පහේ ශිෂ්‍යත්ව විභාගය | දිනමිණ

පහේ ශිෂ්‍යත්ව විභාගය

1944 වර්ෂයේ දී ආචාර්ය සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ උදාර සංකල්පයක් අනුව පහේ ශිෂ්‍යත්ව විභාගය ආරම්භවී ඇත.

එක පළාතකින් අඩු ආදායම්ලාභී ඉතා දක්ෂ දරුවන් 10 – 15 පමණ තෝරා ගෙන ඔවුන්ට අවශ්‍ය මූල්‍ය වියදම් සහ අනෙකුත් පහසුකම් ලබාදී මධ්‍ය මහා විද්‍යාලයකට ඇතුළත් කර 6 ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු කිරීම එහි මුඛ්‍ය පරමාර්ථය විය.

වර්තමාන ශිෂ්‍යත්ව විභාගයේ මූලික අරමුණු දෙකක් ඇත. එය නම් දක්ෂ අඩු ආදායම්ලාභී ළමයින්ට ශිෂ්‍යත්ව ආධාර ලබා දීම සහ දක්ෂ ළමයින්ට ජනප්‍රිය පාසලකට ඇතුළත්වීමට වරම් ලබා දීමයි. (ගම්බද පාසලක දරුවෙකුට නගරයේ ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමට ඇති එකම ක්‍රමය මෙය විය හැක) වර්තමානයේ මේ අවශ්‍යතාවන් නැති දරුවන්හට ද ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කිරීම නිසා එයට පෙනී සිටීමට සිදුවී ඇත. මේ විභාගය තුළ ඇතිවන අධික තරගකාරී රටාව නිසා සියලු ම දරුවන් තමන්ගේ සුන්දර ළමා කාලය එයට කැප කිරීම නිසා පහත සඳහන් ආකාරයේ විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇත.

අධික මානසික පීඩනය

දරුවාගේ වයසට නොගැළපෙන තරම් අධික වැඩ ප්‍රමාණයක් දරුවාට බැර කිරීම මත දරා ගත නොහැකි මට්ටමකට මානසික පීඩනයක් දරුවාට ලබා දී ඇත. මේ දරුවාට වරින්වර ඇතිවන තද හිසරදය, බඩේ කැක්කුම හා ක්ලාන්තය වැනි නොයෙකුත් රෝගී තත්ත්වයන් වැලඳීම නිසා වෛද්‍යවරුන් වෙත යොමු වීම සුලබ තත්ත්වයකි. ඒ අතරම එම දරුවන් තුළ ඇති වන අස්වාභාවික හැසිරීම් රටා නිසා මානසික වෛද්‍යවරුන් වෙත යොමු කිරීමට සිදුව ඇත. මෙහි නරකම ප්‍රතිඵලය වනුයේ දරුවා ඉතා තද මානසික පීඩනයකට ලක් වූ විට එමගින් ශරීරයේ හෝමෝන (කොර්ටිසොල්) ස්‍රාවය ඉතා වැඩි වී එය දරුවාගේ ශරීරයේ විවිධ පද්ධතිවලට හානි කරයි. මධ්‍ය ස්නායු පද්ධතියේ සෛල විනාශ වී එහි ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරයි. එවිට මොළයේ විධාන ක්‍රියා දුර්වල වී අහිතකර හැසිරීම් රටා ඇති වේ. දරුවාගේ මතකය හා අධ්‍යාපනය සම්බන්ධ වැදගත් හිපොකැම්පස් නමැති මොළයේ කොටසට හානි සිදුවීමෙන් ඉදිරි අධ්‍යාපනය ගමන අඩාළ කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇති කරන බලපෑම් හරහා ලෙඩ ‍‍රෝග වැලඳීමේ අවදානම වැඩි වේ.

