ස්වාට් ප්‍රංශ බොක්සිං ශූරතාව ගම්පොල කුංෆු ඇන්ඩ් ප්‍රෙන්ච් පිලට | දිනමිණ

ස්වාට් ප්‍රංශ බොක්සිං ශූරතාව ගම්පොල කුංෆු ඇන්ඩ් ප්‍රෙන්ච් පිලට

ශූරතාව දිනාගත් ගම්පොල ශ්‍රී ලංකා චීන කුංෆු ඇන්ඩ් ප්‍රෙන්ච් බොක්සිං සංගමය ශ්‍රී ලංකා ප්‍රංශ සවාට් ජාතික සම්මේලනයේ අනුශාසක හා මධ්‍යම පළාත් සංගමයේ සභාපති නගර සැලසුම් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ඇතුළු ආරාධිතයන් සමග. ඡායාරූප - ගම්පොල සමූහ

ශ්‍රී ලංකා ප්‍රංශ සවාට් ජාතික සම්මේලනය සහ මධ්‍යම පළාත් සවාට් ප්‍රංශ බොක්සිං සංගමය එක්ව සංවිධාන කළ ‘මාස් අභියෝගතා කුසලාන’ සමස්ත ලංකා සවාට් ප්‍රංශ බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගම්පොල ශ්‍රී ලංකා චීන කුංෆු ඇන්ඩ් ප්‍රෙන්ච් බොක්සිං සංගමය සමත් විය.

නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේදී පදක්කම් 82ක් දිනා ගැනීමට චීන කුංෆු ඇන්ඩ් ප්‍රෙන්ච් බොක්සිං සංගම් ක්‍රීඩකයෝ සමත් වුහ. පදක්කම් 79ක් දිනාගත් මහනුවර මාස් ජාත්‍යන්තර එම්.එම්.ඒ. ඇකඩමිය තරගාවලියේ අනුශූරතාව දිනාගත් අතර මාතර දිස්ත්‍රික් සවාට් සංගමයට (පදක්කම් 35) තෙවැනි ස්ථානය හිමිවිය.

ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ලෙස අංශ දෙකකින් සමන්විත වූ මේ තරගාවලිය බර පන්ති 15ක් යටතේ පැවැති අතර දිස්ත්‍රික්ක 17ක් නියෝජනය කරමින් ක්‍රීඩා සංගම් 35ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 450ක් ඊට එක්ව සිටියහ.

තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස මාතලේ කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉරෝෂන් ධර්ම කීර්ති සහ විශ්වා සමරකෝන් සම්මාන දිනාගත් අතර මහනුවර ගලහා භද්‍රවතී මහා විද්‍යාලයේ හරිත ප්‍රභාත් සිරිවර්ධන සහ පිළිමතලාව දන්තුරේ මධ්‍ය මහා විද්‍යාලයේ දිල්මි රන්ඩිෂා කුලරත්න කනිෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්හ.

මේ වසරේ ප්‍රංශයේ පැවැත්වෙන ලෝක ශූරතාවලිය සහ ආසියානු සවාට් ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම මේ තරගාවලියේ මූලික අරමුණ බව ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ප්‍රසාද් වික්‍රමසිංහ මහතා පැවැසීය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකා ප්‍රංශ සවාට් ජාතික සම්මේලනයේ අනුශාසක හා මධ්‍යම පළාත් සංගමයේ සභාපති නගර සැලසුම් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.

ගම්පොල සමූහ


නව අදහස දක්වන්න