බදුල්ලේ ක්‍රීඩා සංගම්වලට උපකරණ බෙදා දෙයි | දිනමිණ

බදුල්ලේ ක්‍රීඩා සංගම්වලට උපකරණ බෙදා දෙයි

බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ක්‍රීඩා සංගම්වලට ක්‍රීඩා උපකරණ බෙදාදීමක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බදුල්ල ඌව පළාත් සභා ශ්‍රවනාගාරයේදී සිදුකෙරිණි.

කොට්ඨාසය තුළ ක්‍රියාකාරී ක්‍රීඩා සංගම් 37ක් සඳහා රුපියල් තිස්පන්දහසක් පමණ වටිනා ක්‍රීඩා උපකරණ කට්ටලයක් බැගින් මෙහිදී ප්‍රදානය කෙරුණු අතර එම කට්ටලයක් නෙට්බෝල්, පාපන්දු, වොලිබෝල්, බාස්කට්බෝල්, රග්බි සහ ටෙනිස් යන ක්‍රීඩා සඳහා අවශ්‍ය බෝල සහ දැල් ඇතුළු උපකරණවලින් සමන්විත විය.

මේ ක්‍රීඩා උපකරණ කට්ටල ඉදිරි කාලය තුළ පළාතේ සියළු ක්‍රීඩා සංගම් සඳහා ලබාදීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී සඳහන් කළ අතර ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍ය උපාලි සමරවීර, පළාත් සභාවේ විපක්ෂ නායක ර.මු.රත්නායක, පළාත් සභා මන්ත්‍රීවරුන් වන එම්.සචිත්තානන්දන්, ජයන්ත කන්නන්ගර, උපාලි සේනාරත්න යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.

හාලිඇල සමූහ
ආර්.එම්.විජේරත්න


නව අදහස දක්වන්න