විහිළු තැනීම විහි­ළු­වක් නොවේ | දිනමිණ

විහිළු තැනීම විහි­ළු­වක් නොවේ

මීට කලකට පෙර මා සේවය කළ ස්වාධීන පුවත්පත් ආයතනයේම සිටි තරුණ පත්‍ර කලාවේදියෙකු වූ කොත්මලේ සිරිසේනගේ අප ප්‍රියකළ හොඳ ගුණයක් වූයේ දවසේ පුවත්පත්වල සියලුම කාටුන් කියවා පැමිණ අපට ඒවා රසවත් අයුරින් ඉදිරිපත් කිරීමය. මේ නිසා පුවත්පත්වල කාටුන් බැලීමට වඩා ඒවා කොත්මලේගෙන්ම අසා ගැනීමට අපි පුරුදුව සිටියෙමු. කාටුනය අඳින චිත්‍ර ශිල්පියාට අප හා සිනාසිය නොහැක. පාඨකයන් වන අපද සිනා නඟන්නේ මනසිනි. එහෙත් අද මෙන් රූපවාහිනිය නොතිබූ එකල චතුර ලෙස සවසේ කාටුන් ඉදිරිපත් කරන කොත්මලේ අවසානයේ කාටුන් කාරයාට බැරි සිනහවද පායි. මදක් ඉදිරියට නැමී එළු රැවුල කසමින් සිනාසෙන ඔහු සමඟ අපිදු සිනාසෙමු.

මට මේ පැරණි මතකය යළි අවදිවූයේ මගේ පොත් රාක්කයක් අතර එල්ලා ඇති රාමු කරන ලද පුවත්පත් කාටුනයකට ඇස යොමුවීමෙනි. එය ජේ. ආර්. ජයවර්ධන ජනපති යුගයට සබැඳිය. පුවත්පත ඇත්තය. කාටුන් ශිල්පියා යුනුස්ය. එම කාටුනයේ ඉහළින් ජනපති ජේ. ආර්. රැස්වීමකදී කියූ කතාවක් දැක්වෙන පුවත්පත් වාර්තාවක සිරස්තලයක් දැක්වෙයි. ඒ මෙසේය.

“මා දේශපාලනයට ඇදී ආවේ වේදිකා නාට්‍ය නිසා - ජේ. ආර්.” ඊට පහලින් යුනුස්ගේ ජනප්‍රිය කාටුන් චරිතය වන සරමකින් සහ කමිසයකින් සැරසුණු පොඩි මිනිසා අකුලන ලද කුඩේද ඉහළට ඔසවාගෙන මෙසේ කෑ ගසමින් යයි.

“වේදිකා නාට්‍ය භංග වේවා!”

ජනපති ජේ. ආර්. තම කතාවෙන් අදහස් කළේ රාජකීය විදුහලේ ඉගෙන ගන්නා සමයේ පාසල් නාට්‍යවල රඟපෑම නිසා තමන්ගේ සබකෝලය නැතිවී කථිකත්වය දියුණු වූ බවය. එහෙත් යුනුස් පුවත්පත් සිරස්තලයේ වාසිය තමන්ගේ පැත්තට හරවා ගත්තේය.

දේශපාලන උපහාසය යනු දීර්ඝ ඉතිහාසයක් ඇති රසවත් කතාන්දරයකි. මිනිසාගේ පාලනය උදෙසා එක් මිනිසකු හෝ මිනිස් කණ්ඩායමක් පත්කර ගැනීම ආරම්භවූදා සිටම දේශපාලන උපහාසයද පැන නැඟුණේය.

දේශපාලන උපහාසය මතුවන දෙආකාරයකි. දේශපාලනයේ භාවිතය සහ දේශපාලනඥයන්ගේ ක්‍රියාදාමයන් තුළින්ම පැන නගින උපහාසය එකකි. දෙවැන්න දේශපාලකයන් අරභයා ජනතාව විසින් නිර්මාණය කරනු ලබන උපහාසයයි. දෙවැනි ආකාරය බොහෝ විට රසවත්ය. ජනප්‍රියය. නස්රුදීන්ගේ හෝ අන්දරේගේ කතාවක් තුළ වුව ජනතාව සතුව තිබූ මෙම සියුම් උපහාස ඥානය පිළිබිඹු වෙයි. අද වනවිට අන්තර්ජාලය තුළින් දවසින් දවස නොව මොහොතින් මොහොත දේශපාලන උපහාස, කාටුන් සහ කතන්දර දකින්නට ලැබේ.

