Huawei ආදායම ඇම.ඩොලර් බිලියන 108.5 ඉක්මවයි | දිනමිණ

Huawei ආදායම ඇම.ඩොලර් බිලියන 108.5 ඉක්මවයි

අභියෝග රැසක් මධ්‍යයේ වුව ද Huawei සමාගමේ 2018 වසරේ අපේක්ෂිත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 108.5ක් බවත් එය 21%ක වසරින්-වසර වර්ධනයක් බවත් එම සමාගමේ වත්මන් සභාපති ගුවෝ පිං මහතා අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ලොව ප්‍රමුඛ පෙළේ දුරකථන සේවා සමාගම් සමග 2018 වසර තුළ 5G සඳහා වාණිජ ගිවිසුම් 26ක් අත්සන් කළ Huawei සමාගම 5G පදනම් කර ගත් මධ්‍යස්ථාන 10,000කට අධික ප්‍රමාණයක් බෙදාහැර ඇත. ලොව පුරා නගර 160කට අධික ප්‍රමාණයක් ද Fortune Global 500 සමාගම් අතරින් සමාගම් 211ක් ද සිය ඩිජිටල් පරිනාමණයේ සහකරු ලෙස Huawei සමාගම තෝරාගෙන ඇත. Huawei සමාගම ලොව පුරා අලෙවි කර ඇති ස්මාර්ට් ජංගම දුරකථන ප්‍රමාණය මිලියන 200 ඉක්මවන අතර කාණ්ඩ 18ක් යටතේ 140කට අධික ක්ලවුඩ් සේවා ප්‍රමාණයක් ද ස්ථාපනය කර ඇත.

ගෙවුණු වසරේ ලද දැවැන්ත සාර්ථකත්වය සමගින් 2019 වසර තුළ ද තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසක් සිදු කිරීමට Huawei සමාගම බලාපොරොත්තු වන බවත් එහිදී ද අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවත්, එම අභියෝග සඳහා ද සාර්ථකව මුහුණදීමේ හැකියාව තම සමාගම සතු වන බවත් ගුවෝ පිං මහතා එම පණිවිඩයෙහි වැඩිදුරටත් දක්වා තිබිණ.

2019 වසරේදී පාරිභෝගික සුරක්ෂිතතාව සහ සයිබර් ආරක්ෂණය සඳහා තවදුරටත් ආයෝජනය කිරීමට තමන් අපේක්ෂා කරන බවත්, ඒ සඳහා සිය මෘදුකාංග ඉංජිනේරු හැකියා තවදුරටත් පුළුල් කරන බවත් ඒ මහතා සඳහන් කර සිටී. මේවන විට ලොව පුරා රාජ්‍යයන් 170කට අධික ප්‍රමාණයක පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගැනීමට Huawei සමාගම සමත්ව සිටින බවත්, එම සමාගම කිසි කලෙකත් පාරිභෝගිකයන්ගේ සයිබර් ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවටත් අවධාරණය කර සිටී.

"අපගේ ව්‍යාපාරික කාර්යසාධනය ඉදිරියටත් ශක්තිමත්ව ගමන් කරන අතර එම කාර්යසාධනය අපගේ පාරිභෝගිකයන්ගෙන් අප ලද සෘජු තක්සේරුව ලෙස අප සලකනවා. අපට මුහුණ පෑමට සිදුවූ වෙළඳපල අවහිරතා සඳහා අපට සාර්ථකව මුහුණදීමට හැකිවූයේ ද එම පාරිභෝගික ජනතාව නිසයි. පාරිභෝගිකයන්, හවුල්කරුවන් සහ පොදු ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසයට මාගේ කෘතඥතාව පළ කිරීමට කැමතියි. එමෙන්ම අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සහයෝගය සහ අවබෝධය ද අපගේ සාර්ථකත්වය සඳහා බෙහෙවින් ඉවහල් වුණා. ඉදිරියේදී කෙතරම් වෙනස්වීම් වලට මුහුණදීමට සිදු වුව ද අපගේ ප්‍රසම්පාදන ක්‍රමෝපාය නොවෙනස්ව පවත්වාගෙන යනවා. විශේෂයෙන් අපගේ එක්සත් ජනපද සැපයුම්කරුවන් සඳහා අපගේ ප්‍රතිපත්ති නොවෙනස්ව පවත්වා ගැනීමට බලාපොරොත්තු වනවා" යනුවෙන් ඒ මහතා සිය පණිවිඩයෙහි වැඩිදුරටත් දක්වා ඇත.

හසිත කැකුලාවල

නව අදහස දක්වන්න