වර්තාව ඉදිරි සතියේ කතානායකට | දිනමිණ

වර්තාව ඉදිරි සතියේ කතානායකට

මහින්ද අලුත්ගෙදර

පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් වන වාර්තාව ඉදිරි සතියේ දී කතානායක කරූ ජයසූරිය මහතාට බාරදීමට නියමිත වේ.

පසුගිය නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනවලදී පාර්ලිමේන්තුවේ ඇතිවු නොසන්සුන්කාරි සිද්ධි පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කතානායක කරු ජයසුරිය මහතා කමිටුවක් පත් කළ අතර, එම කමිටු වාර්තාව මෙලෙස කතානායකවරයාට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා 'දිනමිණ' ට පැවසීය.

එම කමිටුව මාසයකට අධික කාලයක් විඩියෝ දර්ශන සහ සාක්ෂි උපයෝගි කරගනිමින් පරීක්ෂණයක් සිදුකළ අතර එහි වාර්තාව මේ වනවිට සකස් කර අවසන් කර තිබේ. ඒ අනුව දැනට විදෙස් ගතව සිටින කථානායක කරූ ජයසූරිය මහතා යළි පැමිණිමෙන් පසු අදාළ වාර්තාව භාරදීමට නියමිතය.

පසුව කමිටු වාර්තා කථානායකවරයා නිතීපතිවරයා වෙත භාරදීමට නියමිත අතර, එහිදි ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නඩු පැවරීමක් කළහැකි දැයි කථානායකවරයා නිතීපතිවරයාගෙන් කරුණු විමසනු ඇත. යම් හෙයකින් නිතීපතිවරයා නඩු පැවරිය හැකි බවට මතයක් ඉදිරිපත් කළහොත් ඒ පිළිබද යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබෙන අතර, නඩු පැවරිමේ කටයුතු සිදුවන්නේ එම යෝජනාව සම්මතවීමෙන් පසුව බවද නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

මේ අතර මෙම ගැටුමෙන් පාර්ලිමේන්තුවේ උපකරණවලට සිදු වූ හානිය ඇතුළත් තක්සේරු දෙපාර්තමේන්තුවේ වාර්තාව ද මේ වනවිට විමර්ශන සිදුකරන කමිටුව වෙත ලැබී තිබෙන අතර තක්සේරු දෙපාර්තමේන්තුව මීට පෙර ද හානි ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළ නමුත් එය, නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ප්‍රතික්ෂෙප කරනු ලැබුවේ හානි ගණනය කිරීම් එකිනෙකට පරස්පර බව හේතුවෙනි.

පාර්ලිමේන්තුවේ ඇතිවු නොසන්සුන්කාරි සිද්ධින් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කතානායක කරු ජයසුරිය මහතා පත් කළ කමිටුවේ සභාපතිවරයා වශයෙන් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා කටයුතු කරන අතර, මෙම කමිටුව ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීන්ගෙන් සමන්විත වේ.

නව අදහස දක්වන්න