කුඩු මාරයා! | දිනමිණ

කුඩු මාරයා!

මත්ද්‍රව්‍ය භාවිතය නිසා වසරකට ශ්‍රී ලංකාවේ හැත්තෑදහසක් දෙනා මිය යන බව හෙළිදරව් වී ඇත. මේ හෙළිදරව්ව සිදු කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකාය යි. මත්ද්‍රව්‍ය කිවූ විට ඊට දුම්කොළ ද අයත් වන බව දන්නේ ටික දෙනෙකි. වසරකට හැත්තෑදහසක් අකාලයේ මිය යෑම ශ්‍රී ලංකාව වැනි රටකට බරපතළ අභියෝගයකි. ඕනෑ ම රාජ්‍යයකට මානව සම්පත වැදගත් වන අතර ශ්‍රී ලංකාව වැනි රටවල සංවර්ධනය තීන්දු කරන ප්‍රධාන සාධකය බවට පත් ව ඇත්තේ ද මානව සම්පත ය. කනගාටුවට කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ මතට ගොදුරුවන පිරිස අතර බහුතරය නව යොවුන් වියේ පසුවීම ය. රටේ පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වෙළෙඳාම ශීඝ්‍රයෙන් පැතිර යයි.

රටේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පිළිබඳ දළ සටහනක් ගතහොත් මීගමුව, කොළඹ, ගම්පහ, ගාල්ල, මහනුවර යන ප්‍රදේශවල හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවෙයි. උඩරට වතුකරය තුළ ද, රජරට ග්‍රාමීය ගොවි සමාජ තුළ ද දුම්කොළ භාවිතය ඉහළ ය. මේ හැරෙන්නට වතුකරය තුළ කුඩු භාවිතය ද පැතිර යන්නට පටන්ගෙන තිබේ. වතුකරය දෙස බලන විට පෙනී යන්නේ දුප්පත්කම හා මත්ද්‍රව්‍ය භාවිතය අතර සම්බන්ධයක් ඇති බව ය. රජරට ගොවි සමාජ දෙස බලන විට පෙනී යන්නේ වින්දන මාර්ගයක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතය සිදුවන බව ය. මේ පළාත්වල සැලැකිය යුතු පිරිසක් ගංජා භාවිතයට හුරු වී සිටිති. මත්ද්‍රව්‍ය භාවිතයෙහි වැඩිවීමක් මිස අඩු වීමක් දකින්නට නැත.

මත්ද්‍රව්‍ය භාවිතයෙහි ආදීනව විශ්ලේෂණය කරන විට තවත් පැතිකඩ ගණනාවක් ස්පර්ශ කරගත හැකි ය. ඉන් ප්‍රධාන සාධක දෙකක් අන් සාධක පරයා නැගී සිටී. පළමු සාධකය නම්; දිළිඳු ජනතාව උපයන මුදලින් තුනෙන් දෙකක් පමණ මත්ද්‍රව්‍ය සඳහා වැය වීම ය. දෙවන සාධකය වන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය වන මුළු මුදලින් 20% ක් පමණ මත්ද්‍රව්‍ය ආශ්‍රිතව පැතිර යන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට වැය වන බව ය. ශ්‍රී ලංකාව නොමිලේ සෞඛ්‍ය පහසුකම් සපයන රාජ්‍යයක් බැවින් ඒ මුළු පිරිවැය දැරිය යුත්තේ රජය යි. මත්ද්‍රව්‍ය භාවිතය ඊට ගොදුරු වන පුද්ගලයාට පමණක් නො ව; සමස්ත සමාජයට ම බරක් බව මෙයින් පෙනී යයි.

මත්ද්‍රව්‍ය භාවිතය ආශ්‍රිත ව ශීඝ්‍රයෙන් පැතිර යන රෝගයක් බවට පිළිකාව හඳුනාගෙන තිබේ. රටේ පිළිකා රෝගීන්ගේ ගණන ඉතා වේගයෙන් ඉහළ යයි. මුඛ පිළිකා, පෙනහළු පිළිකා මේ අතර ප්‍රධාන වෙයි. දුම්කොළ සමඟ බුලත් විට සැපීම ද පිළිකාවට හේතුවක් බව සොයාගෙන තිබේ. මේවා පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් රට පුරා ම ක්‍රියාත්මක වුව; මත්ද්‍රව්‍ය ජාවාරමෙහි හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙහි හෝ අඩුවීමක් දකින්නට නැත. පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය ශීඝ්‍රයෙන් පැතිර යෑමෙන් මේ උවදුරෙහි තත්ත්වය හොඳින් වටහාගත හැකි ය.

වතු අංශයේ සේවය කරන කම්කරුවකුගේ දෛනික ආදායම රුපියල් දහසකට අඩු ය. වතුකම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකළ යුතු යැයි අරගලයක් ද පවතී. සාමාන්‍යයෙන් කම්කරුවකුගේ ආදායම රුපියල් දහස ලෙස ගතහොත් එයින් රුපියල් හයසිය ගණනක් දෛනිකව මත්ද්‍රව්‍ය සඳහා වැය කරනු ලැබේ. එවිට පවුලේ නඩත්තුව සිදුවිය යුත්තේ රුපියල් තුන්සිය ගණනකින් ය. මෙය කළ හැක්කක් ද? ඉන්දියාවේ කම්කරු ප්‍රජාවගේ බිරින්දෑවරු මත්ද්‍රව්‍ය හා මත්පැන් වෙළෙඳාමට එරෙහි ව බරපතළ අරගලයක් සිදු කරති. ‍ඔවුන්ගේ ගැටලුව වී ඇත්තේ ද සැමියන් දෛනික ආදායමෙන් වැඩි කොටසක් මතට වැය කිරීම ය.

