අනාගත අයිතිය දරුවන්ට | දිනමිණ

අනාගත අයිතිය දරුවන්ට

පුද්ගලයකුගේ ජීවිතයේ වටිනාම කාලය පාසල් අවධියයි. අවුරුදු 5 සිට 18 දක්වා කාල සීමාව පාසල් අවධියට අයත් වේ. ළමා විය, නව යොවුන් විය, මෙන් ම යොවුන් විය ආරම්භය දක්වා ම දරුවන් ජීවිතයේ වැඩි කාලයක් පාසල තුළ ගත කරන බැවින් පාසල් අවධිය පුද්ගලයකුට වඩාත් වැදගත් වෙයි. නව යොවුන් විය යනු සංක්‍රාන්ති සමයකි. මෙම සංක්‍රාන්ති සමය පසු කරමින් ළමා වියෙන් නව යොවුන් වියට එළඹීමේ දී ලෙස කායික, මානසික වර්ධනය ශීඝ්‍ර සිදු වේ.මෙය සැබවින්ම ස්වභාවික ක්‍රියාවලියකි. මෙම ස්වභාවික ක්‍රියාවලිය තුළ වෙනස්වීම්වලට මුහුණ දෙමින් පරිපුර්ණ පෞරුෂයකින් යුක්ත ව වැඩිහිටියකු ලෙස සමාජගත වීම සඳහා යහපත් ආකල්ප සහ පුරුදු, විවිධ අත්දැකීම් ලබා ගන්නේ පාසල් අවධිය තුළදී ය.

පාසල් අවධියේ පසුවන දරුවන් මව්පියන්ගෙන් යැපෙන අතර දරුවන් ජීවත් වීම සඳහා අවශ්‍ය පොදු කුසලතා විධිමත්ව මෙන් ම අවධිමත්ව පාසලෙන්, මව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් සහ සමවයස් කණ්ඩායම් තුළින් ලබා ගනී. ඒ අනුව ඔවුන් ගතානුගතික පාරම්පරික දැනුම,දේශීය දැනුම ලබා ගන්නා අතර ස්වයං ආත්ම කථනය තුළින් අලුත් ආකාරයකට සිතීමට පෙළෙඹේ. නමුත් වර්තමානයේ වාර්තා වන්නේ පාසල් අධ්‍යාපනයෙන් පසු නව යොවුන්වියට එළඹෙන්නන් තුළ ජීවත් වීමේ කුසලතා ( Life Skills ) දුර්වල මට්ටමක පවතින බව ය.

ජීවන කුසලතා

විසි එක්වන සියවසේ සාර්ථකව ජීවත් වීම සඳහා සන්නිවේදන හැකියාව, ගැටලු විසඳීමේ හැකියාව, පවත්නා තත්ත්වය හා වෙනස් වීම්වලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව මෙන් ම ඒ අනුව හැඩගැසීම, ආතති කළමනාකරණය, ආවේග, චිත්තවේග පාලනය, නායකත්වය හා වගකීම් දැරීම, නායකත්වය පිළිගැනීම, කණ්ඩායම් සමාජිකයකු ලෙස සාර්ථකව කටයුතු කිරීම, තමාගේ වගකීම් ඉටු කිරීම, සංවේදී වීම,සමාජයේ විවිධ කොටස් සමඟ සංහිඳියාවෙන් ජීවත් වීම, ආත්මාර්ථකාමී නොවී පරාර්ථකාමී ව එකිනෙකාට උදව් කිරීම යනාදී ‍ වශයෙන් යහපත් ජීවන කුසලතා වර්ධනය කර ගැනීම අවශ්‍ය වේ.

