සසං­කාගේ රැළි නොවන් රැළි අතර ඇසුණු තුෂා­රිගේ නොවන කවිය | දිනමිණ


 

සසං­කාගේ රැළි නොවන් රැළි අතර ඇසුණු තුෂා­රිගේ නොවන කවිය

සසංකා විතානගේ තරුණ කිවිඳිය, ජයවර්ධනපුර සරසවියේ ජන සංනිවේදන උපාධියට ශිල්ප ලබන මාණවිකාව කිවිඳියකගේ සිහිනය මල්ඵල ගන්වා ගන්නී ඇගේ පළමු කවි එකතුව ජනගත කිරීමෙනි. කිවිඳියක ලෙස තම කුලුඳුල් කෘතිය පළ කර ගැනීමේ සිහිනයෙන් ඔබ්බට ගිය සිහිනය වන එය පිරිසක් හමුවේ ජනගත කිරීමේ සිහිනය ද සසංකා සැබෑ කර ගන්නී පසුගිය අටවන දා මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී විසාල ප්‍රේක්ෂකාගාරයක් හමුවේදී ය. එය අපූරු සොඳුරු අත්දැකීමක් ලෙස මට හැඟුණේ එදින පැමිණ සිටි අමුත්තන්ගේ හරස් කඩක මුහුණු දුටු කල්හිය. විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, සසංකාගේ පාසලෙහි ගුරුවර ගුරුවරියන්, කතෝලික පූජකවරු, කන්‍යා සොහොයුරියන්, මාධ්‍යවේදීන්, සරසවි මාණව මාණවිකාවන්, කවිය ප්‍රමුඛ කොටගත් ප්‍රවීණ හා තරුණ සාහිත්‍යවේදීන්, පුද්ගලික අංශයේ විධායක පිරිස්, ඇතුළු සසංකාගේ මුහුණු පොත මිත්‍ර සමාගමය, දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන්ගේ ගේ මුහුණු මෙම හරස් කඩ තුළ මම දිටිමි. ජනප්‍රිය නොවූ තවමත් සරසවි ශිෂ්‍ය මාණවිකාවක වන සසංකා වැනි අංකුර කිවිඳියකගේ නිර්මාණ සංග්‍රහයක් ජනගත කිරීමේ උලෙළක දුටු ප්‍රේක්ෂක සහභාගීත්වය සැබැවින්ම ආස්වාදජනකය. සම්ප්‍රවේශක සිත එෆ් එම් නිවේදක ප්‍රේම්නාත් ගේ කෙටි හා විච්චූරණ තොර වූ ඉදිරිපත් කිරීමෙන් වර්ණවත් වූ ජනගත කිරීම සරල හා චාම් උත්සවයක් වීය. දේශන අතර මැද ඉදිරිපත් වූ උපේක්ෂා විමුක්තිනීගේ ගායනා තුළින් සසංකාගේ කවියෙහි භාවයන් මතු නොවුණු බවයි මගේ හැඟීම වූයේ. එහෙත් ඉන් කවියට හානියක් වී යැයි නොසිතේ. කෙටි හා සරල උත්සවයේ කෙටි දෙසුම් හෙවත් කැෂුවල් කතා පැවරී තිබුණේ සම්මානිත කිවියර සුනන්ද කරුණාරත්නට හා සාහිත්‍ය හා ටෙලිනාට්‍ය නිර්මාණවේදිනී තුෂාරි අබේසේකරට පමණි. ඔවුන් දෙදෙනාම ප්‍රේක්ෂාගාරය හඳුනාගෙන ඊට උචිත දෙසුම් පවැත් වූ බවයි මගේ හැඟීම.