උපහාසය යනු අපහාසය නොවේ. අපහාස ලබන්නාගේ කන් රතු වෙයි. සමහරවිට එයින් අපහාස කරන්නාගේ කන් අඩි රත්වෙයි. එහෙත් උපහාසය එසේ නොවෙයි. උපහාසය උපහාස කරන්නාට මෙන්ම ලබන්නාටද සිනාසිය හැකිය. කෙසේ වෙතත් උපහාසයද අපහාසය මෙන් පෙනෙන මුග්ධයන් දේශපාලන ලෝකයේ දුලබ නොවේ. (ජනපති ප්‍රේමදාස යුගයේදී ඉහත කී කාටුන් ශිල්පි යුනුස්ගේ නාසය කපා දැමීමේ සිද්ධියද මෙහිදී සිහිපත්වේ.)

අමෙරිකා එක්සත් ජනපදයේ විසූ සුප්‍රකට නීතිඥයකු හා අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් සංගමයේ සාමාජිකයකු වූ ක්ලැරන්ස් ඩැරෝ (Clarence Darrow) පවසා ඇති අන්දමට “සිනාසීමේ ශක්තිය ඔබෙන් තුරන්වේ නම් සිතීමේ ශක්තියද ඔබට අහිමි වනු ඇත.” “If you lose your power to laugh, you lose your power to think.”

උපහාසාත්මක කියුම් බිනීමෙහි හපනකු ලෙස ප්‍රකටව සිටි ඩැරෝගේ ජනප්‍රිය උපහාස වැකි තුනකි මේ.

“මා කුඩා දරුවකුව සිටියදී ඕනෑම මට්ටමේ පුද්ගලයකුට ජනාධිපති විය හැකියයි උගන්වනු ලැබුණි. දැන් මම එය විශ්වාස කරමි.”

“මම කිසි කලෙකත් මිනිසෙකු මරා නැත්තෙමි. එහෙත් ඇතැම් මරණ දැන්වීම් කියවා බොහෝ සතුටක් ලබා ඇත්තෙමි.”

“ඔබ නිවැරදිව ඉංග්‍රීසි කතා කිරීමට ඉගෙන ගත්තා යයි සිතමු. එහෙත් ඔබ එයින් කතා කිරීමට යන්නේ කා සමඟද?”

යුරෝපා හෝ අමෙරිකානු දේශපාලන උපහාස කතාද බොහෝවිට අපේ රටවලට ගැළපෙයි. එක් අමෙරිකානු උපහාස කතාවක් මෙසේය. එහි එක් ප්‍රාන්ත මැතිවරණයකදී අපේක්ෂකයෙක් ගම්බද පෙදෙසක රැස්වීමක් අමතමින් සිටියේය. කතාව මැදදී මහලු ගොවියෙක් නැඟිට ඔහුට බාධා කළේය.

“අපේ කාලෙ නාස්ති වෙනව විතරයි. ඔහේ තවත් මූණු දෙකේ දේශපාලනඥයෙක් විතරයි.” එසේ කියූ ගැමියා රැස්වීමෙන් පිටව ගියේය. ඔහු යන දෙස බලා සිටි දේශපාලනඥයා සභාවෙන් මෙසේ ඇසුවේය. “මහත්වරුනි, මට මූණු දෙකක් තිබුණා නම් අද මේ මූණ දාගෙන මෙතෙන්ට එනවද...”

ඒ අපේක්ෂකයා මැතිවරණය ජයගෙන තිබුණි.

ආසියානු රටවල දේශපාලන උපහාස කතා ශ්‍රී ලංකාවේ අපට වඩාත් සමීපය. දිල්ලියේ එක් සමාජ ශාලාවකට දිනපතා රැස්වන වියපත් මිතුරන් කිහිප දෙනෙකි. ඔවුහු විස්කි වටයක් දෙකක් තොලගාන අතරේ අලුත්ම අලුත් උපහාස කතාද හුවමාරු කරගනිති. ඉන්දියාවේ “කොලම් රජ්ජුරුවෝ” ලෙස හැඳින්වුනු කුෂ්වන්ත් සිං ද මේ මිතුරු සමාජයේ අනිවාර්ය සාමාජිකයකු විය.

“ට්රේන් ටු පකිස්තාන්” වැනි සුප්‍රකට නවකතාද ලියූ කුෂ්වන්ත් උපහාස රසය මහත්සේ ප්‍රිය කළ කෙනෙක් විය. ඔහු උසස් සාහිත්‍ය කෘතීන් රචනා කරන අතරේම වෙනත් පුද්ගලයන්ගේ විහිළු කතා එක්කොට “කුෂ්වන්ත් සිංන්ග්ස් ජෝක් බුක්” නමින් පොත් පෙලක් පළකිරීමට අවසර දුන්නේද එහෙයිනි. කුෂ්වන්ත් සඳහන් කර ඇති අන්දමට විහිළු තැනීම සිනාවට කාරණයක් නොවේ. එය ඉතා බැරෑරුම් කටයුත්තකි.