බටහිර රටවල් මෙන් නොව අප රටේ පැරණි සමාජයේ සිටම පවුලේ සමාජිකයන් අතර බැඳීම ශක්තිමත් ය. පවුල තුළ බැඳීම, ආදරය, පවුලේ අනෙක් අය පිළිබඳ සොයා බැලීම, යනාදිය අපේ සංස්කෘතිකමය ලක්ෂණ වේ. නමුත් වර්තමානය වන විට පවුල් පරිසරය පෙරට වඩා වෙනස් ය. අපේ දරුවන්ට තම පවුලෙන් ලැබෙන යහපත් චර්යා ලක්ෂණ සහ පුරුදු ඇති වීම අඩු වී තිබේ. අද වන විට දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් පීඩාකාරී තරඟයකට පිවිසීම මෙයට එක් හේතුවකි. දරුවන් මෙන් ම මව්පියන් සහ ගුරුවරු ද මේ තරගකාරී අධ්‍යාපන ක්‍රමයේ කොටස්කරුවන් බවට පත් ව ඇත. ‍මේ හේතුවෙන් අධික ලෙස පීඩා විඳින්නේ පාසල් දරුවන් ය. ඒ හේතුවෙන් මානසික සෞඛ්‍ය පිරිහීම ප්‍රධාන වශයෙන් සිදුවේ වේ. පාසල් දරුවන් යාන්ත්‍රික ජීවන රටාවකට කුඩා කාලයේ පටන් ම ගොදුරු වීම දක්නට ලැබේ. දරුවන්ට හොඳ නින්දක්, නියමිත වෙලාවට ආහාර වේලක්,සුදුසු ව්‍යායාම, සැනසිලිදායක පරිසරයක් නොමැතිව ජීවිත අඳුරු වී ඇත.මෙම දැඩි තරගකාරීත්වය නිසා දරුවන්ට ක්‍රීඩා කිරීමට පවා අවස්ථාවක් නොලැබේ. ආගමික, සංස්කෘතික උත්සවවලට සහභාගීවීමට අසල්වැසියන්, ඥාති හිතමිතුරන් මුණගැසීමට පවා ඉඩ නොලැබේ. එපමණක් නොව දරුවන්ට ස්වභාවික පරිසරය සමඟ ගැටෙමින් සතුට අත්විඳීමට පවා වේලාවක් නොමැති තත්ත්වයක් දක්නට ලැබේ.

දරුවන් විනෝදය සඳහා හෝ තනිකම මඟ හරවා ගැනීම සඳහා තමන්ගේ සම වයස් කණ්ඩායම් ඇසුරට යොමු වන අතර සමහර අවස්ථාවල දී වැරදි ක්‍රියාවලට පවා යොමු වේ. පාසලේ දී අවශ්‍ය කරන පිළිගැනීම නැති වීම, සාධනය අඩු වීම නිසා පවුලෙන් අයහපත් ප්‍රතිචාර ලැබීම සිදුවේ. මේ නිසා ඔවුන් ඇතැම්විට දුම් බීම, මත්ද්‍රව්‍ය භාවිතය, නොයෙකුත් විනය විරෝධී ක්‍රියාවලට පෙළඹේ. මුදල් සොයා ගැනීමේ අභිලාෂයෙන් නීති විරෝධී ක්‍රියා සහ සොරකම් කිරීමට ද පෙ‍ළඹීම නිසා පසුකාලීනව නොයෙකුත් ගැටලුවලට ද මැදි වී අවසානයේ සමාජ විරෝධී කණ්ඩායම්වලට එකතු වීමෙන් ඔවුන්ගේ අනාගතය සම්පූර්ණයෙන් ම අඳුරු වේ.

