TV සාකච්ඡාවේ දර්ශන CIDයට | දිනමිණ

TV සාකච්ඡාවේ දර්ශන CIDයට

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට වසර කිහිපයකට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පෞද්ගලික මාධ්‍ය ආයතනයක් සිදුකළ මාධ්‍ය සාකච්ඡාවකදී සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා එම මාධ්‍ය ආයතනයට නියෝග කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපතිවරයා විසින් 2007 අගෝස්තු 19 වනදා ටී.වී. දෙරණ මාධ්‍ය ආයතනය, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවෙහි සංස්කරණය නොකරන ලද දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යය බව පැවසූ විට මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය සිදුකරන ලදී.

වර්ෂ 2009 ජනවාරි 09 දින ලසන්ත වික්‍රමතුංග මහතා නාඳුනන අයකුගේ වෙඩි පහරකින් තුවාල ලබා මිය ගිය අතර වසර 10 ක් ඉක්මවා ගිය මුත් මෙම ඝාතනයේ සැකකරුවන් හඳුනා ගැනීමට හැකියාව ලැබී නොමැත.

නඩුව ජනවාරි 17 යළි කැඳවීමට නියමිතය.


නව අදහස දක්වන්න