අරන්කැ‍ලේ කැලයට ය‍ා නොදී රැකගනිමු | දිනමිණ

අරන්කැ‍ලේ කැලයට ය‍ා නොදී රැකගනිමු

හිරියාල ආසනයේ මධ්‍යයේ පිහිටි ඓතිහාසික ‘‘දොළුකන්ද” ඔසු උයන පාමුල සුන්දර පරිසරයක පිහිටි අරන්කැලේ මලියදේව අරහන්ත සේනාසනය දෙස් විදෙස් සංචාරකයන්ගේත් බොදු බැතිමතුන්ගේත් මහත් ගෞරවාදරයට ලක්වු පුදබිමකි.

ලක්දිව රහතන් වහන්සේලාගේ අන්තිමයා වශයෙන් සැලකෙන ‘‘මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටි අරන්කැලේ සේනාසනය අනුරාධපුර යුගයේ සිට වනවාසී රහතන් වහන්සේලාගේ සහ භික්ෂුන් වහන්සේලාගේ වාසභුමියක් ලෙස තිබු බව එහි දක්නට ලැඛෙන සෙල් ලිපි ආදියෙන් සනාථ වී තිබේ.දැනට වසර 50 ක පමණ කාලයක සිට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මෙම සේනාසන භුමියෙහි කැණීම් කටයුතු කරගෙන යන අතර රූස්ස කැලෑවට යටවී පසින් වැසී තිබු ශෛලමය ගොඩනැගිලි රාශියක නටබුන් සහ පුරා වස්තු රැසක් මේවනවිට ගොඩගෙන තවත් ශතවර්ෂ ගණනාවක් සංරක්ෂණය වන පරිදි තහවුරුකොට ඇත.එසේ තහවුරු කොට ඇති විශේෂතම ගොඩනැගිල්ල වන්නේ ‘‘ඡන්ථාගාරයයි. (උණු පැන්හල)මෙය අතීතයේ තිඛෙන්නට ඇතැයි සිතන ආකාරයට සකස් කොට ඇත.එම දෙපාර්තමේන්තුව මෙම කටයුතු අවසන් කොට ඇත්තේ කැණීම්වලදී හමුවන පුරා වස්තු අනාගත පරපුරටද දැක බලාගැනීම සදහා සංරක්ෂණය කිරීමේ වැඩ සටහන යටතේය.

මනා ලෙස ඔප මට්ටම් කළ හතරැස් ගල් භාවිතා කරමින් පොකුණක ආකාරයෙන් සකසා තිඛෙන එම ඡන්ථාගාරය අතීතයේ මෙහි විසූ වනවාසී රහතන්වහන්සේ සහ භික්ෂුන්වහන්සේ ගිලන් අවස්ථා ආදයෙහිදී උණු පැන් පුරවා ස්නානය සදහා යොදා ගන්නට ඇති බව පුරාවිද්‍යඥයන්ගේ අදහස වී ඇත.ඇඹරුම් ගල්වල ඛෙහෙත් ඇඹරීම සදහා යොදාගන්නා ලදැයි සිතිය හැකි ප්‍රමාණ දෙකක අත්ගල්(දා ගල්) දෙකක් ද මෙම ඡන්ථාගාරය අසල තිබී හමුවී ඇත.මේ හැර විශාල ප්‍රමාණයේ ලිපක් සහ කුඩා ප්‍රමාණයේ ලිප් 24 ක්ද එය වටා ඉදිකොට ඇත.

කසාය ඔසුපැන් විවිධ ඖෂධ මිශ්‍රණ හා ජලය මුට්ටිවලට දමා උණුකිරීම සදහා එම ලිප් යොදාගෙන තිබේ.භාවනායෝගී භික්ෂුන්වහන්සේ වෙනුවෙන් ඉදිකරන ලද පධානඝරයක්ද මෙහි දක්නට ලැබෙයි.මෙහි ඇති ගොඩනැගිලි ක්‍රි.ව.6-7 සියවස්වලට අයත්වෙයි.මෙහි ඇති කටාරම් කෙටු ලිපි සහිත ගල්ලෙන්වල ඇති තොරතුරු අනුව මෙහි සංඝාරාමය ආරම්භවී ඇත්තේ ක්‍රි.පූ. 2වැනි සියවසටත් ක්‍රි.ව.2 සියවසටත් අතරබව එහි තබා ඇති නාම පුවරුවක සදහන්වේ.ලෝකයේ දිගම සක්මන් භාවනා මළුව හෙවත් චංකමනාගාරය ඇත්තේද මෙහිය.මෙහි විශිෂ්ටත්වය වන්නේ එහි වහලයක් තිබු බැවිණි.සීමාමාලකය,පෙත්මග,සම්මුඛලෙන,පොකුණ,ආසනඝරය, චක්‍රමණ්ඩපය මෙහි ඇති ශෛලමය නිර්මාණ අතර වැදගත්වෙයි.ක්‍රි.ව.1890දී පුරා විද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් හා හෝකිට් යන මහත්වරුන් විසින් පරීක්ෂණයට භාජනයකර ඇත.ආරාම සංකීර්ණයේ ඇතුළතට වන්නට රුක් ගොමු රැසකින් භුමිය අලංකාර වී ඇත.එහෙත් මෙම පූජා භුමිය නැරඹීමට පැමිණෙන පිරිස් ඇතැම් ස්ථානවල කැළි කසළ දමා යාම කණගාටුදායකය.දෙටු තිස් රජු විසින් ආරම්භ කරන ලද අරන්කැලේ අරහන්ත සේනාසනය අපවිත්‍ර නොකරන ලෙස මෙය නැරඹීමට පැමිණෙන සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

චන්ද්‍රතිලක රත්නායක-ඉබ්බාගමුව විශේෂ


නව අදහස දක්වන්න