රබන්-බැරල් සහ පාසල් ක්‍රීඩා | දිනමිණ

රබන්-බැරල් සහ පාසල් ක්‍රීඩා

අලුත් අවුරුද්දක් ආවේ ය. අලුත් පාසල් වාරයක් ද ඇරඹිණි. මසක පමණ විරාමයකින් පසු පාසල් සේවා බස්රිය, වෑන්රිය යළිත් සුපුරුදු පරිදි නිල ඇඳුමින් සැරසුණු සිසු සිසුවියන් රැගෙන පුරුදු පාරේ දුවන්නට පටන් ගත්තේ ය. පාසල් අසල සෙනඟ ගැවසෙමින් නිවාඩුවේ බෝ වී තිබුණු තාවකාලික පාළුව නිමාවට පත් විය.

ඊයේ පාසල් ක්‍රීඩා පිටියක් අසලින් බස්රියක ගමන් කළ මට ක්‍රීඩා පිටියේ ළමයින් පිරී සිටිනු දක්නට ලැබිණි. පිටියේ මෙපිට කෙළවරේ සමාන්තර ව දිගු දෙපේළියකට ළමයි සැදී සිටිති. ළමා පේළි දෙක අතර ක්‍රියාකාරකම් හරිහැටි නොපෙනේ. මේ පැනුම් පිටියේ දුර පැනීමේ ඉසව්ව සඳහා පුහුණු කරවන අවස්ථාවක් බව ක්ෂණිකව දුටු දසුනින් පවා මට සිතා ගත හැක. තවත් ළමෝ පිරිසක් බේස් ඩ්‍රම්, සයිඩ් ඩ්‍රම්, ට්‍රම්පට්, ක්ලැරිනට්, සෙක්සපෝන් ආදී විවිධ සංගීත ආම්පන්න රැගෙන පිටියේ කොනක රැස් වෙති. ඒ බෑන්ඩ් කණ්ඩායම පුරුදු පුහුණු කරවන්නට පේවෙන අවස්ථාවයි. ආපසු එන අතර පාසල් වෙලාව හමාර වූ පසු තවත් පාසලක් අසල ක්‍රීඩා පිටියක ක්‍රීඩා ඇඳුමින් සැරසුණු ඉහළ පන්තිවල බාලිකාවන් කුඩා බාලිකාවන් තිදෙනා බැගින් පෙළට අචාර පෙළපාළි ගමනේ පෙර පුහුණුව සඳහා ගමන් කරවනු පෙනිණ.

පළමුවන වාරය ඇරඹීමත් සමඟ ම පාසල් ක්‍රීඩා උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වෙයි. ඒකාකාරී විෂය නිර්දේශයට ම දැඩි බරක් යොමු කොට සිටින පාසල් දරුවනට සිය විෂය බාහිර ක්‍රියාකාරකම් ප්‍රගුණ කර ගන්නට, පන්ති කාමර ක්‍රියාවලියෙන් බැහැර වී විනෝදාස්වාදයක් ලබන්නට පාසල් ක්‍රීඩා උත්සවය මහෝපකාරී වෙයි. ක්‍රීඩා උත්සවයක පූර්ව ක්‍රියාකරකම් දකින විට, විශේෂයෙන් ම පාසල් තූර්ය වාදක කණ්ඩායම්වල පුහුණුවීම් දකින විට මගේ සිත නිතැතින් ම අතීතයට, ඔව් අවුරුදු තිස් හතරක් පමණ එපිට අතීතයකට දිව යයි.

අවුරුද්ද එක්දාස් නවසිය අසූපහේ මුල් භාගයයි. ජීවිතයේ තුරුණු අවධියේ සිටි මා ගුරු පත්වීමක් ලැබ පොළොන්නරුවට ගියා පමණි. ගුරු මණ්ඩලයේ අති බහුතරයක් තුරුණු වියේ වූවෝ ය. තරුණ ආචාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් යහපත් මට්ටමේ ක්‍රීඩා උත්සවයක් පැවැත්විය යුතු බව පාසලට අලුතින් පැමිණ සිටි විදුහල්පතිවරයාගේ අදහස විය. අපි අපේ ගුරු ජීවිතයේ කුළුදුල් ක්‍රීඩා උත්සවයට දැඩි උනන්දුවෙන් පේවෙමින් සිටියෙමු. නිවාස රැස්වීම් පැවැත්වීම, තරග ඉසව් සඳහා ළමුන් තෝරාගැනීම, අයදුම්පත් සකස් කිරීම, ඉසව්වලට තේරීමෙන් කට්ටි පනින කොලු කෙල්ලන් ‍සොයාගෙන ඔවුන් තේරීමේ අවස්ථාවට යොමු කිරීම මේ ඈ සියල්ල අලුත් අත්දැකීම් විය.