ස්ටාලින් හා හිට්ලර්ට සම්බන්ධ සිනා කතා හැදුණේ කොමියුනිස්ට්වාදය රුසියාවේත්, පැසිස්ට්වාදය ජර්මනියේත් කිරුලු පැලඳ සිටි කාලයේදීමය. වර්තමාන රුසියාවේ වැඩිපුරම උපහාස කතා හැදෙන්නේ ජනපති පුටින් වටාය. ජෙනරල් සියා උල්හක් පකිස්ථානයේ ආඥාදායකත්වයක් පවත්වාගෙන යද්දී ඔහු වටා ගොඩ නැඟුණු විසිලු කතා පියාපත් ලැබ ලොව පුරා ඉගිල ගියේය. ඉන්දිරා ගාන්ධිගේ හදිසි නීතිය කටවටකර වැට බඳිද්දී ඇය වටා ගෙතුණු උපහාස කතා වැටෙන් පැන රටින් රට පැතිර ගියේය.

බොහෝ දෙනා කැමති අනුන්ට සිනාසීමටය. තමන්ටම සිනාසීමට කැමති අය හැමතැනම නැත. පංජා‍බ් ජාතිකයකු වූ කුෂ්වන්ත් සිං තමාටම සිනාසුණු මිනිසෙකි. ඒ තම ජාතියේම හැටියක් බව ඔහු පැවසුවේ ආඩම්බරයෙනි. කුෂ්වන්ත් තම මරණ දැන්වීමද කල්තියාම ලියා තැබූ අතර එයද සිනාවට කාරණයක් විය.

සිදුවිය හැකි පරිද්දෙන්ම ඉන්දියාවේ සමහරුන්ට කුෂ්වන්ත් සිං දිරෙව්වේ නැත. සමහරුන් ඔහු හැඳින්වූයේ බේබද්දා, කටහැකරයා සහ වල් නාකියා වැනි යෙදුම්වලිනි. කුෂ්වන්ත් ඒවාටද කටපුරා සිනාසුණේය. කුෂ්වන්ත් ඉතිරි කර ගිය උපහාස කතා කීපයකින් මේ නව වසරේ ඔබට සංග්‍රහ කිරීමට සිතුවෙමි.

තානාපති රැකියාව

ඉස්ලාමාබාද්හි ඉන්දියානු තානාපතිව සිටි එස්. කේ. සිං නිරහංකාර, මිත්‍රශීලි පුද්ගලයෙකි. තානාපතිව සිටි අවධියේ සියරට පැමිණි අවස්ථාවක ඔහු තම මිතුරෙකුගේ නිවසක භෝජන සංග්‍රහයකට ගියේය. සතුටු සාමීචියේ යෙදෙන අතරේ ඔහු සිය මිතුරාගේ සිවු හැවිරිදි දියණිය සමඟ කතාවට වැටුණේය.

“දුව ලොකුවෙලා මොනවද කරන්න යන්නේ... සින්දු කියන්න දන්නවද...”

තානාපති සිං දැරියගෙන් එබඳු සාමාන්‍ය “ළමා ප්‍රශ්න” ටිකක් ඇසුවේය. ඇයද ඊට නොපැකිළිව පිළිතුරු දුන්නාය. ඉන්පසු දැරියගේ වාරය එළඹුණි.

“අන්කල් මොනවද කරන්නේ‍...”

“මම ඇම්බැසඩර් කෙනෙක්...”

ඒ ඇසූ දැරිය සිනාමුසුව වටපිට බැලුවාය. සිං, කුතුහලයෙන් යුතුව දැරිය දෙස බැලුවේය.

“අපේ තාත්තගෙ කාර් එකත් ඇම්බැසඩර්...” සිංගේ මුහුණ පුංචි විය!

(ඉංග්‍රීසියෙන් ඇම්බැසඩර් යනු තානාපතිය. ඉන්දියාවේ නිපදවන ජනප්‍රිය හා සුලභතම වාහනයේ නමද ඇම්බැසඩර්ය.)

