නිද­හස් දවසේ මුල පුරන නික­සළ ලංකා සංග්‍රා­මය | දිනමිණ

නිද­හස් දවසේ මුල පුරන නික­සළ ලංකා සංග්‍රා­මය

බලවත් රටවලට යටත් වෙලා සිටි ජාතීන් මෑතක සිට සිය නිදහස් දිනය පිළිබඳව අලුතෙන් හිතන්න පටන් අරන්. මෑතක් වන තුරුම ඒ හැම රටක්ම පාහේ නිදහස් දිනය සැමරුවේ ජන සහභාගිත්වයෙන් තොර රාජ්‍ය උත්සව හැටියට. ඒ රටවල් වල ජනතාව වුණත් නිදහස් දිනය සලකන්න පුරුදු වෙලා හිටියෙ සාමාන්‍ය නිවාඩු දවසක් හැටියට. උදාහරණයක් හැටියට ලංකාව වගේ රටක් ගත්තොත් ජාතික උත්සව වශයෙන් සැලකෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නැත්නම් වෙසක් මංගල්‍යය හෝ නත්තල වගේ උත්සව පවත්වන්නේ පුළුල් ජන සහභාගිත්වයකින් යුතුවයි. එහෙත් එවන් හැඟීමකින් යුතුව නිදහස් දිනය සමරන්න අදටත් ලාංකික ජනතාව ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඇත්තටම කියනවානම් ජීවිත පරිත්‍යාගයෙන් කළ දිගු සටනක් මගින් විමුක්තිය දිනාගත් රටවල ජනයා හැරෙන්න ප්‍රදානයක් හැටියට නිදහස ලබපු රටවල ජනයාට නිදහස් දිනය පිළිබඳව ගැඹුරු හැඟීමක් ඇති බව පෙනෙන්නෙ නැහැ. මෙන්න මේ හේතුව නිසා නිදහස් දිනය පිළිබඳව අලුතෙන් හිතන්න අපි වගේ නාමික නිදහසක් ලබපු රටවලට සිදු වී තිබෙනවා.

ඒ විදිහට අලුතෙන් හිතන්න ඉදිරිපත් වුණු තරුණ කණ්ඩායමක් පිළිබඳ පුවතක් පහුගිය දවසකදී සමාජ මාධ්‍ය ජාලයෙන් දැකගන්න ලැබුණා. නිදහස් දිනය නිමිති කරගෙන “නිකසල ලංකා ජාතික සංග්‍රාමය” නමින් දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යන බවයි ඒ පුවත හෙළිදරව් කළේ. මේ ජාතික වැඩපිළිවෙළ සඳහා තරුණ පරිසරවේදී සංවිධාන තුනක් එක් වී සිටින බවයි එහි තවදුරටත් විස්තර වුණේ. ඉන් එක් කණ්ඩායමක් තමයි “ග්‍රීන් මැප් ශ්‍රී ලංකා”සංවිධානය. අනිත් සංවිධානය හැඳින්වෙන්නෙ “ග්‍රීන් ස්පයින් රිෆොරස්ට්ට්‍රේෂන් ප්‍රෝගෑම් ” නමින්. තෙවැනි සංවිධානය හැඳින්වෙන්නෙ “සුරකිමු ලංකා” ලෙසයි. මේ සංවිධාන තුනම මේ වන විට රට පුරා පරිසර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘති රැසක නිරත වී සිටින බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු විමසන විට දැනගන්නට ලැබුණා.

මේ අලුත් සංකල්පය ගැන ඇති වූ උනන්දුව නිසා එහි තිබූ දුරකථනයකට ඇමතුමක් දී තවදුරටත් කරුණු දැනගැනීමට මම පෙළඔුණා. එහි සඳහන් වූ දුරකථන අංකවල මා කලින් දැන සිටි තරුණයකු වන පැතුම් කර්නර්ගේ නමද සඳහන් වී තිබුණු නිසා මම කතා කළේ ඔහුටයි. පැතුම් කර්නර් තරුණයා මා හඳුනාගත් සැටි කෙටියෙන් හෝ ඔබට කියා සිටිය යුතුයි. වෘත්තියෙන් වෛද්‍යවරයකු වන පැතුම් කලක් යුද හමුදාවෙත් සේවය කළා. උතුරු යුදබිමේ හමුදා වෛද්‍යවරකු ලෙස සේවය කරද්දී ලැබුණු බිහිසුණු අත්දැකීම් අළලා ඔහු පොතකුත් පළ කළා “යුදබිමක වෙද මහිම”නමින්. දැන් ඔහු තවත් තරුණ කණ්ඩායම් කීපයක් එක්ක එකතු වෙලා පරිසර හිතකාමි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

“නිදහස් දවස නිමිති කරගෙන ඔබලා දියත් කිරීමට සැලසුම් කරන අලුත්ම වැඩපිළිවෙළ ගැන විස්තර දැනගන්න කැමතියි.” මම පැතුම්ට ඇමතුමක් දී එසේ කරණු විමසා සිටියා.