ජීවිත සංවිධානය

ළමා විය යනු පුද්ගලයකුගේ ජීවිතයේ සුන්දර, නිදහස් කාලපරිච්ජේදයකි. එයට පසුව එළඹෙන්නේ අභියෝගවලට මුහුණ දෙන අවධියකි. එම නිසා එම සුන්දර ළමා අවධිය, දරුවන්ට රිසි සේ අත්විඳීමට නොලැබීම අභාග්‍යසම්පන්නය. වයසින් වැඩෙත්ම නිරන්තර වෙනස්වීම්වලට මුහුණ දෙමින් ජීවත් වීමේ සංකීර්ණ බව වැඩි වේ. එම නිසා නව යොවුන්වියට මෙන් ම යොවුන් වියට එළඹෙන විට විවිධ අභියෝගවලට මුහුණ දීම සදහා කුඩා කාලයේ සිට ම ජීවිතය සංවිධානය කර ගැනීමට පුරුදු පුහුණු විය යුතු ය‍. මෙහි දී චිත්ත‍වේග පාලනය, නිවැරදි තීරණ ගැනීමට හුරු කිරීම ඉතාම වැදගත් ය. මනෝවිද්‍යාත්මක සලකා බැලීමේ දී චිත්තවේග විශාල ප්‍රමාණයක් තිබේ. සරලව ගත් විට, සතුට, කෝපය, දුක, බිය, විස්මය, අපේක්ෂාභංගත්ව හැඟීම, උද්‍යෝගය, බලාපොරොත්තු තබා ගැනීම, වේදනාව, යනාදිය දැක්විය හැකි ය. පුද්ගලයකුගේ ජීවිතයේ දී මෙම චිත්තවේග ධනාත්මකව මෙන් ම සෘණාත්මකව බලපායි. සතුට, උද්‍යෝගය ධනාත්මක වශයෙන් බලපාන අතර, බිය, ශෝකය, කෝපය, දුක, වේදනාව, අපේක්ෂාභංගත්ව හැගීම් සෘණාත්මකව බලපායි.

දුක, ශෝකය යන චිත්තවේග නිසා පුද්ගලයා සමාජය තුළ තනි වේ. උදාහරණ වශයෙන්‍ යම් පුද්ගලයකු සිනාසෙන විට එම පුද්ගලයා සමඟ සිනා වීමට පිරිස සිටීමත්, එම පුද්ගලයා හඬන විට එම පුද්ගලයා සමඟ හැඬීමට කිසිවකු නොසිටීමත් පෙන්වා දිය හැකි ය. මෙසේ සමාජයේ තනිවීම තුළ දැඩි ආතතියට පත්වීම නිසා ආවේග පාලනය කර ගැනීමට නොහැකිව පුද්ගලයකු ඉක්මන් තීරණ ගැනීමට පෙළ‍‍ඹේ. මේ තත්ත්වය දීර්ඝ කාලයක් පැවතුණහොත් පුද්ගලයා මානසික පීඩනයට සහ ආතතියට පත් ව, චර්යාමය ලක්ෂණ වන සමස්ත පෞරුෂය පවා වෙනස් වීමට ලක් වේ. මෙහි දී විනාශකාරී හැඟීම් ඇති වී, තමන්ව විනාශ කර ගැනීමට මෙන් ම අනෙකුත් සමාජයේ විනාශකාරී ක්‍රියාවන් සිදු කිරීමට පෙළෙඹේ. ‍පුද්ගලයකුගේ චිත්තවේග පාලනය කර ගැනීමට හැකි වන්නේ තමන්ගේ හැකියා, අත්දැකීම් තුළින් චිත්තනය සුබවාදීව හැසිරවීම මඟිනි. මේ සඳහා වැඩිහිටියකුගේ උදව් අවශ්‍ය විය හැකි අතර සවන්දෙන්නකු මඟින් ඉතා ඉක්මනින් ප්‍රකෘති තත්ත්වයට ගත යුතු ය. පුද්ගලයකුගේ මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා සෞන්දර්යාත්මක වින්දනයට, සමාජ කටයුතුවල යෙදීමට, ක්‍රීඩා ආදී පොදු කටයුතුවල යෙදීමට අවස්ථාව සලසා දිය යුතු ය. එමෙන් ම සම වයස් කණ්ඩායම්වල සුබවාදී ඇසුරක් ද ඔවුනට අවශ්‍ය වේ.