සුනන්ද කරුණාරත්න ඉතා සංක්ෂිප්තව සසංකාගේ කවි සංග්‍රහයෙහි දිදුලන නිර්මාණ කිහිපයක් සනිදර්ශනාත්මකව උපුටා දක්වමින්, ඇගේ කවිය කියවීමට ආරාධනා කළ සෙයක් පෙනිණ. ඔහුගේ දෙසුම කෙටිය. එහෙත් අර්ථවත්ය. ව්‍යක්තය. කවියක තිබිය යුතු යැයි විශ්වාස කෙරෙන මූලික ලක්ෂණ එතෙර කවීන්ගේ ප්‍රකාශන ද උපුටා දක්වමින් ඉල්ලා සිටියේ එම ලක්ෂණ ද සිත්හි තබා ගෙන සසංකාගේ කවිය හඳුනාගන්නා ලෙසයි. ඊට හාත්පසින්ම වෙනස්, එහෙත් සසංකාගේ කවිය මුල් කොට ගෙන කාව්‍යකරණයට ඈ සතු නිර්මාණශීලීත්වය මෙන්ම අනෙකුත් පහසුකම් ද පිරික්සමින් එවන් පසුබිමක් සතු නොවූ ඈත දුර බැහැර පාසල් දරුවකුගේ නිර්මාණයක් ද නිදසුන් කොට දක්වමින්, එය අප හමුවේ එලෙසින්ම ඉදිරිපත් කරමින් තුෂාරි අබේසේකර නිර්මාණකාරිය කළ කෙටි අදහස් සමූහය අප සිත පැහර ගත් බව කිවමනාය. තුෂාරිගේ නිර්මාණ පසුබිමෙහි මාතා, ස්නේහයේ දාසිය වැනි නවකතා ද, හෝපළු අරණ හා පත්තිනි වැනි ටෙලි නිර්මාණ ද අප මතකයට එයි. නිර්මාණාත්මක ගීත රචනයෙහි ද තුෂාරි දස්කම් පාන බව අපි දනිමු. තුෂාරිට හමුවන සසංකා විතානගේ නම් කවිකාරියගේ පසුබිම කුමක් ද? ඇගේ කවිය හඳුනාගත්තෝ කවරහු ද? පාසලේ ගුරුමවක හෝ පියකු විසින් පළමුව හඳුනා ගනු ලැබූ සාර්ථක නිර්මාණකරුවන්, නිර්මාණකාරියන් කොතෙක් වේද? සාහිත්‍යය මතු නොව, අනෙක් බොහෝ කලා ක්ෂේත්‍ර තුළ ද පාසලේ ගුරුවර ගුරුවරියන් විසින් සොයාගත් බොහෝ මිණි කැට ඇති බව නොකිවමනාය. සසංකාගේ කවිය පළමුව හඳුනාගනු ලබන්නේ ඈ අකුරු කළ කැලණිය සාන්ත පාවුළු බාලිකාවේ සිංහල විෂය හදාරන අතර උපකාරක පන්තියක දී සිංහල විෂය ඉගැන්වූ රත්න ශ්‍රී බණ්ඩාර ගුරු පියාණන්ය. සසංකා විසින් ඔහු සිහිපත් කොට ඇත්තේ මෙලෙසය. ‘අයිලයක් හදන්නට ඉගැන්වූ දුයිෂෙන් - රත්න ශ්‍රී බණ්ඩාර ගුරු සඳ නිහඬ - නිසල අහස දෙස බලා ඒ නාමය මම සිහි කරමි. එළි දි දී නිවි නිවී ඔහු තවමත් පායන්නේය.‘ පාසලේ දී ඇගේ කවිතාව දකින ඔහු ඇගේ කවියට අත්වැලක් වන්නේය. ඈ ඉන් නිර්මාණාවේශය ලබන්නී ඉඳ හිට පුවත්පත් කවි පිටුවකට තම නිර්මාණයක් යොමු කිරීමට ද පුරුදුව සිටියාය. එහි ප්‍රතිඵලය වන්නේ එහෙමත් පිරිමි ඉන්නව බං නම් කාව්‍ය නිර්මාණය ලංකා කව්මුතුමිණි කවි පිටුවෙහි පළවීමය. ඉන් උත්තේජනයට පත්ව නිර්මාණ ඉදිරිපත්කිරීමට පෙළඹුණු සසංකාගේ කවියකට ලංකා කවි පිටුවෙහි නිතර ඉඩ වෙන්වූවා පමණක් නොව ඇතැම් සතියක එහි සංස්කාරකගේ තේරීම ලෙස ද ඇගේ කවියක් පළ වන්නේය. ඒ අපූරු නිර්මාණය වන්නේ ' මං අඬන්නෙ නෑ...... ඒත් මම අඬනවා' පද්‍ය පංතියයි. දිවයින වටමඬල කවිමිහිරට මේ නිර්මාණය එක්වීමෙන් පසු ඈ මා අමතන්නීය. කවියෙන් හඳුනා ගත් සසංකාගේ දුරකතන ඇමතුමට මගේ ප්‍රතිචාරය වන්නේ තව තවත් කවි ලියන ලෙස ඉල්ලා සිටීමයි. ඉන් ඔබ්බට ගොස් මා ඇයට පවසන්නේ හොඳ කවි ලියන දන්නා අඳුනා තරුණ කවි කිවිඳියන් වේ නම් ඔවුන්ගේ නිර්මාණ ද කවි පිටුවට යොමු කරන්නැයි ඔවුන්ට දන්වන ලෙසයි. ඇගේ උපකාරක පන්තියේ සිටි එක් ශිෂ්‍ය සොයුරෙකුට ඈ මේ පණිවිඩය දෙන්නීය. ඔහු කළණ දම්සරය. සසංකාගේ මග පෙන්වීමෙන් පාසල් ශිෂ්‍යයකුව සිටිමින් ලංකා කවි පිටුවෙහි තම කවියට ඉඩ සොයාගත් කළණ මේ වනවිට කොළඹ සරසවියේ සිංහල ගෞරව උපාධිය සඳහා අකුරු කරන්නේය. තවමත් හොඳ කවි ලියා කවි පිටුවට එවන්නේය. කිවිඳියක, හොඳ මිතුරියක වන සසංකා සරසවියට යන්නට පෙරම කවිමිහිර කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උලෙළේ කෙටි දේශනයක් පවත්වමින් ඇගේ දේශන කුසලතාව ද ප්‍රකට කළාය. සසංකා ගේ කාව්‍ය සංග්‍රහය පිළිබඳ දීර්ඝ විවරණයක් නොකළ ද තුෂාරි අබේසේකර නිර්මාණකාරිය නිර්මාණයක අන්තර්ගතය, කවියක් ලියවෙන්නේ කෙසේද, වේදයිතයක් සුමට කවියක් බවට පත්කිරීමට කුමක් කළ යුත්තේ ද යන්න පිළිබඳ ඈ ලද අත්දැකීම් ඇසුරින් කළ ඉදිරිපත්කිරීම ද එහි දී ඈ විසින් උපුටා දක්වන ලද නිර්මාණය ද රසික සභාව ග්‍රහණයට හසු කර ගැනීමට සමත් විය. ඇගේ අවසරය පරිදි එම නිර්මාණය ද එහි පසුබිම් කතාව ද පාඨක ඔබට උපුටා දක්වන්නේ කවියක් සංස්කරණය කිරීමට පෙර කෙබඳු හැඩයක් ගන්නේ ද යන්න තෝරා බේරා ගැනීමට ඉන් ඉඩක් ලැබෙන බැවිනි.

