වසරක සුරාබදු පාඩුව බිලියන දහයක් | දිනමිණ

වසරක සුරාබදු පාඩුව බිලියන දහයක්

ජයසිරි මුණසිංහ

මත්පැන් නිෂ්පාදනය කරන ඇතැම් නිෂ්පාදන සමාගම් නිවැරදිව තම නිෂ්පාදන පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් නොකිරීමෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 10ත් 12ත් අතර සුරාබදු ආදායමක් අහිමි වන බව සමීක්ෂණයකින් හෙළිදරව් කරගෙන තිබේ.

සැර මත්පැන්, බියර්, වයින් වැනි නිෂ්පාදනයන් කරන බහුතරයක් සමාගම් මෙසේ බදු ගෙවීම් මඟහැර කටයුතු කරන බවද මේ සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත. රජයට ගෙවිය යුතු නියමිත සුරාබදු ආදායම් නොගෙවා හරිමින් බහුතරයක් නිෂ්පාදන සමාගම් කටයුතු කිරීම නිසා බදු ගෙවන සමාගම් පවා බදු ප්‍රතිපත්තිය පිළිබඳව කලකිරීමට පත්ව ඇතැයි ද මෙයින් හඳුනාගෙන ඇත.

පෞද්ගලික අංශයේ වෘත්තිකයින් කණ්ඩායමක් මේ සමීක්ෂණය සිදුකොට ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම බීර පෙරන්නා වන ලයන් බෲවරි සිලෝන් පී.සී.එල්. සමාගමේ සහ විශාලතම මද්‍යසාර නිෂ්පාදකයා වන ශ්‍රී ලංකා ඩිස්ටිලරිස් සමාගමේ 2018 වාර්ෂික වාර්තා සමාලෝචනය කිරීමෙන් පසුව මේ සමීක්ෂණය සිදුකොට තිබේ.

මේ අන්දමට රජයට ලැබිය යුතු බදු මුදල් නිසි ලෙස නොලැබී යෑම පිළිබඳව සහ මුදල් වංචා කිරීමේ අපරාධය නතර කිරීමට හා මහජන අදහස් ලබා ගැනීමට කොමිසමක් පත්කරන ලෙස සමීක්ෂකයෝ මුදල් හා ජනමාධ්‍ය විෂය භාර ඇමැති මංගල සමරවීර මහතා වෙත සිය වාර්තාව මඟින් නිර්දේශ ඉදිරිපත්කොට ඇත.

නීතිමය බියර් හා අරක්කු නිපදවන ඩිස්ටීලරිස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා හා ලයන් බෲවරි පී.එල්.සී.සමාගම ඒකාබද්ධව රුපියල් මිලියන 80ක් වාර්ෂිකව රජයට බදු මුදල් ගෙවනු ලැබේ. මෙය සුරාබදු ආදායමෙන් සියයට 71 කි.

මේ ආකාරයට සමාගම් කිහිපයක් නිසි ලෙස බදු මුදල් ගෙවන විට නීති විරෝධි නිෂ්පාදකයින් බහුතරයක් කිසිඳු බදු මුදලක් නොගෙවීම රජයේ ආදායම් එකතු කිරීමට බරපතළ අසාධාරණයක් බවද සමීක්ෂකයෝ පවසති.

සුරාබදු ආඥා පනත වසර 106ක් තරම් පැරණි වූවක් බැවින් එය සංශෝධනය කොට නව ක්‍රමවේද හා කාර්යයන් ඔස්සේ බදු රැස් කර ගැනීමට වහාම ක්‍රියා කළ යුතු බවද සමීක්ෂකයෝ කියා සිටිති.

නව අදහස දක්වන්න