ක්‍රිකට් නිලවරණ කමිටුවේ වැඩ හොඳ නැත්නම් අභියාචනා දෙන්න දින 7ක් | දිනමිණ

ක්‍රිකට් නිලවරණ කමිටුවේ වැඩ හොඳ නැත්නම් අභියාචනා දෙන්න දින 7ක්

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට අදාළ විරෝධතා ක්‍රීඩා ඇමැතිවරයා වෙත ඉදිරිපත් කිරීමට දින 7ක කාලයක් ලබාදෙයි. ක්‍රිකට් නිලවරණ කමිටුවේ තීරණ පිළිබඳව සෑහීමකට පත් නොවන ඕනෑම පුද්ගලයෙක් විසින් නිලවරණ කමිටු තීරණ දැනුම්දුන් දින සිට දින 7ක් ඇතුළත ක්‍රීඩා විෂයභාර ඇමැතිවරයා වෙත නිලවරණ කමිටු තීරණවලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ක්‍රීඩා නියෝගවල දක්වා ඇති බැවින් සියලු පාර්ශ්වවලට මේ අවස්ථාව උදාවී ඇත.

යම් ජාතික සංගමයක නිලවරණ කමිටුවක් විසින් දෙනු ලැබූ තීරණයක් හෝ ගනු ලැබූ ක්‍රියා මාර්ගයක් සම්බන්ධව අගතියට පත්වන ඕනෑම පාර්ශ්වයක් විසින් එකී තීරණය හෝ ක්‍රියා මාර්ගය දැනුම් දුන් දින සිට දින 7ක් ඇතුළත ක්‍රීඩා විෂයභාර ඇමැතිවරයා වෙත අභියාචනා ඉදිරිපත් කළ හැකි අතර ඉනික්බිතිව ක්‍රීඩා ඇමැතිවරයා වැඩකරණ දින 7ක් තුළ තම තීරණය අදාළ ක්‍රීඩා සංගමය වෙත දැනුම් දිය යුතු අතර එය අවසානාත්මක හා තීරණාත්මක බව ක්‍රීඩා නියෝගවල දක්වා ඇත. ඇමැතිවරයා වෙත ලැබෙන සියලු අභියාචනා පිළිබඳ සමාලෝචන කටයුතු අභියාචනා කමිටුව මගින් සිදුකෙරේ.

ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා වලට එරෙහිව ඉදිරිපත්ව තිබූ විරෝධතා පිළිබඳ අවසන් තීරණ පෙරේදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශයට පත්කළ අතර ඒ සමගම ක්‍රීඩා ඇමැතිවරයා විසින් අභියාචනා කමිටුව ප්‍රසිද්ධියට පත් කළේය. එම අභියාචනා කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා පත්කළ අතර සාමාජිකයන් ලෙස විශ්‍රාමික අභියාචනාකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය හා විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසේන කහදව මහතා නම්කරනු ලැබීය. ලබන පෙබරවාරි 7වැනිදා පෙරවරු 10.30ට ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා වලට එරෙහිව ඉදිරිපත්ව තිබූ විරෝධතා 16න් එක් විරෝධතාවක් පිළිගෙන අනෙක් විරෝධතා 15ක්ම ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව තීරණය කළේය. උප භාණ්ඩාගාරික තනතුරට නාම යෝජනා භාරදුන් ගිහාන් වීරසිංහ මහතා එම තනතුරට සුදුසුකම් සපුරා නොමැති බවට ඉදිරිපත්ව තිබූ යෝජනාව ක්‍රිකට් නිලවරණ කමිටුව පිළිගත් හෙයින් ඒ මහතාගේ නාම යෝජනාව පමණක් ප්‍රතික්ෂේප විය.

නාම යෝජනා භාරදුන් පුද්ගලයන් 6කට එරෙහිව කිසිදු විරෝධතාවක් ඉදිරිපත්ව නොතිබූ අතර සාමාජික ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට නියමිත තනතුරු 7ක් වෙනුවෙන් නාම යෝජනා 26ක් ඉදිරිපත්වී තිබුණි. නාම යෝජනා විරෝධතා සම්බන්ධව මෙතෙක් ක්‍රිකට් නිලවරණ කමිටුව ලබාදුන් තීරණවලට එරෙහිව අද සිට අභියාචනා භාර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වේ.

ක්‍රීඩා පනත අනුව ක්‍රිකට් පරිපාලනයට නිලධාරීන් වශයෙන් තෝරා පත්කරනු ලැබීමට සුදුසුකම් ලබන අපේක්ෂකයන්ගේ සුදුසුකම් තීරණය කිරීමේ අධිකාරී බලය හා නිලවරණය පැවැත්වීමේ සම්පූර්ණ බලය නිලවරණ කමිටුවට පැවැරී ඇත. අභියාචනා කමිටු තීරණවලින් අනතුරුව පිළිගත් නාම යෝජනා තවදුරටත් තහවුරුවීමෙන් ඡන්ද විමසීම නිවැරදිව කිරීමට නිලවරණ කමිටුවට අවස්ථා උදා වේ.

අභියාචනා ක්‍රියාවලිය නිමාවූ වහාම මේ මස 21වැනිදාට පෙර සියලුම ඡන්ද දායකයන් වෙත ඡන්ද බලය තහවුරු කරන ලද ලිපි ලියාපදංචි තැපෑලෙන් යැවීම ආරම්භ කිරීමට නියමිතය. ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය භාවිතා කිරීමට සිටින සියලු ක්‍රීඩා සමාජවල ඡන්ද හිමි නාම ලේඛණවල නිවැරදිතා පරීක්ෂා කිරීම නිලවරණ කමිටුව මුලින්ම සිදුකළ අතර ඒ අනුව ක්‍රීඩා සමාජ 83ක ඡන්ද අයිතිය තහවුරු විය.

නව අදහස දක්වන්න