ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා විරෝධතා 15ක් කුණු කූඩයට | දිනමිණ

ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා විරෝධතා 15ක් කුණු කූඩයට

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා වලට එරෙහිව ඉදිරිපත්ව තිබූ විරෝධතා 16න් එක් විරෝධතාවක් පිළිගෙන ඇති අතර අනෙක් විරෝධතා 15ක්ම ප්‍රතික්ෂේප කුණු කූඩයට විසිවෙයි. උප භාණ්ඩාගාරික තනතුරට නාම යෝජනා භාරදුන් ගිහාන් වීරසිංහ මහතා එම තනතුරට සුදුසුකම් සපුරා නොමැති බවට ඉදිරිපත්ව තිබූ යෝජනාව ක්‍රිකට් නිලවරණ කමිටුව පිළිගත් හෙයින් ඒ මහතාගේ නාම යෝජනාව පමණක් ප්‍රතික්ෂේප විය.

ලබන පෙබරවාරි 7වැනිදා පෙරවරු 10. 30ට ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයට අදාළ පිළිගත් නාම යෝජනා ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශයට පත්කළ අතර නාම යෝජනා භාරදුන් පුද්ගලයන් 6කට එරෙහිව කිසිදු විරෝධතාවක් ඉදිරිපත්ව නොතිබුණි. ක්‍රිකට් නිලවරණයේ සාමාජික ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට නියමිත තනතුරු 7ක් වෙනුවෙන් නාම යෝජනා 26ක් ඉදිරිපත්වී තිබුණි.

නාම යෝජනා ඉදිරිපත්කර තිබූ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හා වත්මන් ඇමැති අර්ජුන රණතුංග, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, හිටපු ක්‍රිකට් සභාපතිවරයෙකු වූ ජයන්ත ධර්මදාස, ඊස්මන් නාරංගොඩ, නලීන් වික්‍රමසිංහ හා සන්ජය සේදර සෙනරත් යන මහත්වරුන්ට එරෙහිව කිසිදු විරෝධතාවක් ගොණුවී නොතිබුණි.

පිළිගත් නාම යෝජනා අතර සභාපති තනතුරට මොහාන් ද සිල්වා, කේ. මතිවානන්, ජයන්ත ධර්මදාස හා ෂම්මි සිල්වා යන මහත්වරු තරගයට පිවිස සිටිති. මෙයින් මොහාන්ද සිල්වා හා ෂම්මි සිල්වා එක් පාර්ශ්වයකින් ඉදිරිපත්ව සිටින හෙයින් අවසන් මොහොතේ එක් නාම යෝජනාවක් ඉල්ලා අස්කර ගනු ඇතැයි විශ්වාස කෙරේ. මතිවානන් මහතා අනෙක් පාර්ශ්වයෙන් තරග වදිද්දී, ජයන්ත ධර්මදාස මහතා නාම යෝජනා ලබාදුන්නද, එම දෙදෙනාගෙන් එක් අයෙකු ද අවසන් මොහොතේ නාම යෝජනාවක් ඉවත්කර ගැනීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි පැවැසේ. හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මෙවර සභාපති තනතුරට නාම යෝජනා භාර නොදුන් අතර ඒ මහතාගේ පූර්ණ සහයෝගය මොහාන් ද සිල්වා පාර්ශ්වයට හිමිවන බව කලින්ම පවසා තිබිණි.

හිටපු ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා මෙවර ලේකම් තනතුරට ඉදිරිපත්ව සිටින අතර ඔහු සමග බන්ධුල දිසානායක, ෂම්මි සිල්වා හා මොහාන් පෙරේරා යන මහත්වරු එම තනතුරට නාම යෝජනා භාර දුන්හ. භාණ්ඩාගාරික තනතුර සඳහා නාම යෝජනා ලබා දී ඇති අය වන්නේ ශම්මි සිල්වා, ලසන්ත වික්‍රමසිංහ, නලීන් වික්‍රමසිංහ හා රවීන් වික්‍රමරත්න යන මහත්වරු වේ.

ක්‍රිකට් නිලවරණ කමිටු සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා පත්ව සිටින අතර විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න හා විශ්‍රාමික රජයේ නිලධාරී සුනිල් සිරිසේන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. ක්‍රීඩා පනත අනුව ක්‍රිකට් පරිපාලනයට නිලධාරීන් වශයෙන් තෝරා පත්කරනු ලැබීමට සුදුසුකම් ලබන අපේක්ෂකයන්ගේ සුදුසුකම් තීරණය කිරීමේ අධිකාරී බලය හා නිලවරණය පැවැත්වීමේ සම්පූර්ණ බලය මෙම නිලවරණ කමිටුවට පැවැරී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ තරග වැදීමට සුදුසුකම් ලැබූ නිලවරණ කමිටුව පිළිගත් නාම යෝජනා මෙසේය:

සභාපති (තනතුරු 1යි) - මොහාන් ද සිල්වා, කේ. මතිවානන්, ෂම්මි සිල්වා, ජයන්ත ධර්මදාස

උප සභාපති (තනතුරු 2යි) - අර්ජුන රණතුංග , ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, මොහාන් ද සිල්වා, ෂම්මි සිල්වා, රවීන් වික්‍රමරත්න, කේ මතිවානන්,

ලේකම් (තනතුරු 1යි) - මොහාන් ද සිල්වා, නිශාන්ත රණතුංග, බන්ධුල දිසානායක, ෂම්මි සිල්වා

භාණ්ඩාගාරික (තනතුරු 1යි) - ශම්මි සිල්වා, ලසන්ත වික්‍රමසිංහ, නලීන් වික්‍රමසිංහ, රවීන් වික්‍රමරත්න, ඊස්මන් නාරංගොඩ

උප ලේකම් (තනතුරු 1යි) - හිරන්ත පෙරේරා, ක්‍රිශාන්ත කපුවත්ත, රවීන් වික්‍රමරත්න, බන්ධුල දිසානායක,

උප භාණ්ඩාගාරික (තනතුරු 1යි) - ලලිත් රඹුක්වැල්ල, නලීන් වික්‍රමසිංහ, සන්ජය සේදර සෙනරත්

 

නව අදහස දක්වන්න