කරාපිටියේ මාතෘ රෝහලේ ඉදිකිරීම් අවසාන අදියරේ | දිනමිණ

කරාපිටියේ මාතෘ රෝහලේ ඉදිකිරීම් අවසාන අදියරේ

ලංකින්ද නානායක්කාර ඉමදුව සමුහ

ගාල්ල කරාපිටියේ ඉදිවෙන නව මාතෘ රෝහලේ ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු අවසන් අදියරේ. මෙම ව්‍යාපෘතිය භාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ගයාන් රණවීර මහතා පැවසූවේ මෙම රෝහලට අවශ්‍ය වායු සමීකරණ වැනි සෙසු පහසුකම් සපුරාලීමෙන් පසු මේ වසරේ අගෝස්තු මාසය වන විට විවෘත කිරීමේ හැකියාව ලැබෙන බවයි.

මෙම මාතෘ රෝහලේ ඉදිකිරීම් සඳහා යූරෝ මිලියන 41ක සහන ණයක් ජර්මනියෙන් ලැබී තිබිණි. මහල් හයකින් යුත් මෙම මාතෘ රෝහල වර්ග අඩි ලක්ෂ 4ක වපසරියකින් යුක්තය. ඇඳන් 600කින් සමන්විතවේ.

මෙරටට මීට වසර 14 කට පෙර බලපෑ සුනාමි ව්‍යාසනයේදී ඒ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටි ජර්මනියේ හිටපු චාන්සලර් දිවංගත හෙල්මට් කෝල් මහතා මහමෝදර මාතෘ රෝහලට සුනාමියේ බලපෑමෙන් වූ විපත සියසින් දැක එම රෝහල එම ස්ථානයෙන් ඉවත් කර රට අභ්‍යන්තරයේ ස්ථාපිත කිරීමට අවශ්‍ය අරමුදල් පරිත්‍යාගයක් වශයෙන් ශ්‍රි ලංකාවට ලබාදුන්න ද එම මුදල් කාබාසිනියා කිරීම හේතුවෙන් එම මුදල් වලින් මෙම රෝහලේ ඉදිකිරීමට හැකිවුයේ අත්තිවාරම පමණි.

පසුව වත්මන් රජය නැවතත් මේ සම්බන්ධයෙන් ජර්මන් රජයත් සමඟ සාකච්ඡා කර මෙම රෝහල ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් සහණ ණයක් ලෙස ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් මෙහි ඉදිකිරීම් 2015 ජූලි මාසයේ දී යළි ඇරඹිණි.

නව අදහස දක්වන්න