ග්‍රීසියේ රස්සාවට ගිය තරුණයාට කාමරේ මිතුරාගෙන් පිහි පහර | දිනමිණ

ග්‍රීසියේ රස්සාවට ගිය තරුණයාට කාමරේ මිතුරාගෙන් පිහි පහර

මෙයට මාස පහකට ඉහත දී රැකියාවක් සඳහා ග්‍රීසියට ගිය විසි හය හැවිරිදි තරුණයකු එහි දී ඔහු සමඟ එකම කාමරයක නතර වී සිටි ඔහුගේ ම මිතුරෙකු විසින් පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පැවසේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, කැපූඇළ, කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අගම්පොඩි පැතුම් දිල්ෂාන් නමැති විසි හතර හැවිරිදි අවිවාහක තරුණයෙකි. මෙම ඝාතනය ගැන දැනගන්න ලැබුණු මොහොතේ ම ඒ පිළිබඳ වැඩි දුර විස්තර දැන ගැනීමේ අටියෙන් අපි දිල්ෂාන්ගේ නිවස සොයා ගියෙමු. මා එහි යන විටත් දිල්ෂාන්ගේ මව ඩී. දමිතා මහත්මිය තම බාල පුතුගේ වියෝවෙන් කම්පාවට පත්ව සිටියාය. ඇය මෙසේ පැවසුවාය.

මේ සිද්ධියෙන් මිය ගොස් සිටින්නේ මගේ බාල පුතා. එයාට වැඩිමල් තවත් පුතෙක් මට සිටිනවා. මේ සිද්ධිය අහන්න ලැබෙන විට මම හිටියෙ මාලබේ පෞද්ගලික රෝහල නේවාසිකව ප්‍රතිකාර ලබමින්. සිද්ධිය වෙන්න මොහොතකට පෙරත් පුතා මට කථා කරල මගේ දුක සැප විමසුවා. ඊට පෙර එදා සවසත් මට කථා කළා. ඒ පසුගිය එකොළොස් වැනිදා සවස. එදා රාත්‍රී මට හොඳට ම නින්ද ගියා. ඒ අතරෙ නපුරු හීනයක් දැකල මට ඇහැ ඇරුණා. ඒ හීනය නිසා මට බයකුත් ඇති වුණා. ඒ එක්කම මගේ ජංගම දුරකථනය නාද වුණා. ඔයාගෙ පුතා පිහි ඇනුමකට ලක් වෙලා මිය ගිහින් කියල කවු‍දෝ මට කීවා. මගෙ පුතාට එහෙම දෙයක් වෙන්න බැහැ. කවුද ඔය කථා කරන්නෙ කියල අහන කොටම දුරකථනය විසන්ධි වුණා. විනාඩි දෙකකින් පමණ ආයෙත් මගේ දුර කථනය නාද වුණා. පිහි ඇනුමකින් දිල්ෂාන් මිය ගියා කියල ඒ කථා කරපු අයත් කීවා. ඊට පසුව රට ඉන්න මගේ නංගිට කථා කරල මේ සොයා බලල මට පණිවුයක් දෙන්න කියල මම ඉල්ලා සිටියා. එයත් ඒ ගැන සොයල බලල මට කීවෙ දිල්ෂාන් පිහි ඇනුමකට ලක්වෙලා මිය ගිහින් තියනව කියලයි. මට කෑ ගැසුණා. ඉන්නෙ කොහේද කියල මට මතකයක් තිබුණේ නැහැ.

පුතා ග්‍රීසියෙ නතර වෙලා සිටි කාමරේ ලංකාවෙ අය හතර දෙනෙක් ඉන්නව කියල පුතා කලින් අපට කියල තිබුණා. ඒ අය හොඳයි කියලත් අපට දැන ගන්න ලැබුණ. ඒ හතර පස් දෙ‍නා එකට උයාගෙන තමයි කාල බීල තියෙන්නෙ. කිසිම ප්‍රශ්නයක් තිබිලත් නැහැ. සිද්ධිය වෙන දවසෙ ( පසුගිය 12 වැනිදා) මගේ පුතත් ඔය සැකකාර ළමයත් අතර පොඩි කථා බහක් ඇති වෙලා තියෙනව. ඒ අවස්ථාවෙදි සැකකාර ළමය එක පාරටම මගේ පුතාට පිහියෙන් ඇනල තියෙනව. රෝහල වෙත ගෙන යන විටත් පුතා මිය ගියා කියල තමයි අපට දැන ගන්න ලැබුණේ. මේ වගේ දුකක් කිසි කෙනෙකුට අත් වෙන්න එපා කියලයි මම කියන්නෙ.

අම්බලන්ගොඩ සමූහ

 

නව අදහස දක්වන්න