පරිවර්තන කාර්යය හරි ම තෘප්තිමත් | දිනමිණ

පරිවර්තන කාර්යය හරි ම තෘප්තිමත්

චිත්‍රා අමරසේකර

මේ කෘති මාලාව පරිවර්තනය සඳහා තෝරා ගැනීමට මුල් වූ හේතුව කුමක්ද?

විශ්‍රාමික ගුරුතුමියක් විදිහට මම බොහෝවිට කෘති ලියන්නෙත්, පරිවර්තනය කරන්නෙත් කුඩා දරුවන් සම්බන්ධයෙන්. පොඩි ළමයි වෙනුවෙන් ලියන්න මම බොහොම කැමැතියි. කලකට ඉහතදී, මැදපෙරදිගින් අමෙරිකාවට සංක්‍රමණය වුණු යුදෙව් පවුලක් වටා ගෙතුණු , සිඩ්නි ටේලර් විසින් රචනා කළ ඉංග්‍රීසි කෘති මාලාවක පරිවර්තනයක් විදිහට තමයි “එක ඉත්තක මල්” කෘති මාලාව පරිවර්තනය වුණේ. මේ කතා මාලාව, ඉතා ම රසවත්. පුංචි දරුවන්ට සතුට, දැනුම ගෙනෙන අපූර්ව කතා මාලාවක් විදිහටත් මෙය හඳුන්වන්න පුළුවන්. මා හිතවත් දිනූෂි මිතුරියයි මට මේ කෘතිය පරිවර්තනය කරන්න කියලා යෝජනා කළේ. මම වැඩිපුරම කෘති පරිවර්තන කරන්නෙ සමයවර්ධන පොත් ප්‍රකාශන ආයතනයටයි. ඒ අනුව, මේ කෘති මාලාව ප්‍රකාශයට පත් කෙරුණා.

මේ කතා මාලාව කොටස් පහකින් සමන්විතයි. ඒ පිළිබඳ කතා කළොත්?

“සිහින දකින චාලට්” කෘතිය හතර වැනි කොටසයි. පස් වැනි කොටසත් මේ වන විට පරිවර්තනය කරලා අවසානයි. ළඟදිම ඒ පොතත් පාඨකයන්ට රසවිඳින්න අවස්ථාව ලැබෙයි. “ලොකු අක්කා එලා”, “දඟකාර හෙනී”, “කල්පනාකාරී සාරා” කියන මෙහි පළමු වැනි, දෙවැනි සහ තෙවැනි කොටස් මම මින් පෙර පරිවර්තනය කළා. මේ කතා මාලාවේ එක් එක් කොටස් නම් කෙරෙන්නේ, කලින් මා කියූ යුදෙව් පවුලේ දරුවන්ගේ නම්වලින්. පළමු වැනි දරුවා එලා. ඇගේ නමින් පළමු කොටසට නම යොදන්නේ “ලොකු අක්කා එලා” කියලයි. දෙවැනියා බොහොම දඟකාරයි. ඒත් කෙළින් වැඩ කරන කෙනෙක්. ඇය හරි ම අමුතු විදිහේ චරිතයක්. ඇය වෙනුවෙන් දෙවැනි පොත නම් කළේ , “දඟකාර හෙනී” නමිනුයි. තුන්වැනි දියණිය අනුන්ට උදවු කරන්න බොහොම කැමැති, නිතරම දුරදිග හිතලා යමක් කරන කියන කෙනෙක්. ඇය සාරා. ඒ නිසා ම, තුන් වැනි පොත “කල්පනාකාරී සාරා” නමින් පාඨකයන් අතට පත් වෙනවා. මේ පවුලේ හතර වැනි දරුවා තමයි චාලට් කියන්නෙ. ඇය නිතරම සිහින මවාගන්නියක්. ඒ හේතුව නිසා, “සිහින දකින චාලට්” යන නම හතර වැනි පොතට යෙදුවා. පස් වැනි කෘතිය මම නම් කළේ “පුංචිම නංගී ගර්ටි” නමින්. ඒ පොතත් ළඟදීම මුද්‍රණය වීමට නියමිතයි.

මේ කෘතිවල එන සහෝදරියන්, වරෙක බාධක අතරින් ඉදිරියට ගමන් ගන්නා සුන්දර දරුවන්. ඒ ගැන ඔබේ මතය මොකක්ද?

