අත්හිටවූ ණය නැවතත් | දිනමිණ

අත්හිටවූ ණය නැවතත්

විදේශයන්ගෙන් අප රටට ලැබීමට නියමිතව තිබී අත්හිටුවනු ලැබූ එක්සත් ජනපද ඩොලර් බිලියන දෙකක මූල්‍ය ප්‍රදාන හා ආධාර දිනාගැනීමේ සාකච්ඡා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවිර මහතා ප්‍රධාන රජයේ නියෝජිතයෝ මේ වන විට ආරම්භකොට ඇත.

ඒ අනුව අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී පළමු සාකච්ඡාව ඊයේ (15) ඇරඹිණි.

වසර 2016 - 2019 දක්වා ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් වාරික 66 ක් යටතේ ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබුණි. ඉන් වාරික 04 ක් අප රටට ලබා දුන් ඔවුන් 05 වැනි වාරිකය දේශපාලන අස්ථාවරත්වය මත ලබාදීම අත්හිටුවනු ලැබිණි. එය නැවත දිනාගැනීම මෙවර සාකච්ඡාවේ අරමුණ බව ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

ඊට අමතරව ජපානයේ ජයිකා අරමුදල ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබාදීම සහ සහශ්‍ර සංවර්ධන අරමුදල ඩොලර් මිලියන 450 ක මුදලක් ලබාදීම අත්හිටුවා ඇත. ඒවා නැවත දිනාගැනීමට මංගල සමරවීර මහතා ප්‍රමුඛ රජයේ නියෝජිතයෝ මේ දිනවල විදේශීය ආයතන සමඟ සාකච්ඡා සිදුකරන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කෙළේය.

එපමණක් නොව ඉකුත් ඔක්තෝබර් 26 වැනිදායින් පසු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණි පහත දැමූ බව පැහැදිලි කළ රාජ්‍ය ඇමැතිවරයා, ඒවා නැවත යථා තත්ත්වයට පත්කරළීම මේ සාකච්ඡාවල අරමුණ බව ද කීය.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න