තුෂාරි , සසංකාගේ කවිය විවරණය කරමින් ඇයට කවි ලිවීමට ඇති පහසුකම් පිළිබඳ කතා කිරීමෙන් පසුවයි ඇගේ අත්දැකීමේ පසුබිම හා එකී නිර්මාණය අපට ඇසෙන්නට සැලැස්වූයේ. සසංකා නගරයේ ජීවත්වන, වයසින් බාල, සරසවි අධ්‍යාපනයට වරම් ලද, ආර්ථික වශයෙන් අගහිඟකමක් නොපෙනෙන කිවිඳියක් බව පවසන තුෂාරි ඇගේ කවිය බොහෝ වර කියවා කපා කොටා සංස්කරණය කරන ලද කවියක් ලෙස හැඳින්වූවාය. එහෙත් කලකට පෙර මැදවච්චියට එපිට දුෂ්කර ගම්මානයක පාසලක ආරාධනාවෙන් නිර්මාණකරණය පිළිබඳ එහි ළමයින්ට අදහස් කීපයක් පළ කරන්නට ගිය මොහොතක ඈ අත පත් වූ මේ කවිය සසංකාගේ කවිය මෙන් සංස්කරණය වූවක් නොවේ. මේ කවියේ රචකයා සසංකා වැනි චරිතයක් හා කිසි ලෙසකින් හෝ සැසඳිය හැකි චරිතයක් ද නොවේ. එක්වරම අමු කවියක්, විරෝධාකල්ප කවියක් ද සේ අපට හැඟෙන මේ නිර්මාණය පුරා දැවටී ඇත්තේ ජීවන අරගලයක යෙදෙන පුතකුගේ ශෝකාලාපයයි. අව්‍යාජ හැඟුම් සමුදායයි. අප හදවත සසල කිරීමෙන් නොනැවතී අපගේ හදවතට තට්ටු කොට පිළිතුරු සෙවීමට අප පොළඹවන දරුවකුගේ ආත්ම ප්‍රකාශනයයි. සී.ආර්. පොතක කොළයක් පුරා ලියන ලද මේ කවිය තුෂාරි අතට පත්වන්නේ මව් සෙනෙහස පිළිබඳ ඇගේ දේශනයට අදාළ කරුණු කීමෙන් පසුවයි.

