කිරි උතුරන්නාක් මෙන් සියලු සිත් සතන් ප්‍රීතියෙන් ඉතිරේවා | දිනමිණ

කිරි උතුරන්නාක් මෙන් සියලු සිත් සතන් ප්‍රීතියෙන් ඉතිරේවා

බහුවිධ ආගම් ජාතීන් හා සංස්කෘතීන්ගේ සාරවත් බව රකිනු වස් තෛපොංගල් උත්සවය වැනි උත්සව බෙහෙවින් ඉවහල් වනු ඇති බව තෛපොංගල් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී.

එම ශුභාශිංසන පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

මිනිස් වර්ගයාගේ ජීවනාලිය බඳු ගොවිතැනට අවැසි ජලය, ආලෝකය, උෂ්ණත්වය සහ සුළඟ යන සාධකවලට අධිගෘහිත වූ සූර්ය දිව්‍ය රාජයාණන්ට කෘතඥතාව පුදකරනු වස් ලෝකවාසී දෙමළ ජනයා විසින් සමරනු ලබන තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පළකිරීමට ලද අවස්ථාව පිළිබඳ සතුටු වෙමි.

දෙමළ ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම කිවිවරයකු ලෙස සැලකෙන භාරදියාර් ‘ගොවිතැනට නමස්කාර ‍කරමු’ යනුවෙන් කළ ඓතිහාසික පබැඳුමෙන් දෙමළ ජනයා ගොවිතැන සම්බන්ධයෙන් පළ කරන පූජනීය පිළිගැනීම ප්‍රකට කරයි. ගොවිතැන තම ප්‍රධාන ජීවනෝපාය කර ගනිමින්, සොබාදහම හා බද්ධ වූ දිවි පෙවෙතක් ගතකළ ඔවුහු තෛපොංගල් සැමරුම මඟින් සොබාදහමේ උත්කෘෂ්ට ත්‍යාගශීලීත්වයට තම නමස්කාරය පළ කළහ. කිරි උතුරන්නාක් මෙන් සියල්ලන්ගේ සිත් තුළ සෙනෙහසත්, ප්‍රීතියත් උතුරා ගොස් සංහිඳියාව විකසිත විය යුතුය යන අභිලාෂය පෙරදැරිව දෙමළ ජනයා තම ගොවිතැනෙන් ලද අග්‍රඵලය වූ නැවුම් සහලට නිකැලැල් ක්ෂීරයත්, හකුරුත් මුසුකොට ලිප තබා කිරි උතුරුවති. බහුවිධ ආගම්, ජාතීන් හා සංස්කෘතීන්ගේ සාරවත් බව රකිනු වස් මේ ආකාරයේ සංස්කෘතික උත්සව බෙහෙවින් ඉවහල් වනු ඇති බව මාගේ අදහස යි.

දුරුතු උදාව ජීවිතයට නව මං විවර වන බව දෙමළ ජනයාගේ විශ්වාසය යි. එම විශ්වාසයන් ඉටු වී ජීවිතයට නව උදාවක් එළැඹෙන ප්‍රීතිමත් තෛපොංගල් උත්සවයකට සුබපතන අතර, ස්වභාව ධර්මය සහ මිනිස් වර්ගයා අතර වූ ශක්තිමත් බැඳීම ඔප්නංවමින්, දෙමළ සංස්කෘතියේ සහ කලාවේ සාරගර්භ හරයන් කල එළිදක්වමින් තෛපොංගල් උත්සවය සමරන ලක්වාසී දෙමළ ජනතාවටත්, ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවටත් මාගේ හද පිරි ශුභාශිංසන පිරිනමමි.

 

නව අදහස දක්වන්න