පවුල කියන කුඩාම සමාජ ඒකකයයේ සාමාජිකයන් වෙන්නේ මවුපියන් හා දූ දරුවන්. පවුලක සාර්ථකත්වය හා සුන්දරත්වය රඳා පවතින්නේ මිල මුදල, තරාතිරම්, යාන වාහන, ගේ දොර, ඉඩකඩම් ආදී භෞතික සම්පත් මත නෙමෙයි. අන්‍යෝන්‍ය වශයෙන් පවතින යහපත් මානව සම්බන්ධතා මතයි. මේ සොඳුරු පවුලේ දරු දැරියන් සිතන පතන, කරන කියන දෑ ඇසුරින් , විටෙක නිසසලව, විටෙක සසලව, තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින්, හිටිහැටියේ ඉවුරු තළාපෙළා ගෙන ගලා බසින ගඟක් ව ෙග් මේ කතා පෙළේ සිද්ධි දාමය ගලා බසිනවා.

දෙවැනි දියණිය හෙයිනිගේ තක්කඩිකම් විටෙක පවුලේ ඇත්තන් අපහසුතාවට පත් කරනවා. එහෙත් ඒවා සුන්දරයි. වින්දනාත්මකයි.

තෙවැනි දියණිය සාරාගේ කතාවේ එන සාරා, කවදත් බුද්ධිමත්ව කටයුතු කරනවා. ඇය තමන් ඉතා කැමැති දෙයක් වුණත්, අන් අයගේ සතුට හා යහපත ‍උදෙසා තිලිණ කිරීමට පසුබට වෙන්නේ නෑ. ඒ, ඈ තුළ පවතින උතුරා යන දයානුකම්පාව නිසයි.

සිව්වැනි මල් කැකුළ චාලට් සිහින ලෝකයේ සැරිසැරුවත්, ඇය හරි ම අවංකයි. එඩිතරයි.මේ කෘතියේ එන 'කරදරකාරී නිකල් කාසිය' කතා පිංච, ඇගේ අවංක බවට කදිම නිදසුනක්.

“එක ඉත්තක මල්” කතා මාලාවට රසිකයන් අතර ඇති ඉල්ලුම කොයි වගේද?

දුරකථනයෙන් කතා කරලා ප්‍රතිචාර දක්වන බොහෝ දෙනෙක් කියන්නෙ, ළමයින් අතරේ යහපත් ගතිගුණ සහ ආකල්ප වර්ධනය වීමට ඒ පොත් මාලාව බොහෝ දුරට උදවු වෙන බවයි. මේ කතාවේ එන යුදෙව් පවුල අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. ඒ වගේම ඒ අයගේ සිතුම් පැතුම්, ආගමික වතාවත්, සිරිත් විරිත් හරි ම අමුතුයි. කෑම බීම, ඇදැහිලි විශ්වාස පවා අපේ සංස්කෘතියට හාත්පසින් වෙනස්. අපි ලෝකයේ අපට වඩා වෙනස් සංස්කෘති ඇති මිනිසුන්ටත් ගරු කරන්න ඕනැ. ඒ වෙනස් සංස්කෘතිවල ඇති දේ ගැන දැනගන්න ඕනෙ.ඒ වගේම මොනයම් හෝ ආගමකින් වුණත් උගන්වන හොඳ දෙයක් තියෙනවා නම්, ළමයින් ඒ දේ අනුගමනය කරන එකේ වරදක් නෑ. මේ කතාවේ සඳහන් වෙන පවුලෙ උදවිය හරි ම එකමුතුයි. දරුවන්, මවුපියන්ට බොහොම ආදරෙයි. මාපියෝ දෙන්නා අතරෙත් තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. එවැනි දේ තමයි අපි අපේ දරුවන්ට කියවන්න දෙන්න ඕනෙ. ඒකයි මම ඒ පොත් මාලාවට වැඩි කැමැත්තක් දක්වන්නෙ.

මෙහි භාෂාවත් බොහොම සරලයි?

කොහොමටත් බරපතළ සිංහල පොත් කියවන්න අද ළමයි ඒ තරම් කැමැත්තක් දක්වන්නෙ නෑ. මේ පොත මුද්‍රණය කරලා තියෙන්නෙත්, කුඩා දරුවකුට ගැළපෙන විදිහටයි. ප්‍රමාණයෙන් කුඩායි. අන්තර්ගත වන සිතුවම් පවා බොහෝ සෙයින් හිතට කාවදින විදිහේ ඒවා. ඒ නිසා ම, මේ පොත් මාලාව, ළමයින් අතරත්, වැඩිහිටියන් අතරත් ජනප්‍රිය වුණා. මගේ භාෂා ශෛලියේ ඇති අතිශය සරල බවටත් බොහෝ දෙනෙක් කැමැතියි. පොත කියවනකොට නිවැරැදි චිත්ත රූප මැවෙන විදිහේ භාෂා ශෛලියක් තමයි මම අනුගමනය කරන්නෙ. ඒ ක්‍රමය බොහෝ දුරට සාර්ථකයි කියලා මං හිතනවා.

