියක් විකුණා, තම මව රැකබලා ගැනීමට තරම් ඇය අවාසනාවන්ත වූයේ, ඇයගේ වරදින් නොව, සමාජ ක්‍රමයේ කොහේ හෝ ඇති වරදක් නිසා ය.

ඇය පමණක් නොව, ඇගේ මව ද දිරිය කතකි. ඇය ඉපදී මාස 6ක් පමණ වන විට, භීෂණ සමයේදී පියා අතුරුදන් විය. එදා සිට මේ දෙදෙනා තනි වූයේ සිහිනෙන්වත් නොසිතූ අයුරිනි. කෙසේ හෝ අසරණව තනි වූ මේ මව, දහදුක් විඳිමින් නිලන්ති පාසල් යැව්වේ දහසක් අඩුපාඩු මධ්‍යයේ ය. ඇල්පිටිය පාසලට පෙනෙන තෙක් මානයේ පෙට්ටි කඩයක් තනාගෙන, ඇය දුව ජීවත් කරවූවා ය.

"කාලෙකදි, අහිංසකව ජීවත් වුණු අපේ එළවළු කඩේට කවුද ගිනි තියලා තිබුණා. මම ඒකෙන් පසුබට වූණේ නෑ. එයින් පස්සේ ඇලිපිටිය වෙළෙද පොළේ කඩ කාමරයක් අරගෙන, කීර පළා විකුණන්න ගත්තා. විශ්වවිද්‍යාලයේ යාළුවොත් මට ඒ කාලෙ ඉගෙන ගන්න උදවු කළා. මගේ අධ්‍යාපන සුදුසුකම් අනුව මට ඉදිරියේදි රැකියාවක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකං මම, කාටවත් කරදරයක් නොවී, මේ විදිහට දිරිමත්ව ජීවත් වෙනවා. මට හැමදාම, දිරියක්, ශක්තියක් වුණේ මගේ අම්මා. ඇගේ දිරියෙන් සහ මගේ ඕනෑකමින් මම ජීවිතය ජය ගන්නවා." ඇය පවසන්නී ය.

ඩී.ජේ.විජේසිංහ 

 

නව අදහස දක්වන්න