මීගොඩ ආයුර්වේද රෝහල් ඔසු උයනේ ඖෂධ පැළ 100ක් සිටුවයි | දිනමිණ

මීගොඩ ආයුර්වේද රෝහල් ඔසු උයනේ ඖෂධ පැළ 100ක් සිටුවයි

මීගොඩ ආයුර්වේද රෝහල් ඔසු උයන ජාතියට සම්පතක් බවත් එම ඉඩම පරිත්‍යාගකළ හිටපු සෞඛ්‍ය ඇමැති ගාමණී ජයසූරිය මහතා මෙම අවස්ථාවේදී සිහිපත් කළයුතු බවත් බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් මාලා පෙරේරා මහත්මිය පැවසුවාය.

කොමසාරිස්වරිය එසේ පැවසුවේ ඉකුත්දින පැවති මීගොඩ ආයුර්වේද රෝහල් ඔසු උයන භූමියේ දේශීය ඖෂධ පැළ 100ක් රෝපණය කිරීමේ කෙටි උත්සවයේදී ප්‍රධාන දේශනය පවත්වමිනි.

බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් කාර්යාලයේ උපදෙස්මත ඒ.එම්. ඊ. ආයතනය සහ හරිත සමුපකාර ආයතනය එක්ව මේ සඳහා අනුග්‍රහය දක්වන ලදී. ඔසු උයන පාලක නිලධාරී වෛද්‍ය කීර්ති හළඹගේ මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම උත්සවයේදී ‍තවදුරටත් අදහස් දැක්වූ කොමසාරිස්වරිය මෙසේද පැවසුවාය.

එදා පැවති රජයේ සෞඛ්‍ය ඇමැති ලෙස කටයුතු කළ ගාමණී ජයසූරිය මැතිතුමා අක්කර 16කින් යුත් මෙම ඉඩම ආයුර්වේද සඳහා අක්කර 6ක්ද ඉතිරි අක්කර 10 ඔසු උයන සඳහාද පරිත්‍යාග කළා. ඉතා වටිනා ඖෂධ පැළ රෝපණයන් සිදුවූ අතර අද ඒවා රූස්ස ගස්බවට පත්වී තිබෙනවා.

මෙම මීගොඩ ආයුර්වේද රෝහල ද බස්නාහිර පළාතේ හොඳම ආයුර්වේද රෝහල බවට පත්වී තිබෙනවා.

තවද මෙම ඔසු උයන් භූමියේ ඇති වගුරු බිමේ පාරම්පරික දේශීය ඖෂධ වී වර්ග වගාකර ඇති කුඹුරක්ද පවත්වාගෙන යන බව පැවසිය යුතුයි. ඒ සඳහා ඇපකැපවී කටයුතු කරන වෛද්‍ය කීර්තිහළඹගේ මහතාටද ප්‍රශංසා කළ යුතුයි.

අද දින ඖෂධ පැළ 100ක් රෝපණය කිරීමේ උත්සවයට සහාය දැක්වූ ආයතනයන්ටද ආයුර්වේද වෛද්‍යවරුන්ටද රෝහල් කාර්ය මණ්ඩලයටද මාධ්‍යවේදීන් සියලුදෙනාටමද මගේ ස්තූතිය හිමිවෙනවා.

හෝමාගම විශේෂ
ජිනදාස ගමගේ


නව අදහස දක්වන්න