පාසල් විෂය නිර්මාණය වී තිබෙන්නේ සමබර පෞරුෂ වර්ධනය සිදු වීමට හැකි වන පරිදි ය. මොළයේ වම් පස සහ දකුණු පස සමබරව වර්ධනය වී ක්‍රියාත්මක වන ආකාරයට පාසල් පාඨමාලාවට විෂයයන් ඇතුළත් කර තිබේ. මොළයේ වම්පස ගණිත, මිණිත, තර්කානුකූල, විශ්ලේශණාත්මක කාර්යයන් සඳහාත්, මොළයේ දකුණු පස වින්දනාත්මක, සෞන්දර්යාත්මක, ක්‍රීඩා වැනි චාලක කාර්යයන් සඳහාත් ක්‍රියාත්මක වේ. පාසල් විෂය මාලාව තුළ මොළයේ දෙපසම සමබරව ක්‍රියාත්මක වන පරිදි විවිධ විෂයයන් දරුවන්ට හැදෑරීමට අවස්ථාව ලබා දී තිබේ. ඒ සමඟම සාරධර්ම, අගය පද්ධතීන් දියුණු කර ගැනීමට අවස්ථාව සැලසේ. මේ අනුව පාසල් විෂය මාලාව තුළින් පුර්ණ පෞරුෂයක් අත්කර ගැනීමට අවස්ථාව ඇති කර තිබේ .

සමබර පෞරුෂය

එළඹෙන විෂය මාලා සංශෝධන තුළින් අපි තව දුරටත් දරුවන්ගේ සමබර පෞරුෂය වර්ධනයට, ජීවන කුසලතා අත්පත් කර ගත හැකි චර්යාමය වෙනසකට පාසල තුළින් හොඳ අත්තිවාරමක් දැමීමට බලාපොරොත්තු වෙමු.

දරුවන්ගේ සෑබැ දක්ෂතා, ළැදියා හදුනාගෙන , ඒ අනුව ඔවුන්ගේ අනාගතය සැලසුම් කරගත හැකි පරිදි ඔවුන්ගේ තෝරා ගැනීම්වලට ඉඩ ලබා දිය යුතු ය. සාමාන්‍යයෙන් පාසලේ ප්‍රාථමික, ද්වීතියික, අවධියේ දී සිසුන් සඳහා පොදු විෂය මාලාවක් ක්‍රියාත්මක වේ. ජ්‍යෙෂ්ඨ ද්වීතියික අවධිවල දී ඔවුන්ගේ තේරීම පරිදි විශේෂ විෂය මාලාවකට යොමු වේ. වර්තමාන විෂය මාලාව බොහෝ විට ශාස්ත්‍රීය අංශයට වැඩි බරක් දී තිබෙන බව පිළිගත යුතු ය. ප්‍රායෝගික දක්ෂතා ලබා ගන්නට දරුවන්ට තිබෙන්නේ සීමීත ඉඩකඩකි. ඇත්ත වශයෙන් ම පවතින විභාග ක්‍රමය හේතුවෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට සිසුන් යොමු වන්නේ නැත. මෙහි දී සිදු වන්නේ විෂය සන්ධාරයට ප්‍රමුඛත්වය ලබා දීමය. එම විෂය සන්ධාරය පාසලේ දී හෝ පෞද්ගලික පන්ති මගින් සම්පූර්ණ කරගෙන විභාග සඳහා සූදානම් වී ඉහළ ප්‍රතිඑල ලබා ගැනීමට දරුවන් පෙළඹෙන බැවින් වර්ධනය විය යුතු ප්‍රයෝගික හැකියා, බලාපොරොත්තු වන ආකාරයෙන් ම දරුවන් තුළ වර්ධනය වන්නේ නැත. දරුවන් ශාස්ත්‍රීය වශයෙන් දැනුම අත්පත් කර ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙමින්, එම ගබඩා කර ගන්නා දැනුම, විභාගවලදී මුදා හැරීමට යොමු වී සිටී. අනාගත වෘත්තියකට හෝ අනාගත කාර්යයන් සඳහා අවශ්‍ය කරන හැකියා සහ ආකල්ප, විශේෂයෙන්ම වැඩ ලෝකය පිළිබඳ හොඳ ආකල්ප සිසුන් තුළ වර්ධනය වීම අඩු වීම නිසා වැඩ ලෝකයට ගැළපෙන පරිදි වෘත්තිකයන් බවට පත්වීමේ දී ඔවුන් තුළ අඩුපාඩුකම් දක්නට ඇත.

