ගොදුරු හොරෙන් ඩැහැ­ගන්නා මසායි | දිනමිණ

ගොදුරු හොරෙන් ඩැහැ­ගන්නා මසායි

කවිදු වීරත්න

අලි මන්තරයක් වැරැදී අලියකු අතින් මිනිසකු ප්‍රහාරයට ලක් වුණු වීඩියෝවක් පසුගිය දින වල අපේ රටේ කතාබහට ලක්වුණා. අලි මන්තරවල ඇත්ත නැත්ත කෙසේ වෙතත් වන සතුන් කෙරෙහි බියක් ඇති වූ විට එය ඔවුනට දැනෙන නිසා ඔවුන් ආත්මාරක්ෂාව සඳහා මිනිසුන් වෙත පහරදෙයි. අලින් මෙල්ල කිරීමේ රහසත් නොබියව නොසැලී සිටීමයි. මේ පිළිබඳව මුහුණු පොතෙහි මාගේ මිත්‍රයෙක් තබා තිබූ සටහනක හරිම අපූරු දෙයක් සඳහන් වී තිබුණා. ඒ තමයි වන සතුන් වෙත බිය නොමැතිව ළඟා වෙන ගෝත්‍රික කණ්ඩායමක් පිළිබඳ පුවතක්.

අප්‍රිකාවේ වෙසෙන මසායි ගෝත්‍රිකයන් සිංහයන්ගෙන් ආහාර සොරකම් කරන අයුරු වරෙක කැමරා කාචයක සටහන් වූයේ ලොවම පුදුමයට පත් කරමිනි. සාමාන්‍යයෙන් වෙනත් සතකුගේ ගොදුරක් සොරකම් කිරීම සත්ත්ව ලෝකයේ දකින්නට ලැබෙන දෙයක් වූවත් මිනිසුන් විසින් එසේ සිදු කරන බව වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සඳහන් වෙයි. ආහාර සොයාගැනීමට අපහසු සැවානා බිම් වල ලෙහෙසියෙන්ම තම ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීමට ඔවුන් මෙසේ සිංහයන්ගේ ආහාර සොරකම් කරයි.

සිංහ රංචුවක් දැඩි පරිශ්‍රමයකින් ගොදුරක් ඩැහැගන්නා තුරු ඈතට වී සැඟවී බලා සිටින මසායි ගෝත්‍රිකයන් එක්වරම ආහාර ගනිමින් සිටින සිංහ රංචුව වෙත වේගයෙන් දිවයනවා. මිනිසුන්ගේ පැමිණීමෙන් එක්වරම විස්මයට පත් වන සිංහයන් කිරීමට යමක් සිතා ගැනීමට නොහැකිව එතැනින් ඉවත් වනවා. ඒ අවසරයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වන ගෝත්‍රික තරුණයින් සිංහයාගේ ගොදුරෙන් කොටසක් කපාගෙන ආපසු ඉක්මනින් පැමිණෙන්නේ සිංහයන් සිදුවන දෙය අවබෝධ කරගැනීමට ප්‍රථමයි. තම ජීවිතය අනතුරෙහි දමමින් ගෝත්‍රික වැසියන් මෙම ක්‍රියාව සිදු කරන්නේ කුසගිනි නිවා ගැනීමට හා තම ශක්තිය පෙන්වීමටයි.

සිංහ රංචුව වෙත වෙත දිවයන විට ඔවුන් කිසිදු පැකිළීමකින් තොරව එක එල්ලේ ගමන් කරන්නේ බියෙන් හා චකිතයෙන් ගමන් කරන විට සිංහයන් මිනිසුන්ව දුර්වල ලෙසින් දකින නිසා ඔවුන්ව ගොදුරු කර ගැනීමට පැමිණෙන නිසායි. කැලේ නීතිය අනුව ශක්තිවන්තයා සෑම විටම ජයගන්නා අතර මසායි ගෝත්‍රිකයන් සුළු මොහොතකට සිංහයින්ව මුළාවට ලක් කරන්නේ තමා වඩාත් ශක්තිමත් හා නිර්භීත බව පෙන්වමිනි. මසායි ගෝත්‍රිකයන් මෙහිදී තවත් කපටි වන්නේ සිංහයා තමා මුළා වූ බව අවබෝධ කරගැනීමට ප්‍රථමයෙන් මස් කැබැල්ලක් කපාගෙන සිංහයන්ගෙන් ඉවත් වීමටයි. 15දෙනකුගෙන් පමණ සැදුම්ලත් සිංහ රංචුවක් වෙත මිනිසුන් කිහිප දෙනකු ගමන් කිරීම සිය දිවි නසා ගැනීමක් සේ දිස් වූවත් මෙහිදී ගෝත්‍රිකයන්ගේ නිර්භීතභාවය අන් සියල්ලක්ම සුළු මොහොතකට පරදවයි.

අලින් ඇතුළු සියලුම සතුන් සමඟ ගනුදෙනු කළයුත්තේ මේ අයුරින් වන අතර සාමාන්‍ය ජනතාව හැකි සෑමවිටම වන සතුන්ගෙන් ඈත්වී සිටීමට හැකි නම් නිරපරාදේ සිදුවන අනතුරු අවම කරගැනීමට හැකියාව ලැබෙන අතර එයින් වන සතුන්ටද නිදහසේ ජිවත් වීමේ අවස්ථාව උරුම වේ.

 

නව අදහස දක්වන්න