ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට එරෙහි නඩුව අප්‍රේල් | දිනමිණ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට එරෙහි නඩුව අප්‍රේල්

කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවක වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට රැකවරණය දුන්නේයැයි හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන අප්‍රේල් මස 03 වනදා යළි කැදවන්නැයි  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (16 ) නියෝග කළේය.
 
හිටපු නාවික හමුදාපති වරයා නාවික නිවස්නයේ රැදී සිටි කාමර පරීක්ෂාවට ලක් කළ බවත් ඔහු එම කාමර වල අනවසරයෙන් රැදී සිටින බවටත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
 
සිද්ධියට අදාළව දුරකථන විශ්ලේෂන සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් ඉදිරි දින අධිකරණයට කරුණු වාර්තා කරන බවත් රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.
 
2007 වසරේ දී කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් පසුගිය අගෝස්තු 13 වැනි දා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 
 
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වැඩ බාර ගත්තේ 2015 ජූලි 11 වැනි දා ය. 2017 අගෝස්තු 22 වැනි දා ඔහු නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරනු ලැබීය.
 

නව අදහස දක්වන්න