එදවස පාසල් තූර්ය වාදක කණ්ඩායම් තිබුණේ සැලකිය යුතු මට්ටමේ ඉස්කෝලවලට පමණි. අප සේවය කළ කනිෂ්ඨයේ ළමයින් හත් අටසියයක් සිටියත් එවන් පාසල්වල දරුවන්ට එදවස උජාරුවට බෑන්ඩ් එකක ගමන් කිරීමේ භාග්‍යය ලැබී තිබුණේ නැත. පසුකාලීනව දේශපාලනඥයෝ තුමූ ම මැදිහත් වී පාසලකට පැමිණි විට උජාරුවෙන් බෑන්ඩ් කණ්ඩායම් පෙරටු කොට ගෙන ගමන් කිරීමේ යහපත තකාදෝ කුඩා පාසල්වලට පවා බෑන්ඩ් ලබා දුන්හ. අද වන විට නම් දහම් පාසල්වලට ද බෑන්ඩ් කණ්ඩායම් තිබේ.

ක්‍රීඩා උත්සවය කැපී පෙනෙන ආකාරයෙන් කරන්නට නම් ආචාර පෙළපාළිය මැනවින් පුහුණු කොට සකස් කළ යුතු බව පොළොන්නරුවේ ඉස්කෝලයේ අපේ අයගේ අදහස විය. එහෙත් ආචාර පෙළපාළිය පුහුණු කිරීමේ දී ඇවැසි රිද්මය සපයා දෙන්නට බේස් ඩ්‍රම් එකක් තිබුණේ නැත. එවැන්නක් ඉල්ලා ගන්නට තැනක් ද නොවිණි. මොනවා හෝ විකල්පයක් සොයා ගත යුතු ය. සොයා ගන්නට හැකි පහසුම විකල්පය වූයේ අවුරුද්දට වටේට වාඩි වී රබන් ගහන්නට ගන්නා රබානක් සොයා ගැනීමයි. ඉතින් ලොකු රබන් දෙකක් ම සොයාගැනිණි. උදෙන් ම රබාන රත් කර ගත් ගෙන කුඩා රිටක අමුණන ලද ටෙනිස් බෝලයකින් තලන විට බේස් ඩ්‍රම් එකක් තරමට ම නොවූවත් එවන්නක් නැති අපට සෑහෙන තරම් හඬක් නැගිණි. රබන් දෙකක් ම වූයෙන් මාරුවෙන් මාරුවට භාවිතා කළ හැකි විය. බේස් ඩ්‍රම් රබානට තාලයට තලන්නට භාවිතා කරන ටෙනිස් බෝලය වෙනුවට විකල්පයක් සෙවිය යුතු බව සමහර ගුරුවරුන්ගේ අදහස විය. මම සති අන්තයක ගමේ ගොස් එන විට පොළොන්නරුවේ නැති ඔට්ටුපාලු රැගෙන ආවෙමි. අපේ ගුරුවරයෙක් ඔට්ටුපාලු තීරු හීනියට කපා කදිම ඔට්ටුපාලු බෝල දෙකක් සැදුවේ ය. ටෙනිස් බෝල මෙන් ම ඔට්ටුපාලු බෝල ද මාරුවෙන් මාරුවට භාවිත විය.

