මධ්‍යම අධිවේගය 2020 දී අවසන් | දිනමිණ

මධ්‍යම අධිවේගය 2020 දී අවසන්

ශ්‍රී ලංකාවේ ජාතික මාර්ග පද්ධතියට අලුතින්ම එකතුවන මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් සියල්ල නිමාකොට ලබන වසරේදී එය ජනතා අයිතියට පත්කිරීමට රජය බලාපොරොත්තු වේ.

කඩවත සිට දඹුල්ල දක්වා කොටස් 04ක් යටතේ ඉදිකිරීම් ඇරඹී තිබෙන මේ මාර්ගයේ මේවනවිට සියයට 50ක ඉදිකිරීම් සිදුකොට ඇත.

වසර 2017 සිට 2020 කාලය තුළ ඉදිකිරීම් මුළුමනින්ම නිමාකොට රටවැසි ජනතාවට ගමන් පහසුව සැලැසීමේ අරමුණින් ක්‍රියාත්මක මේ ව්‍යාපෘතිය පිළිබඳව කෙටි සමාලෝචනයකි මේ.

බස්නාහිර පළාතේ කොළඹ ප්‍රධාන නගරයේ සිට මධ්‍යම පළාතේ අගනගරය වන මහනුවර හා පෞරාණික වටිනාකමකින් යුතු ආර්ථික වැදගත්කමක් සහිත දඹුල්ල නගරය වෙත ගමනාගමන පහසුකම් වැඩි දියුණු කිරීම ඉලක්කකොට මේ මාර්ගය ඉදිකැරේ.

මෙය අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලින් සමන්විත ප්‍ර‍ෙද්ශ මාර්ග හරහා පාලනය වන අධිවේගි මාර්ගයකි. අදියර හතරක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන හා ඛණිජ තෙල් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.

කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක්, මීරිගම සිට කුරුණෑගල දකවා කිලෝමීටර් 39.29ක්, පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.5ක් සහ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.3ක් ලෙස කොටස් 04ක් ක්‍රියාත්මක වේ.

දේශීය හා විදේශීය දෙඅංශයේම මුදල් ලැබීම් මත මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 2වන කොටස

ව්‍යාපෘති පසුබිම

මෙම අදියර යටතේ කිලෝමීටර් 39.29 ක දුරක් අධිවේගී මාර්ග ඉදිකිරීමේ කටයුතු සිදුකෙරේ. පාරිසරික හා සමාජීය බලපෑම අවම වන පරිදි යෝජිත ඉදිකිරීමේ මාර්ග පථය නාගරික ප්‍රදේශ මඟහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් ගනී. මෙම අධිවේගී මාර්ග මංතීරු 4කින් යුක්තව මුදල් ගෙවීමේ කවුන්ටර් සහිත ප්‍රවේශ ස්ථාන ලෙස මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4ක් යටතේ ක්‍රියාත්මක වේ. මීට අමතරව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 3 වන කොටස යටතේ ඉදිකිරීම් කටයුතු සිදුකරන පොතුහැර හුවමාරුව (pothuhera System Interchange) අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා වාහන නුවර - කුරුණෑගල හා කොළඹ දෙසට හුවමාරු වීමට ඇති පහසුකම් සලසා දේ. ඉදිකිරීම් ක්‍රියාත්මක කිරීමේදී කොන්ත්‍රාත් පැකේජ 4ක් යටතේ (A, B, C, D) එක් පැකේජයකට දළ වශයෙන් කිලෝමීටර් 10ක් පමණ වන සේ වෙන් වෙන්ව කොන්ත්‍රාත් පිරිනමා ඇත. ජාතික තරගකාරී මිල කැඳවීම් ක්‍රියාවලිය යටතේ දේශීය කොන්ත්‍රාත්කරුවන්ගෙන් මූලික හවුල් ව්‍යාපාර 4ක් යටතේ තරගකාරී මිල කැඳවීම් මඟින් ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවද දේශීය උපදේශන හවුල් ව්‍යාපාරය වෙත උපදේශන කෙන්ත්‍රාත්තුවද පිරිනමා ඇත. මෙම ව්‍යාපෘතියේ සිවිල් ඉංජිනේරුමය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් පිරිනැමීම රු. බිලියන 137.1ක්ද උපදේශන කොන්ත්‍රාත් සඳහා රු. 2,243,400,892.00 සහ ඇ. ඩොලර් 5,861,284.00ක්ද ලෙස මුළු ව්‍යාපෘති වියදම රු. බිලියන 160.8 (බදු රහිත) ක් පමණ වෙතැයි අපේක්ෂා කෙරේ. මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘති කොටසේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආයතනය ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරන අතර කිලෝමීටර් 40ක් පමණ වන මෙම කොටසේ ඉදිකිරීම් සඳහා වූ මාස 30ක කොන්ත්‍රාත්තුවක් ලෙස 2017 ජනවාරි මාසයේ සිට ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර 2019 ජූලි මාසය වන විට ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

තාක්ෂණික විශේෂාංග

අධිවේගී මාර්ග ඉහළින් ගමන් කරන විශාල ප්‍රමාණයේ පාලම් 12ක්, අධිවේගී මාර්ගය ඉහළින් හා පහළින් ගමන් කරන කොටස් 42 ද, බෝක්කු 130ක්ද සම්පූර්ණයෙන් ගත් කල මීටර් 10,421ක් වන කොන්ක්‍රීට් කනු මත දිවෙන මාර්ග කොටස් 36කින් සමන්විත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකි. කිලෝමීටර් 39.29ක මාර්ග කොටසක් සඳහා ඉහත පරිදි මහජනයාගේ පහසුව හා සිදුවිය හැකි පාරිසරික බලපෑම් අවම වන පරිදි එනම් අධිවේගී මාර්ගය ඉදිකිරීම හේතුවෙන් ජල ගැලීම් වැනි තත්ත්වයන් ඇතිවීම අවම වන අකාරයට ක්ෂේත්‍රය කළමනාකරණය සිදුකර ඇත්තේ ශක්‍යතා අධ්‍යයනයන්ට අමතරව ප්‍රදේශයේ මහජනතාවගේ ද අදහස් සැලකිල්ලට ගනිමිනි.


නව අදහස දක්වන්න