“පරිසරය ගැන නොසැලකිලිවීම හේතුවෙන් අපේ රටටයි ජනතාවටයි විශාල වශයෙන් හානි සිදුවෙමින් තිබෙන හැටි අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැනෙ. පෙබරවාරි හතරට යෙදෙන නිදහස් දවස රටේම අවධානය පරිසරය සුරැකීමේ වැදගත්කම ඒත්තු ගැන්වීම සඳහා යොදාගන්න අපි කල්පනා කළා. මේ හා අපට උත්තේජනනයක් සැපයූ ආසන්න සිද්ධි දෙකක් තියෙනව. එකක් තමයි මෙවර රුසියාවෙ පැවැත්වුණු ලෝක පාපන්දු තරගාවලිය. මේ තරගාවලිය නරඹන්න ආපු ජපන් ක්‍රීඩාලෝලීන් මුළු ලෝකයටම අපූරු ආදර්ශයක් සපයපු බව ඔබ දන්නවා ඇති. ඒක තමා සෑම තරගයක් අවසානයේදිම ඔවුන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී ක්‍රීඩාපිටිය පිරිසිදු කිරීම. ජපන් ක්‍රීඩාලෝලීන්ගේ ඒ ආදර්ශය සමස්ත ලෝකයේම ඇගයුමට ලක් වුණා. ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ලෝලීන් පිරිසකුත් ජපන් තරුණයන්ගෙ ආදර්ශය අනුව යමින් මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වුණු අවස්ථාවෙ ශ‍්‍රමදානයක් මගින් එය පිරිසිදු කළා. මෙන්න මේ සිදුවීම් දෙක පරිසරවේදීන් හැටියට අපට අලූත් දේවල් ගැන හිතන්න අනුබල දුන් බව කියන්න කැමතියි.”

පැතුම් තවදුරටත් විස්තර කළ ආකාරයට නිදහස් දවසෙ උදේ 8 සිට හවස 2 දක්වා රට පුරා තිබෙන විවිධ ස්වේච්ඡා සංවිධාන එකතු කරගෙන මුළු රටම ආවරණය වන පරිදී පිරිසිදු කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් දියත් කරන්නයි සූදානම. ගම් හෝ නගර බේදයකින් තොරව ඒ ඒ ප්‍රදේශවල තිබෙන පන්සල්, පල්ලි, පාසල්, සරසවි හා ටියුෂන් පංති ආදි ස්ථාන වටා ඒකරාශි වී සිටින තරුණ ප්‍රජාව මේ ජාතික මෙහෙවර ට යොමු කරවන්නයි පැතුම්ලා බලාපොරොත්තු වෙන්නෙ. මෙසේ මේ කාර්ය සඳහා ඉදිරිපත් වන කණ්ඩායම්වලට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සපයන්නත් ඔවුන් සූදානම්. මේ වන විටත් රටේ ප්‍රමුඛ පෙළේ ස්වේච්ඡා සංවිධාන රැසක් මේ ව්‍යාපාරයට එක්වීමට කැමැත්ත පළ කරලා. නිදහස් උත්සවය පැවැත්වෙන ගෝල්ෆේස් පිට්ටනිය පිරිසිදු කිරීමට ඉදිරිපත්ව සිටින කොළඹ වෛද්‍ය විද්‍යාලයේ රෝට‍්‍රැක්ට් ක්ලබ් කණ්ඩායම මේ අතර කැපී පෙනෙන සංගමයක්.

මෙවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී මතු විය හැකි ගැටලුවලට මුහුණ දිමේ සූදානම කෙසේදැයි කියා මා පැතුම්ගෙන් ප්‍රශ්න කළ විට ඔහු ඊට මෙසේ ප්‍රතිචාර දැකවුවා. “අපි මේ ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම අප දැනට හඳුනාගෙන තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා එක්රැස් වන කසළ බැහැර කිරීම. අපත් සමඟ එක් වන ස්වේච්ඡා සංවිධානවලට අපි උපදෙස් දෙනවා අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා වැනි පළාත් පාලන ආයතන සමඟ ඒකාබද්ධ වී මෙවැනි ගැටලු කළමනාකරණය කරගන්නා ලෙස. ඒ වගේම තමන් විසින්ම තෝරාගත් ස්ථානයක් නැති ස්වේචඡා සංවිධානවලට අපි කල්ඇතිව තෝරාගන්නා මධ්‍යස්ථාන කීපයකට එක් වන ලෙස දැනුම් දෙනවා. කසළ ප්‍රතිචක්‍රීයකරණය කරන ආයතන එක්කත් සාකච්ඡා කරගෙන යනවා මේ ශ්‍රමදානයේදී එක් වන කසළවලින් යම් ප්‍රයෝජනයක් ලබාගත හැකිද කියා බලන්න. මේ විදිහට කිසිම බේදයකින් තොරව නිදහස් දවසෙ නිවාඩුව අර්ථවත් කටයුත්තක් වෙත ලක්වාසි ජනතාව යොමු කරවීමයි අපේ අරමුණ. ලෝකයේ සුන්දර රටවල් අතරින් එකක් වන අපගේ මවුබිම අනාගත පරපුරටත් එලෙසම බාර දීම අපේ වගකීමක්. ඒ නිසා මේ ජාතික කටයුත්තෙදි අපත් සමඟ එක් වෙන්න කැමති ඕනෑම සංවිධානයකට අප අමතන ලෙස ඉල්ලා සිටිනවා”

මෙපමණ කාලයක් නිදහස් දවස සාමාන්‍ය නිවාඩු දිනයක් ලෙස ගත කිරීමට පුරුදුව සිටි ජනයාට පරිසරවේදී තරුණයන්ගෙ මේ ප්‍රයත්නය අලුත් අත්දැකීමක් වේවායි කියා මා සිතනවා. අත්හදා බැලීමේ මට්ටමෙන් සිද්ධ වන කටයුත්තක් නිසා සුළු සුළු අඩුපාඩු සිද්ධ වෙන්නත් බැරි නැහැ. කොහොම වුණත් ඔවුන්ගේ “නිකසළ ලංකා ජාතික සංග්‍රාමය” සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.

කමල් පෙරේරා


නව අදහස දක්වන්න