වෘත්තීය මාර්ගා්පදේශය

පොදු විෂය මාලාවක් හැදෑරීම තුළ එක් එක් සිසුවාගේ විවිධ විශේෂිත හැකියා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැත. උසස් අධ්‍යාපනය සඳහා පවතින තරගයේ දී, අත හැරෙන්නන්ට තම අනාගතය සාර්ථක කර ගැනීමට විකල්ප ක්‍රමවේද මේ දක්වා නොපැවතුණි. ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව වෘත්තීය විෂයමාලාව ඔස්සේ නියාමන මට්ටමින් 12 සහ 13 ශ්‍රේණිවල ආරම්භ කළ වෘත්තීය විෂය ධාරාව සමග වෘත්තීය විෂය 26 ක් ජ්‍යෙෂ්ඨ ද්වීතියික අවධියට හඳුන්වා දීම තුළින් දරුවන්ට තම අනාගත වෘත්තියකට පිවිසීමට අවශ්‍ය කරන ප්‍රායෝගික හැකියා, දැනුම් පදනම තුළ ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ. දහතුන් වසරකට සහතික කරන ලද මෙම අධ්‍යාපන වැඩසටහනට එකතු වන සිසුහු ප්‍රථමයෙන් පොදු විෂය සංරචකයන් ඔස්සේ පහත දැක්වෙන පොදු කුසලතා සමග වෘත්තීය මාර්ගෝපදේශය ද ලබා ගනිති.

*සන්නිවේදන කුසලතා ( සිංහල / දෙමළ)

*ව්‍යාපාර ඉංග්‍රීසි හා සන්නිවේදන කුසලතා

*සෞන්දර්යාත්මක රසවින්දන කුසලතා

*තොරතුරු හා පරිගණක තාක්ෂණය

*පුරවැසිභාවය ආශ්‍රීත කුසලතා

*සමාජ යහපැවැත්ම උදෙසා කුසලතා

*සෞඛ්‍ය හා ජීවන කුසලතා

*ව්‍යවසායකත්ව කුසලතා

තව ද වෘත්තීය විෂය ක්ෂේත්‍ර 07 ක් ඔස්සේ , වෘත්තීය විෂය 26 කට අදාළ දැනුම සහ ප්‍රයෝගික කුසලතා ද ලබා ගනී. එම වෘත්තීය ක්ෂේත්‍ර වනුයේ,

*සෞඛ්‍ය හා සමාජ සේවා

*සමාජ - සංස්කෘතික අධ්‍යයනය

*නිර්මාණකරණය

*පරිසර ආශ්‍රීත අධ්‍යයනය

*කෘෂි හා ආහාර තාක්ෂණවේදය

*තාක්ෂණික අධ්‍යයනය

*සංචරණය හා ආගන්තුක සත්කාරය

වෘත්තීය විෂයය හැදෑරීමේ දී පාසලේ දී ලබා ගන්නා දැනුම පදනම් කරගත් ප්‍රායෝගික කුසලතාවලට අදාළව සිසුන් කර්මාන්තශාලාවල දී ප්‍රායෝගික පුහුණුවකට යොමු කරනු ලැබේ. අපොස සාමාන්‍ය පෙළ අවසන් කර, ජ්‍යෙෂ්ඨ ද්වීතීයක මට්ටමේ ශාස්ත්‍රීය විෂය ධාරාවට ඇතුළත් වීමට සුදුසුකම් නොලබන එමෙන් ම පාසලෙන් ගිලිහී, අනාගත වෘත්තියකට ඇතුළත් වීමට හැකියාව නොලබන සිසුන් විශාල පිරිසකට මෙමගින් ඉතා හොඳ අනාගතයක් උදා වේ. මෙම සිසුන්ට වෘත්තීය විෂය ධාරාව හදාරා අවසානයේ දී සහතිකයක් පිරිනැමෙන අතර ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ 04 වන මට්ටම ( NVQ Level 4 ) ලබා ගැනීමේ හැකියාව පවතී. මේ සියල්ල සලකා බැලීමේ දී නව විෂය මාලා සංශෝධන තුළින් ශ්‍රී ලංකාවේ සෑම දරුවකුටම තමන්ගේ දක්ෂතාවයන් සහ ලැඳියාවන්ගෙන් අනාගතය සාර්ථක කර ගැනීමට අවස්ථාව ලැබෙන බව පෙන්වා දීමට පුළුවන.

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න