නාවික සෙබළාට වකුගඩුවක් ඕනෑ | දිනමිණ

නාවික සෙබළාට වකුගඩුවක් ඕනෑ

වෘත්තියෙන් නාවික හමුදා සෙබලෙකු වන ඔහු නමින් රත්නායක මුදියන්සේලාගේ සමන්ත සුජීව රත්නායකය. තලංගෙදර, උඩංගාව, අඹන්පොළ යන ලිපිනයේ පදිංචිව සිටින ඔහු දැරියන් තිදෙනෙකු මෙලොවට දායාද කළ තිදරු පියෙකි. රැකියාවට අමතරව නිවාඩුවට නිවසට පැමිණි විට ගඩොල් කපා අලෙවි කර එයින්ද කීයක් හෝ මුදලක් හරි හම්බ කර ගන්නට ඔහු විසින් උත්සාහ කළේ තාමාගේත්, බිරිඳගේත් මෙන්ම දියණියන් තිදෙනාගේද ජීවිත තරමක් හෝ සුවපත් කර ගැනීමේ අරමුණෙනි. ඒ නිසාම බොහෝ දෙනා ඔහුව හැඳින් වූයේ ගඩොල් සමන්ත යන අන්වර්ථ නාමයෙනි. එහෙත් ඔහුවත් නොසිතූ අයුරින් ඔහුගේ ජීවිතය කඩාගෙන වැටුණි. ඔහු දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවට හෙළි විණි. එතැන් පටන් ඔහුගේ ජීවිතයේ ඉතිරි වූයේ දුකත් කණගාටුවත් පමණි. ඒ ගැන සමන්ත සුජිව මහතා අප සමඟ කියා සිටියේ මෙවැන්නකි.''මම දැන් නාවික හමුදා සෙබලෙක් විදිහට සේවයට බැඳිලා අවුරුදු නවයක් වෙනවා. මේ වෙද්දි ගාල්ල දක්ෂිණ කඳවුරේ තමා මම සේවය කරන්නෙ. ඒ බලනැව් සේවකයෙක් හැටියට. එහෙම සේවය කරගෙන ඉද්දි තමා මම මේ වගේ දරුණු වකුගඩු රෝගයකින් පෙළෙනවා කියලා වෛද්‍යවරු හොයාගත්තේ. එතන ඉඳන් මම ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. ඒත් ප්‍රතිකාරවලින් විතරක් මේ ලෙඩේ සුව කරන්න අමාරුයි. වෛද්‍යවරු කියන්නේ මට හැකි ඉක්මනින් O- හෝ O+ වර්ගයේ වකුගඩුවක් බද්ධ කරන්න කියලා. මේ වෙද්දි මේ ලෙඩේ හැදිලා මාස එකහමාරක් විතර වෙනවා. රැකියාවෙන් නිවාඩු ලබාගෙන මම මේ වෙද්දි ප්‍රතිකා ලබනවා. සතියට දෙපාරක් ගල්ගමුව මූලික රෝහලට ගිහින් ලේ මාරු කරනවා. මාසයකට වතාවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සායනවලට සහභාගී වෙනවා. ඒ විදිහට තමා මහත්තයෝ මම ජීවත් වෙන්නෙ. දියණියන් තිදෙනෙකුත්, බිරිඳත් සමග ජීවත් වන්නට වරම් ඉල්ලන සමන්ත සුජීව මහතාට පණ දීම පිංවත් ඔබගේ එලොවත් මෙලෙවෙත් දෙලොවම සුගතියට පත්කරලන්නාවූ පිංකමකි. ඒ සඳහා ඔබේ දායකත්වයත් ලබා දීමට හැකිනම් 075 6299839 යන දුරකතන අංකය ඔස්සේ සමන්ත සුජීව මහතා සම්බන්ධ කර ගත හැකිය. වකුගඩුවක් දන් දී ජීවිතයක් බේරා ගැනීමට පිංවත් ඔබේ උපකාරය මේ රණවිරුවා වෙනුවෙන් ලබා දෙන්න.

ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්

නව අදහස දක්වන්න