සෛවරීත්වයට හානිවන කිසි දෙයක් කරන්නේ නෑ | දිනමිණ

සෛවරීත්වයට හානිවන කිසි දෙයක් කරන්නේ නෑ

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, සෛවරීත්වය පළුදු වෙන ආකාරයට කිසිදු කටයුත්තක් එක්සත් ජාතික පක්ෂය නොකරන බවත් දැනට ඉදිරිපත්වී තියෙන්නේ ව්‍යවස්ථාවක් නොව විශේෂඥයන්ගේ කමිටු වාර්තාවක් පමණක් බවත් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවැසීය.

මහින්ද මහතා අලුත් ව්‍යවස්ථාව කියා යකෙක් ජනතාවට පෙන්වා නැවත වරක් ජනතාව මුළා කිරීමට සැරසෙන බව ද නවීන් දිසානායක මහතා සඳහන් කෙළේය.

නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශයේ ඉදිකළ බහුකාර්ය ගොඩනැඟිල්ල හා තැපැල් කාර්යාලය විවෘත කිරීමෙන් පසු රැස්ව සිටි පිරිස ඇමතූ ඇමැති නවීන් දිසානායක මහතා එම අදහස් පළ කෙළේය.

එහි දී තව දුරටත් අදහස් දැක් වූ නවීන් දිසානායක මහතා මෙසේ ද කීය.

ජනතාවට කරුණු පෙන්වන්නේ නැතුව ජනතාවගේ අදහස් විමසන්නේ නැතුව ආණ්ඩුවේ කිසිම සැලසුමක් නෑ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට. එවැනි දෙයක් මේ රටේ කිසිසේත්ම කරන්න හැකියාවක් නැහැ.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන, පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක නිදහස් රාජ්‍යයක්. රටේ පවතින්නේ විවෘත සමාජයක්. ජනතාවට කැමති ආකාරයටයි ආණ්ඩු පවා වෙනස් කළ හැක්කේ.

නායකයෝ ඇති කිරීමේ හෝ නැති කිරීමේ බලය තිබෙන්නේ ජනතාව මතයි. ගිය ජනාධිපතිවරණයේ දී නුවරඑළිය ජනතාව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට 70%ක ප්‍රමාණයක් ඡන්දය දුන්නා. මේ අවුරුද්දෙ ඔක්තෝබර් වන විට ජනාධිපතිවරණයක් කැඳවන්න අවශ්‍ය අතර කාටවත් එයින් පිට පනින්න හැකියාවක් නැහැ.

ලබන වසරේදී නව විධායක ජනාධිපතිවරයකු පත්වන අතර, ඔහු වර්තමානයේ සිටින ජනාධිපතිවරයා හෝ වෙනත් අයෙක් හෝ විය හැකියි. එය රටේ නීතිය. එම මැතිවරණ පවත්වන්නෙ ව්‍යවස්ථානුකූලවයි. ශ්‍රී ලංකාවෙ වසර පහකට වරක් ජනාධිපතිවරණයත් වසර හයකට වරක් මහ මැතිවරණයත් පැවැත්වෙනවා. එහි දී ඉතාමත් ඉවසීමෙන්, සංයමයෙන් යුක්තව තමාගේ බුද්ධිය පාවිච්චි කර ඡන්දය ලබා දෙන්න කියා මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අප කිසිසේත්ම මේ රටේ ඒකීයභාවය, සෛවරීත්වය පළුදු වෙන ආකාරයට කටයුතු කරන්නෙ නැහැ. නව ව්‍යවස්ථාවක් ගැන කතා කළාට එවැන්නක් ඉදිරිපත්ව නැති අතර දැනට ඉදිරිපත්වී තිබෙන්නේ විශේෂඥයන්ගේ කමිටු වාර්තාවක් පමණයි.

කවර කණ්ඩායමක් පවතින ආණ්ඩුවට විවේචන එල්ල කළත් අප ජනතාව වෙනුවෙන් සිදු කරන සංවර්ධන කාර්යයන් නතර කරන්නේ නැහැ.

ඒ අනුව ජනතා අයිතියට පත් කරන මේ නව බහුකාර්ය ගොඩනැඟිල්ල හා තැපැල් කාර්යාලය ඉදිකිරීමට ප්‍රාදේශීය සභාවේ මුදලින් රුපියල් ලක්ෂ පනහක පමණ ආයෝජනයක් කර තිබෙනවා.