ඇමති දෙසුම

යුරෝපා රටක පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක දේශනයක් පැවැත්වීම සඳහා, ඉන්දීය ඇමැතිවරයෙකුට ද ආරාධනයක් ලැබුණි. එහෙත් ඔහුගේ ඉංග්‍රීසි දැනුම ඉතා දුර්වලය. එහෙයින් ඔහු තම මාධ්‍ය ලේකම්වරයා ලවා මිනිත්තු තිහක කතාවක් සකස් කර ගත්තේය.

සම්මන්ත්‍රණයට ගිය ඇමැති, පිටපත බලාගෙන සිය කතාව පැවැත්වීය. එහෙත්, නියමිත මිනිත්තු තිහ ඉක්මවා පැයකට ම කතාව දික්ගැසීම ගැන සංවිධායකයෝ දොස් නැඟූහ. ඇමැතිවරයා ද කෝපයට පත්විය. ඔහු තම ලේකම් කැඳවා බැණ වැදුණේය.

“තමුසෙ මාව කෑවා. මිනිත්තු තිහේ කතාව පැයක් කෙරුවෙ මොකද?”

“නෑ ඇමතිතුමා. මම දුන්නේ, මිනිත්තු තිහේ කතාවට තමයි. ඒත් ඔබතුමා කතාව ඉවර වෙලා යටින් තිබුණු ෆොටෝ කොපියත් කියෙව්වනෙ.”

ගින්දර සහ කවි

තෙළිඟු ජාතික ශ්‍රී ශ්‍රී, විප්ලවවාදී කවි ලිවීම ගැන ප්‍රකටව සිටියෙකි. එක් දිනක්, ඔහු හමුවීමට ගිය ආධුනික කවියෙක් ශ්‍රී ගෙන් මෙසේ ඇසුවේය.

“ඔබේ කවි ගින්දර වගේ. මටත් ඒ වගේ කවි ලියන්න උගන්නනවද?”

ඒ ඇසූ ශ්‍රී මෙසේ පිළිතුරු දුන්නේය.

“කවිවලට ගින්දර එකතු කරනවට වැඩිය ලේසියි. ඔබ ලියන කවි ගින්දරට දැමීම, ඒ විදිහ කරල බලන්න.”

ගාන්ධිට අශ්වයෙක්

ඉබාගාතේ ඇවිද යන දිළිඳු පුද්ගලයෙක්, එක් රාත්‍රියක තම නවාතැන කරගත්තේ, මංසන්ධියක පිහිටි මහත්මා ගාන්ධි ප්‍රතිමාවක පාමුළය. මධ්‍යම රාත්‍රියේදී, ගාන්ධි තම සැරයටියෙන් තට්ටු කර, අර පුද්ගලයා අවදි කළේය.

“ගාන්ධිජී... මොකද මාව අවදි කළේ?”

“උඹල වගේ ඉන්දියානුවො ඔක්කොම එකයි. කිසිම කෙළෙහිගුණයක් දන්නෙ නෑ. හැම තැනම මගේ ප්‍රතිමා හදලා. ඒත් ඒ හැම තැනම මම හිටගෙන, නිදහස් සටන කාලෙත් මම කොච්චර පයින් ඇවිද්ද ද?”

ගාන්ධි දොස් කියන්නට වූයේය.

“හරි... හරි... ඉතින් ඔබතුමාට මොනවද ඕනෙ?”

“හැරමිටිය අල්ලගෙන තව කොච්චර කාලයක් මෙහෙම ඉන්නද? මගෙ කකුල් දෙකත් හොඳටම රිදෙනවා. අර ශිවාජිට වගේ මටත් අශ්වයෙක් ගෙනත් දෙනවකො.”

ඒ ඇසූ දිළිඳු පුද්ගලයා, නගරයේ ප්‍රභූන්ගෙ නිවෙස් කරා ගොස්, මෙම සිද්ධිය කියා සිටියේය. කිසිවෙකුත් ඔහු විශ්වාස නොකළහ. එහෙත්, එක් ඇමැතිවරයෙක්, මේ ගැන උනන්දුවක් දක්වා, අර පුද්ගලයා සමඟ ගාන්ධි ප්‍රතිමාව අසලට ගියේය.

“ගාන්ධිජී, මට අශ්වයෙක් නං හොයාගන්ඩ බැරිවුණා. ඒත් ඒ ගැන කතා කරන්ඩ මේ ඇමැතිතුමා කැමති වුණා.”

ඒ ඇසූ ගාන්ධිට යකා නැග්ගේය.

“මිනිහෝ! අස්සයෙක් නැත්තං නිකා ඉඳපං.

බූරුවෙක් මොකටද ගෙනාවේ”

කපිල කුමාර කාලිංග


නව අදහස දක්වන්න