බුද්ධි වර්ධනය දුර්වල වීම

ඕනෑම පුද්ගලයකුගේ බුද්ධි වර්ධනයක් සිදුවන්නේ මුල් ළමා විය කාලයේදීය. එය පළමු අවුරුදු 10 ඇතුළත වේගයෙන් සිදු වන අතර ඉන් පසු අවුරුදු 5ක් පමණ සෙමින් වර්ධනය වී අවුරුදු 15 – 17 වන විට ස්ථිර තත්ත්වයකට පත්වේ. ඉන්පසු බුද්ධි වර්ධනයක් සිදු නොවන අතර අවශ්‍ය නම් දැනුම පමණක් වර්ධන කළ හැක. වර්තමානයේ දී දරුවෙකුට වඩාත් අවශ්‍ය වන්නේ දැනුමට වඩා හොඳින් දියුණු කළ බුද්ධි මට්ටමක් සහිත මොළයයි. මෙම වැදගත් කාලය ශ්‍රී ලංකාවේ දරුවන් ශිෂ්‍යත්වයට අවශ්‍ය දැනුම ලබාගැනීම සඳහා වෙන් කර ඇත. එමගින් මේ දරුවන්ගේ බුද්ධි වර්ධනය දුර්වල වී ඇත. මෙසේ සිදුවීම රටකට හිතකර නොවන අතර නැවත නිවැරදි කළ නොහැකි තත්ත්වයකට පත් විය හැක. දරුවන්ගේ බුද්ධි වර්ධනය සඳහා ඉතාමත් අත්‍යවශ්‍ය සාධක ලෙස හඳුනා‍ ගන්නේ ධනාත්මක උත්තේජනය, නිදහස් පරිසරය (පරීක්ෂණ හා නිරීක්ෂණ කළ හැකි) හා දරුවා රැක බලා ගන්නා දෙමාපියන් යන කරුණු තුනයි. ශිෂ්‍යත්වය සමත්ව ඉතා දුර බැහැර නගරබද පාසලකට ඇතුළත් වන ශිෂ්‍යාට මෙම කරුණු තුනම අහිමි වේ. ඔහු නේවාසිකාගාරයක හෝ බෝඩින් කාමරයක් තුළ සිර වන අතර බුද්ධි වර්ධනයට අවශ්‍ය සාධක ඇන හිටිනු ඇත. එයට අමතරව එදිනෙදා ජීවිතයේ ඇතිවන ගැටලු හා බාධක විසඳා ගැනීමට අවශ්‍ය සහාය මව්පියන්ගෙන් නො ලැබෙනු ඇත. (දරුවා තමාගේ පළාතේ ජනප්‍රිය පාසලකට ඇතුළත් කළ හොත් එම සාධක යම් දුරකට මැඩපවත්වාගත හැක. එවිට දරුවාට මව්පියන් හා පරිසරය සමඟ සම්බන්ධ වීමට වැඩි අවස්ථාවක් ලැබේ.

දරුවන්ගේ ළමා කාලය අහිමි කරවීම

වර්තමානයේ දී දරුවන්ට 3 සහ 4 ශ්‍රේණිවල සිටම මෙම විභාග ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය ලබා දීම පාසල් තුළ සිදුවෙමින් පවතී. මෙම හේතුව මත ළමා කාලයේ දී දරුන්ට ලැබිය යුතු මූලික ගුණාංග ඉගෙන ගැනීමට ඉඩ ලැබෙන්නේ නැත. දරුවා වැඩි කාලයක් පාසල හා අමතර පන්ති තුළ රඳවා ගැනීම නිසා දරුවාට පරිසරය තුළ ගවේෂණයට හා නිරීක්ෂණයට ඉඩක් ලැබෙන්නේ නැත. පෞරුෂත්වය හා සාරධර්ම පිළිබඳව මූලික සංකල්ප දරුවන්ට හඳුන්වාදෙන මෙම ළමා කාලය සම්පූර්ණයෙන්ම එයින් ඉවත් කර දැනුම පමණක් ලබා දෙන විෂය පද්ධතියකට දරුවා සිර කර ඇත. දැඩි තරගකාරී රටාව නිසා දරුවා අනුන් ගැන නොසිතන අයකු බවට පත්ව ඇත. මෙම විභාග රටාව නිසා දරුවා අධ්‍යාපනය අතින් සාර්ථක වුවද ගුණධර්ම අතින් දුර්වල ආත්මාර්ථකාමී අයකු බවට පත්වීම සිදුවිය හැක.

ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීම

ළමා කාලයේ දී දරුවන්ට ක්‍රීඩාව ඉතා අත්‍යවශ්‍ය අවස්ථාවක් ලෙස සැලකේ. ක්‍රීඩාවල යෙදෙන දරුවන් හට ලැබෙන විශේෂ වාසි රැසක් ඇත.

ක්‍රීඩාව මඟින් ශරීරයේ හෝමෝන ස්‍රාව්‍ය වෙනස් කර මොළයේ සෛල අතර සම්බන්ධතා වැඩි කරයි. මොළයේ ප්‍රත්‍යාස්ථාව වැඩි කරයි. එමගින් බුද්ධිය හා මතක තබා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක් දක්වා වැඩිකළ හැක. එමගින් දරුවාගේ සාංකාව, ආතතිය හා අවපීඩනය අඩු කර දරුවා ප්‍රකෘති තත්ත්වයට පත්කරයි. මෙම සියලු ම වාසි ලැබීමට නම් අවම වශයෙන් දරුවා දිනකට පැයක කාලයක්වත් ක්‍රීඩාවලට යොමු විය යුතු ය. ශිෂ්‍යත්ව විභාගය මඟින් දරුවන්ගේ මෙම වාසිදායක තත්ත්වය සම්පූර්ණයෙන්ම අවහිර කර ඇත. මේ කාලයේ දී ක්‍රීඩාවෙන් ඉවත් වන දරුවා නැවත එයට යොමුකර ගැනීම පසු කාලයක ඉතා අපහසු කාර්යයක් වනු ඇත.