අප නිරන්තරයෙන් ප්‍රදේශයේ ජනතා අදහස් හා යෝජනා අනුවයි සංවර්ධන කාර්යයන් සිදු කරන්න උත්සාහ කරන්නෙ. මේ අනුව විවිධ අවස්ථාවල මහා මාර්ග, ජල නළ පද්ධති සහ විදුලි බලය වගේ යටිතල පහසුකම් දියුණු කිරීම් සිදු කර තිබෙනවා. ඉදිරියටත් මේ සංවර්ධන කාර්යයන් නොනවත්වා සිදු කරනවා. මේ වසර සඳහා පමණක් මේ කටයුතු සඳහා රුපියල් ලක්ෂ සීයයක් (මිලියන දහයක) මුදලක් දැනටමත් වෙන් කර අවසන්. ගම්පෙරළිය වැඩසටහන යටතේ මිලියන තුන්සීයක් (ලක්ෂ තුන්දහසක්) වැනි විශාල මුදලක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එවා තිබෙනවා. සිංහල අලුත් අවුරුද්ද ආරම්භයට පෙර මේ මුදල්වලින් ජනතාවට සේවය කිරීම අපේ බලාපොරොත්තු. ඔක්තෝබර් 26 විප්ලවය සිදු වුණේ නැත්නම් මේ වෙන විටත් ඒ මුදල් ටික වියදම් කර ඒ වැඩ කොටස් කර අවසන්. ඒ වෙනස හේතුවෙන් මේ රටට විශාල පාඩුවක් සිදු වුණා. එය ගණනය කළ නොහැකියි.

ඒ අනුව විශේෂයෙන් සංචාරක නගරයක් වුණ නුවරඑළියට සියයට තිහක හතළිහක විදේශිකයන්‍ අඩුවීමේ ප්‍රවණතාවක් තිබුණා. තවත් මාස තුන හතරක් ඉදිරියට මෙරට සංචාරක ව්‍යාපාරයේ විශාල අහේනියක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇති වුණා. නුවරඑළියේ විශාල හෝටල්වලට පමණක් නෙවෙයි සාමාන්‍ය රෙස්ට් හවුස්වලට හා වෙනත් ව්‍යපාරවල ද අඩුවීමක් එම හේතුවෙන් සිද්ධ වුණා. මේ දින පනස් දෙකකට නුවරඑළියට සිද්ධ වුණු හානිය. මීට සමගාමීව විශාල වශයෙන් සංචාරක ව්‍යාපාර තිබෙන නගර හා දිස්ත්‍රික්කවලට ඒ දවස් පනස් දෙකේ වෙනස නිසා හානියක් සිද්ධ වූ බව සියලු දෙනා පිළිගත යුතුයි.

අද අපට බහුතරයක් තිබෙන නිසා පාර්ලිමේන්තුව තුළ අතුරු සම්මත ගිණුමක් සම්මත කරගෙන තව මාස හතරකට මේ රට ඉදිරියට ගෙනියන්න හැකි වූ අතර, රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට හැකි වුණේ මේ නිසයි. මාර්තු මාසයේ නව අය වැයක් ගෙන එන අතර, එමගින් ජනතාවට විශාල සහන රැසක් ගෙන ඒමට තීරණය කර තිබෙනවා.

සමහර අය හිතනවා එජාපයට, ජනතාවට සහන දෙන්න නොහැකියි ඒ අයට පමණයි සහන දෙන එකේ අයිතිය, පරප්‍රසාද තියෙන්නේ කියා. එය වැරැදි අදහසක්. අපට හැකියාව තිබෙනවා ජනතාවට සහන ලබා දෙන්න. අතීතයෙදිත් එක්සත් ජාතික පක්ෂය තමයි වැඩි වශයෙන් ජනතාවට සහන ලබා දී තිබෙන්නෙ. ගාමිණී දිසානායක, ප්‍රේමදාස, ජේ. ආර්. ජයවර්ධන මහත්වරු ජනතාවට දුන් සහන අපට අමතක විය නොහැකියි. මේ වන විට තිබෙන ගැටලුව ජනතාවට මේ සහන ලබා දෙන්නේ කොහොම ද කියන එකයි. ඊට හේතුව උපයන හැම රුපියලකින්ම සත අනූවක් අපි විදේශ ණය හැටියට ගෙවනවා. අපේ රට ණය උගුලක සිටින්නෙ. ඒ අතරයි ජනතාව සහන ඉල්ලන්නෙ.

