ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඉනිමක පරාජයෙන් බේරීමට සටනක | දිනමිණ

ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඉනිමක පරාජයෙන් බේරීමට සටනක

 සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිමේදී කඩුලු 8කට රැස් කළ ලකුණු 508 හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ සිය පළමු ඉනිමේදි ලකුණු 303කට දැවී යාම හේතුවෙන් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා නැවත පිටියට පිවිසියේය.

දිනය නිමාවනවිට ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 4ක් දැවී ලකුණු 180ක් ලබා සිටියේය. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 92ක් ලබා සිටින අතර අයර්ලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා පිල තවත් ලකුණු 25ක් පසුපසින් සිටී.

තරගයේ දෙවැනි දිනය පෙරේදා නිමාවට පත්වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඊයේ සියළු දෙනා දැවී ගියේ අයර්ලන්ත පිලට වඩා ලකුණු 205ක් පසුපසින් සිටිමිනි. පෙරේදා නොදැවී සිය අර්ධ ශතකය වාර්තා කළ ඇන්ජෙලෝ පෙරේරා ඊයේ විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් අගනා ශතකයක් වාර්තා කිරීමට සමත්වූ අතර සම්මු අශාන් සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 90ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ද සමත්විය.

ඇන්ජෙලෝගේ ඉනිමට පන්දු 161ක් වැයවූ අතර ඊට හතරේ පහර 17ක් ඇතුළත් විය. ඔහුට අගනා සහයක් දුන් සම්මු අශාන් පන්දු 118කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් ලකුණු 72ක් වාර්තා කිරීමට සමත්විය. ශ්‍රී ලංකා පිලේ අගපෙළ පිතිකරුවන් අසරණ කළ කැමරන් ඩොව් ලකුණු 99කට කඩුලු 5ක් දවාගත්තේය.

අයර්ලන්තය පළමු ඉනිම - 508/8 (ඉනිම අත්හිටුවන ලදි) නීල් රොක් 85, ලෝකන් ටකර් 80, ජේම්ස් කැමරන් ඩොව් නොදැවී 76, ජෙම්ස් මැකලම් 72, ස්ටීවන් ඩොහෙනි 58, ජොනතන් ගාර්ත් 45 (චාමික කරුණාරත්න 99/3, ලසිත් ඇඹුල්දෙණිය 142/3)

ශ්‍රී ලංකාව පළමු ඉනිම - 303 ඇන්ජෙලෝ පෙරේරා 127, සම්මු අශාන් 72, අෂාන් ප්‍රියන්ජන 27 (කැමරන් ඩොව් 99/5, ක්‍රෙග් යංග් 76/3)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම - 180/4 පැතුම් නිශ්ශංක නොදැවී 92යි.

නව අදහස දක්වන්න