සෑම දිනක ම උදේ වරුවේ පැය කීපයක් ආචාර පෙළපාළිය පුහුණු කෙරිණි. ගුරුවරුන්ට මතු නොව ළමයින්ට ද දර්ශනීය ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමේ අවශ්‍යතාවය තිබිණි. පසුකාලීනව වෙනත් පාසල්වල දී අත්දුටු අද සහභාගී වූ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව දින කීපයක් යනතුරු නැවත ආචාර පෙළපාළිය සඳහා සොයාගන්නට අපහසු වීමේ රෝගය මෙතැන දී දක්නට නොලැබිණි. දහදිය දෙකන්සයෙන් ගලමින් ආචාර පෙළපාළි පුහුණුවීම් හමාර කළ පසු සරඹ සන්දර්ශනය භාර ගුරුවරියෝ ඒ සඳහා පුහුණුවීම් කරති. මේ අංග දෙකකට ම රිද්මය සපයන්නට ගමෙන් සොයාගත් රබන් දෙක මාරුවෙන් මාරුවට සහාය දෙයි. අපේ පුංචි ඉස්කෝලේ දෑස් අඳ සංගීත ගුරුවරයා ද සිය පෞද්ගලික වයලීනය ද පාසලේ සර්පිනාව හා තබ්ලාව ද රැගෙන බේස් ඩ්‍රම් රබාන ඇති තැනට පැමිණෙයි. ඒ හැකි පමණින් ආචාර පෙළපාළි අවස්ථාව සංගීතවත් කරන්නට ය. අන්ධ ගුරුතුමා ගල්, මුල්, වළවල්, කාණු ආදියේ නොගැටී, නොවැටී අතින් අල්ලාගෙන පිට්ටනියට කැඳවාගෙන එන්නට පොරකන ළමයි බොහෝ ය. එය තමන් සතු වගකීමකැයි උහු සිතත්. එසේ කැඳවාගෙන ඒමෙන් ඉමහත් සතුටක් ලබත්.

කොහොමින් කොහොම හරි ක්‍රීඩා උත්සවය අපූරුවට පැවැත්විණි. පාන් හා සීනි සම්බෝල හදාගෙන කරත්ත බැඳගත් ළමයි ගුරුවරුන් සමඟ මහ වනාන්තරයට ගොස් ලී දඬු කපාගෙන පැමිණ, පිදුරු හෙවිල්ලා ගෙන වඩු කුරුලු කූඩු එල්ලා අලංකාර ස්වාභාවික නිවාස තැනූහ. ක්‍රීඩා උත්සවය අමුත්තන්ගේ, දෙමාපියන්ගේ නොමඳ පැසසුමට ලක්විය. රබන් බේස් ඩ්‍රම්ස් ආධාරයෙන් පැවති ආචාර පෙළපාළියට ද ප්‍රශංසාවේ අඩුවක් නොවී ය.

අපේ ක්‍රීඩා උත්සවයෙන් පසු මට අසල්වැසි අපේ ප්‍රමාණයේ ම, ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ඊට ටිකක් පුංචි පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලකට සහභාගී වන්නට ලැබිණි. ඒ සඳහා අපේ ක්‍රීඩා උළෙලට නොපැමිණි පළාතේ මහජන නියෝජිතයා ද සහභාගී විය. බේස් ඩ්‍රම් විකල්පය සඳහා ඒ අය භාවිතා කළේ ලොකු බැරලයට ය. බැරලයකට තලමින් යන ආචාර පෙළපාළිය මහජන නියෝජිතයාට ඇල්ලුවේ නැති බව පසක් වූයේ ඔහු පැවැත්වූ කතාවෙනි.

“මේ බැරල් එකට තඩිබෑවට වඩා හොඳයි මගෙ ඔළුවට තඩි බෑවනං.” මන්ත්‍රීවරයා කීවේ ය.

බැරල් නාදයට වඩා රබන් නාදය මිහිරි බව ආචාර පෙළපාළි දෙක හිතින් සංසන්දනය කළ මට ද සිතිණි.

“ බේස් ඩ්‍රම් එකක් නැත්නං බැරල් එකකට මිස වෙන මොකකට තලන්න ද? එයාට රිදුන එකත් හොඳයි. දැන්වත් බේස් ඩ්‍රම් එකක් දෙන්නෙ නැතෑ.”

ඒ පාසලේ ගුරුවරයෙක් මා හා කීවේ ය. දේශපාලනඥයා ඒ පාසලට බේස් ඩ්‍රම් එකක් දුන්නාදැයි නොදනිමි.

එදා පාසල්වලට අද මෙන් විශාල සංවර්ධන සමිති ගාස්තු තිබුණේ නැත. වෙනත් ආධාර තිබුණේ නැත. පුංචි පාසල්වල කටයුතු සිදු වූයේ බොහෝ අරපරෙස්සමිනි. චාම් ආකාරයෙනි. කාගේත් කැපවීමෙනි. හැබැයි ඒ හැම දෙයක ම අද නැති සුන්දරත්වයක් නම් තිබිණි.

 මහානාම දුනුමාල


නව අදහස දක්වන්න