 

පුතෙකුගේ කවිය

 

මැඩම් අහන්න!

අපේ ගෙදරට හයිය දොරක් නැත

තිබෙන දොර සුළඟටත් සෙලවෙයි

දොර හොඳට හැදුවොතින්

පසුදාට අප බඩගින්නේය

 

දොර ළඟින් එහාට මෙහාට යන ඡායාවන්

රාත්‍රියෙහි දී මම දකිමි

මොහොතකින් අම්මාගේ කෙඳිරුම් හඬ ඇසෙයි

එවිට එළිපත්තේ ඔත්පළව හිඳින තාත්තා

එක දිගට කහින්නට ගනියි

දොර කිරිස් කිරිස් ගානා ගානේ

තාත්තාගේ කැස්සට ඒ හඬ යටපත් වෙයි

එවිට මගේ පපුව මැද්දෙන්

යකඩ ඉන්නක් රිංගනවා බඳුය

 

මට අම්මා නමක් දා ඇති මුත්

ගමේ හොඳ මිනිසුන් මට කියන්නේ

වේසිගේ පුතා කියලාය

මට දැන් අවුරුදු දහසයකි

මම දැන් කීයක් හෝ හොයන ඉලන්දාරියෙක් වෙමි

ඒ නිසා දැන් මේ වේසිගේ පුතාට

අම්මාට හයියක් වීමට හැකිය

 

ගමේ හොඳ මිනිසුන් මට වේසිගේ පුතා කීවාට

මම උන්ගේ වැට ඉනි තනා දෙමි

කුඹුරුවල දිය කඩිති තනා දෙමි

හරකුන් ද එළුවන් ද බලමි

දැන් මම ගෙදර දොර හයියට හදා

ඊට අගුල ද දමා ඇත්තෙමි

දැන් දොර රෑට හෙලවෙන්නේවත්

කිරිස් කිරිස් ගාන්නේවත් නැත

තාත්තාට ද හොඳ නින්දක් එළිවනතුරු ලැබෙයි

අම්මා ද සනීපෙනි

 

මැඩම් අහන්න

මැඩම්ලා ඔය ඉන්නවා යැයි කියන කොළඹ

හොඳ අම්මලාගේ හොඳ පුතාලා ඒ අම්මලාව

කාර්වලින් ගෙනැවුත්

මහමග බස්සවා අතරමං කර යන්නේ නම්

ඒ හොඳ පුතාලත් මේ වේසිගෙ පුතාත්

අතර ඇති වෙනස ගැන

මැඩම්ට දැනෙන්නේ කොහොමද?