විශේෂයෙන් අහිංසක දුප්පත් ජනතාව බලාපොරොත්තු වෙනවා රජයකින් යම්කිසි දෙයක් ලැබෙයි කියා. අප පත් වූ විගස ඉන්ධන මිල අඩු කළා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් හත්දහසකින් වැඩි කළ අතර, රුපියල් දසදහසක දීමනාවක් ලබා දුන්නා. මේවා සමහරුන්ට අමතක වෙලා.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හැටියට අපි ඉදිරි මැතිවරණවලට ලෑස්ති වෙනවා. ආණ්ඩු පෙරළන්න අවශ්‍ය ජනතාව. එය කළ යුත්තේ කුමන්ත්‍රණවලින් නෙවෙයි. ඔළු ගෙඩි මාරු කළත් බහුතරය අවශ්‍යයි. ඒ වෙනුවෙන් නිරන්තර අරගලයක් කළා. ඒ වෙනුවෙන් නුවරඑළිය ජනතාව අවස්ථා තුනක දී විශාල ජනතාවක් සමඟින් බස් තුනක් කොළඹට ආවා. මුළු දවස් භාගයක් බස් එකේම ඉඳලා මේ මිනිස්සු කළේ පුදුම කැප කිරීමක්. ඒ සියලුම මූණු මට මතකයි. ඉතිං මේ මූණු ගාණට තමයි නවීන් දිසානායක වැඩියෙන්ම වැඩ කරන්නේ කියන එකත් පැහැදිළිවම කියන්න ඕනේ. නුවරඑළියේ එදා ගාමිණී දිසානායක පටන් ගත්ත සංවර්ධනය දැන් අපි කරන සංවර්ධන කටයුතු අපි ඉදිරියටම කර ගෙන යනවා. අපි නව සිංහල අවුරුද්දට කලින් නුවරඑළිය රෝහල විවෘත කරනවා. ඒ වගේම නුදුරු අනාගතයේ දී නුවරඑළිය මාර්කට් සංකීර්ණයේ වැඩ කටයුතු අපි පටන් ගන්නවා. මුළු රටෙන්ම නුවරඑළියේ තමයි පළමු වන කේබල් කාර් ව්‍යාපෘතිය පටන් ගන්නේ. මේ විදිහට අපි සැලසුම්සහගත සංවර්ධනයක් පටන් අරන් තියෙනවා.

අපි එක්සත් ජාතික පක්ෂයේ ඒ තිබෙන සියලුම ශාඛා සමිති නවීකරණය කරලා ජනවාරි මාසය අන්තිමට නායකවරයා හරහා බල මණ්ඩල පිහිටුවන්න. අනිත් පක්ෂ හා සංසන්දනය කරන කොට අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. නුවරඑළිය ආසනයේ අපි සංවිධානාත්මකව ඉදිරියට යමු. ඒ වෙනුවෙන් මට නුවරඑළිය නගරාධිපතිවරයා විශාල ශක්තියක් වගේම විශාල සෙන්පතියෙක් වෙනවා. මේ පක්ෂය කිසිම පුද්ගලයකුගේ අයිතියක් නෙවෙයි. මේ පක්ෂය සියලු දෙනාටම අයිතියි. මේ රටේ පුංචි ජනතාවට අයිති දේශපාලන ව්‍යාපාරයක්. මේ පක්ෂය තමයි සේනානායකලා ඩඩ්ලිලා බිහි කරපු පක්ෂය. මේ පක්ෂයෙන් තමයි තමුන්නාන්සේලාගේ නායක ගාමිණී දිසානායක මහතා බිහි වෙලා අවුරුදු පහ හයකින් මහවැලි ජලාශය වේල්ලකින් හරස් කරලා මහවැලි ව්‍යාපාරය හරහා ජනතාවට ඒ අවශ්‍ය දෑ සපයලා විදුලි බලය දෙගුණයක් කරලා මේ රට විශාල සංවර්ධනයකට යොමු කළේ. ඒ නිසා එතුමාගේ අඩි පාරේ යමින්, නුවරඑළිය කියන්නේ එතුමාගේ හදවත මේ සියලු ප්‍රදේශ එතුමා පෝෂණය කළා. මමත් ඒ සංවර්ධන වැඩ පිළිවෙළ හරහා තමුන්නාන්සේලාට උපරිම සම්පත් ලබා දෙනවා කියලා පැහැදිළිවම කියනවා. විශේෂයෙන්ම තමුන්නාන්සේලාගේ ප්‍රශ්න ගැටලු අහලා ඒවාට විසඳුම් ලබා දීමටත් විශේෂයෙන්ම කෘෂිකාර්මික පැත්තෙන් අපිට ගැටලු රැසක් තියෙනවා. මිල අඩු වැඩිවීම් සිද්ධ වෙද් දී අර්තාපල් පිටරටින් ගේන්න සමහර අය උත්සාහ කළා. අපි ඒවා නැවැත්තුවා. ඒ ක්‍රමවේද නැතුව නුවරඑළිය අල ගොවියාගේ මූලික ප්‍රශ්න අර්තාපල් සඳහා හොඳ මිලක් ලැබෙන විදිහට ලබා දෙන්න අපි කටයුතු කර ගෙන යනවා. විශේෂයෙන්ම අපි කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට මීට වඩා ශක්තියක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

නව අදහස දක්වන්න