ඉතා උසස් අන්දමින් ලකුණු ලබාගත් දරුවන්ද මේ විභාගය මගින් අසමත් කර ඇත

විභාග කිහිපයක ලකුණු මට්ටම් සසඳා බලන්න. අ.පො.ස සා. පෙළ සහ උසස් පෙළ විභාග ලකුණු 35 ලබා ගත් විට සමත් විය හැක. ලකුණු 50 දී සම්මාන සාමාර්ථයක් ද, ලකුණු 75 දී විශිෂ්ට සාමාර්ථයක්ද ලබා ගත හැක. වෛද්‍ය විද්‍යාල අවසාන විභාගය ලකුණු 50%න් සහ විශේෂඥ වෛද්‍ය විභාගය ලකුණු 60%න් ද සමත් විය හැක. නමුත් 5 ශිෂ්‍යත්වය විභාගයට එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 82ක් ලබාගත් ශිෂ්‍යයන් අසමත් ලෙස සැලකේ. සමහර දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු (ප්‍රශ්න පත්‍ර දෙකට ම ලබාගත් ලකුණු සංඛ්‍යාව) 164ක් ලෙස සැලකේ. ශිෂ්‍යත්ව විභාගයේ දී ප්‍රශ්න පත්‍ර දෙකටම ලකුණු 70ක් ලබාගත් විට සමත් ලෙස සැලකුව ද දෙමාපියන් විභාගය සමත් ලෙස සලකන්නේ කඩඉම් ලකුණු ප්‍රමාණය ලබාගත් විටයි. ශිෂ්‍යයන් 3,60,000ක් අතරින් සාමාන්‍යයෙන් කඩඉම් ලකුණ පසු කරන්නේ 15,000ක් පමණි. ‍

ඉතිරි ශිෂ්‍යයන් අසමත් ලෙස සමාජය මඟින් සැලකේ. මේ තත්ත්වය දරුවන්ගේ ඉදිරි අනාගතය සඳහා ඉතා අහිතකර ලෙස බලපෑම් එල්ල කරයි. අවට සමාජය හා දෙමාපියන් දරුවා දුර්වල ලෙස නම් කරන අතර දරුවා ද තමා අසාර්ථක දරුවකු ලෙස සලකා කටයුතු කිරීම ආරම්භ කරයි. තමා පිළිබඳ ඇති වන හීනමානය ඉතා අහිතකර ලෙස දරුවාගේ ඉදිරි ගමන විනාශ කර දමනු ඇත.

ආචාර්ය සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ උදාර සංකල්පය අනුව දක්ෂ උගත් සාරධර්ම සහිත පුරවැසියන් පිරිසක් ලංකාවට බිහි විය. එනමුත් ඉහත සියලු කරුණු සලකා බැලීමේ දී මෙම සංකල්ප හා පරමාර්ථ කොතරම් දුරට වර්තමානයේ ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව ක්‍රමය හරහා අසාර්ථක වී විකෘති තත්ත්වයට පත්ව ඇත්දැයි ඔබට අවබෝධ කර ගත හැක. එබැවින් දෙමාපියන් විසින් තම දරුවා ශිෂ්‍යත්ව විභාගයට යොමු කරවීමේදී ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කරවීම තුළින් දරුවාට ඇතිවන දැඩි පීඩනය පාලනය කර ගත හැකි වනු ඇත. ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවාට අධ්‍යාපනය ලබා දෙන අතර ළමා කාලයේදී දරුවාට ලැබිය යුතු වරප්‍රසාද ලබාදී සුන්දර ළමා ලෝකය රැක ගැනීමට වග බලා ගැනීම දෙමාපියන්ගේ යුතුකම වනු ඇත.

පහේ ශිෂ්‍යත්වය වාසි සහ අවාසි

වාසි

1.ජනප්‍රිය පාසලක් තෝරා ගැනීම

2. ශිෂ්‍යත්ව ආධාර ලබා ගැනීම

අවාසි

1. අධික මානසික ආතතිය නිසා මොළයට හානි සිදුවීම

2. බුද්ධි වර්ධනය හීන වීම

3.පෞරුෂත්වය දුර්වල වීම

4.ශාරීරික ආබාධ

5.සමාජීය ගැටලු

6.ආර්ථික ප්‍රශ්න

7. සාරධර්ම පිරිහීම

8.ළමා කාලය අහිමි කිරීම

පී..එම්. විජේවර්ධන
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය


නව අදහස දක්වන්න