 

මීට වේසිගේ පුතා

රළු,ගොරහැඩි යැයි එක්වර පෙනෙන මේ කවිය යටින් දිවෙන ජීවිතානුභූතිය අපගේ ජීවිත හා බැඳී ඇති යථාර්ථය පිළිබිඹු කරන්නක් නොවන්නේ ද? මේ යෞවන පාසල් ශිෂ්‍යයා විසින් විඳින ලද කටුක අත්දැකීමක් තම හිතට නැගුණු අදහස් මාලාවක් ලෙස ලියා ඇති මුත් සසංකා වැනි කිවිඳියක් විසින් මේ අත්දැකීම අපූරු කවි බසකින් කියනු නොඅනුමානය. මේ කවිය සමග රජත පුස්තක සම්මානිත ළහිරු කිතලගම කවියාගේ කවුළු ඇස පාමුල කෘතියෙහි එන ' තරා නෑ මං අම්මේ ' කවිය මතකයට නැගුණේ සැණෙකිනි. කවියෝ ද කිවිඳියෝ ද ඔවුන්ගේ කවියෙන් ජීවිතය දකිති. අප නොදකින අපගේ ඇසට හසු නොවන ඉතා කුඩා සිදුවීමක් වුව ඔවුන්ගේ කවි ඇසින් මිදී නොයේ. තුෂාරිට මැදවච්චියේ දුෂ්කර ගම්මානයක පාසලක දී හමු වූ කවියාගේ අත්දැකීමට සමාන අත්දැකීම් ළහිරුගේ හෝ ලක්ශාන්තගේ කවියක අපට හමුවේ. සසංකා හෝ කල්පනා, විනූ, ශානිකා ගේ කවියකින් ද එකී ජීවන සුවඳ හමා යනු අපට දැනේ. තීරුව අවසන් කිරීමට පෙර, තුෂාරිට මේ කවියා හමුවීමේ පසු සටහන ලියා තබමි. එය තුෂාරිගේම වචනයෙනි. “ඒක හුඟාක් දුර බැහැර පිහිටි ගමේ ඉස්කෝලයක්. එදා මට තිබුණේ අම්මා ගැන කතා කරන්න. දේශනය ඉවරකරලා මං වේදිකාවෙන් බහින කොට දරුවෝ කීපදෙනෙක් අතර සිටි එක දරුවෙක් මගේ දිහාට කොළ කෑල්ලක් දික් කළා. ඒක අරං කියෙව්වා මිසක් මං ඒක දීපු දරුවා කවුද කියන එක හරියටම දැක්කේ නෑ. ලියා තිබූ කවිය කියවලා ඉවරවෙනකොට මගේ පපුව රිදිලා ඒක පුපුරන්න එන බවකුයි මට දැනුණේ. මං වේගයෙන් හෙව්වා ඒ අපූරු කවියව. ඈතින් ඉඳන් එක දරුවෙක් මං එක්ක හිනා වුණා. මං එයාට හිස වැනුවා මං ළඟට එන්න කියල. එයා ඇවිත් සිනාසෙමින්ම මගෙන් ඇහුවා, 'මැඩම් මාව අඳුනාගත්තා නේ?‘ මං කඳුළු පිරුණු ඇස්වලින් ගොළුවතින් එයා දිහා බලන් හිටියා. අන්තිමේ එයාම කිව්වා ‘මං තමයි මැඩම් හොයපු වේසිගේ පුතා...“

සසංකා විතානගේ අංකුර කිවිඳිය වල්මත් නොවී ඇගේ අනාගත කවි මග සොයා ගෙන තව තවත් අර්ථවත් නිර්මාණ අප වෙත රැගෙන එන්නට සුනන්ද කරුණාරත්න හා තුෂාරි අබේසේකර වැනි ප්‍රවීණයන් දැක් වූ අදහස් සිත රඳවා ගනු ලැබේ යැයි විශ්වාස කරමු.

බුද්ධදාස ගලප්පත්ති

නව අදහස දක්වන්න