වතුකරය පමණක් නො ව; සමස්ත සමාජය ම මේ ගැටලුවට මුහුණ දෙයි. පවුල් ආරවුල්, මිනිස් ඝාතන, දිවි නසාගැනීම් ආදී ඛේදවාචක ද මත්ද්‍රව්‍ය උවදුර සමග එකට බැඳී පවතී. මතට හුරු වූ තැනැත්තා හොරකමට හා වංචාවට ඇදී යන්නේ ඉබේ ම මෙන් ය. මතට හුරු වූ පුද්ගලයාට එය නැති ව බැරි වෙයි. ඒ අනුව තම අතෙහි මුදල් නැතොත්; හොරකමක් සිදුකර හෝ මත්ද්‍රව්‍ය මිලට ගැනීමට බොහෝ දෙනා පෙළඹෙති. මේ ඔස්සේ විවිධ අපරාධ සිදු වී ඇති බව ද වාර්තා වී ඇත. සියලු කරුණුවලින් සනාථ වන්නේ මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීම ජාතික වගකීමක් වන බව ය.

නිදහස් සෞඛ්‍ය සේවාවක් පවත්වාගැනීම සඳහා රජය වසරකට වැය කරන මුදල අති විශාල ය. මේ අතර ඖෂධ මිල කිහිපවරක් ම අඩු කිරීමට ද රජය පියවර ගත්තේ ය. බෝ නොවන ‍රෝගවල ශීඝ්‍ර ව්‍යාප්තියක් ශ්‍රී ලංකාවේ දකින්නට ලැබේ. හෘද රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග, අක්මා රෝග මේ අතර ප්‍රධාන වෙයි. උක්ත රෝග හා මත්ද්‍රව්‍ය භාවිතය අතර ද සම්බන්ධයක් පවතී. මත්ද්‍රව්‍ය භාවිතය නිසා එම රෝග උත්සන්න වන අතර ඇතැම් විට මරණය පවා සිදු වෙයි. මේ සියලු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට රජයට සිදු වී ඇත. මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවූ හෝ උත්සන්න වූ හෝ රෝග හිතා-මතා ඇතිකර ගන්නා දෙයක් ලෙස සැලැකිය හැකි ය.

මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන රෝගවලට රක්ෂණ වන්දි ලැබෙන්නේ නැත. ඇතැම් රටවල නීතියට අනුව එබඳු රෝග සඳහා ප්‍රතිකාර ලබා දෙන විට අමතර මුදලක් රජයට ගෙවිය යුතු ය. මෙබඳු යෝජනාවක් ශ්‍රී ලංකාවෙන් ද ඉදිරිපත් වූ අතර එය ක්‍රියාත්මක වූයේ නැත. මත්ද්‍රව්‍ය භාවිතය නිසා ම රෝගය උත්සන්න වී තිබේ ද යන්න සොයා ගැනීම අපහසු නැත. විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයකින් එය සනාථ කර ගත හැකි ය. කෙසේ වුව මේ සියල්ලට වඩා වැදගත් වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ජනතාව ගලවා ගැනීම ය. මත්ද්‍රව්‍ය පිටුදැකීමට ජනතාව පෙළගැසෙන්නේ නම්; මත්ද්‍රව්‍ය ජාවාරම ද ඉබේ ම අහෝසි වනු ඇත. එහෙත් ජනතාව මත්ද්‍රව්‍ය වෙතින් ඈත්කිරීම දුෂ්කර වෑයමකි. ලෝක අත්දැකීම්වලින් ඒ බව සනාථ වෙයි.

2015 න් පසු මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා බරපතළ වෑයමක් රට තුළ ක්‍රියාත්මක වෙයි. ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ප්‍රමුඛයා වී ඇති අතර ඒ නිසා ම රට තුළ මත්ද්‍රව්‍ය නිවාරණයට විශාල උනන්දුවක් පවතී. ජනාධිපති කාර්යාලය මේ සඳහා කාර්යසාධක බළකායක් පිහිටුවා ඇත. එය රට පුරාම සිය වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලුම් ගස් යැවීමට පවා ජනාධිපතිවරයා ඉදිරියට පැමිණියේ ය. එහෙත් විවිධ හේතු නිසා එය වැළැක්වී ඇත. රටේ බහුතර ජනතාව එම තීන්දුව අගය කළහ. පාසල් දරුවන් මත් උවදුරෙන් බේරාගැනීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙයි. පාසල් ඇසුරුකොට මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් පැවැත්වීමට ද සැලැසුම් කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම මෙන් ම මත්ද්‍රව්‍ය භාවිතය ලෝකයේ ප්‍රධාන සමාජ ගැටලුවක් බවට පත් වී ඇත. මේ උවදුරෙන් මිදිය හැකි නම්; බොහෝ රටවල් ශ්‍රී ලංකාව ආදර්ශයට ගනු ඇත.

 

නව අදහස දක්වන්න