ඔබ වැඩි වශයෙන් පරිවර්තන කෘතිවලටම යොමු වෙන්න හේතුවක් තියෙනවද?

මම දැනට පොත් හයක් පරිවර්තනය කරලා තියෙනවා. ස්වතන්ත්‍ර නිර්මාණ විදිහට එළිදක්වා තිබෙන්නේ, ළමා කතා දෙකක් විතරයි. පරිවර්තන කෘතිවලට පෞද්ගලිකව ම මා තුළ විශේෂ කැමැත්තක් තියෙනවා. පරිවර්තන කෘතියක් රස විඳිද්දි, වෙනත් රටක සංස්කෘතියක් ගැන කියවලා අපට බොහෝ සේ සතුටු වෙන්න පුළුවන්. දේශියත්වයෙන්, අපේ පරිසරයෙන්, සංස්කෘතියෙන් ඈත් වුණු ඒ දේවල අපට නැවුම් බවක් අත්විඳින්න පුළුවන්. ඒ නිසා මම වැඩියෙන්ම යොමු වෙන්නේ පරිවර්තන කෘතිවලටයි.

ස්වතන්ත්‍ර නිර්මාණත් ඔබ අතින් බිහි වුණා. ඒ ගැනත් මතකය අවදි කළොත්?

මම ලේඛන කලාවට අත්පොත් තැබු‍වෙ “පුතාට පාඩමක්” නමින් ලස්සන පොඩි අශ්ව පැටියකුගේ කතාවක් රචනා කරලයි. ඒ පොතෙන් දෙන ආදර්ශය පුංචි දරුවන්ට බොහෝ සේ වටිනවා. ඒ නිසා ම ඒ පොත, තාමත් හොඳට අලෙවි වෙනවා. අදටත් නැවත නැවත මුද්‍රණය වෙනවා. මගේ අනෙක් ස්වතන්ත්‍ර නිර්මාණය වුණු “ආඩම්බරකම හොඳ ම නෑ” කියන්නෙත් අලුත් විදිහට ලියැවුණු, අපි කවුරුත් දන්න ළමා කතාවක්.

පරිවර්තනය කිරීමටත් බොහෝ දුරට ඔබ තෝරා ගන්නේ ළමා කතා?

මම තෝරා ගන්නවට වඩා, පොත් පළ කරන ප්‍රකාශකයන් තමයි පරිවර්තනය කිරීමට මට ඒ කෘති තෝරා දෙන්නෙ. බොහෝ විට පරිවර්තනය සඳහා මගේ අතට පත් වෙන්නේ ළමයින් හා සම්බන්ධ කතා. මම පරිවර්තනය කළ “රතු ගවුම” කෘතියත් අවුරුදු 13ක දැරියක් ගැන කියැවෙන, අතිශයින් රසවත් කතාවක්. ලිංගිකත්වය සම්බන්ධ කතා සහ යොවුන් කතා මගේ අතින් ලියැවෙන්නෙ නෑ. ගුරුවරියක් විදිහට දරුවන්ට හොඳ ආකල්පයක් සහ පණිවිඩයක් ලබාදෙන දෙයක් මගේ අතින් ලියැවෙන්න හෝ පරිවර්තනය වෙන්න ඕනැ කියලයි මම හිතන්නෙ. ඒ වගේ ම මේ පොත් පත් වෙන්නේ දරුවන් අතට නිසා, අක්ෂර වින්‍යාසය, උක්ත ආඛ්‍යාත සම්බන්ධය සහ නිර්මාණාත්මක යෙදුම් වැනි දේ ගැන මම බොහොම සැලකිලිමත් වෙනවා. දරුවන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙද්දි, ගුරුවරියක් විදිහට මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්.

ඔබ ග්‍රන්ථ පරිවර්තන කාර්යයට යොමු වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?

ලෝරා වයිල්ඩර්ගේ ඉංග්‍රීසි කෘතියේ පරිවර්තනයක් විදිහට ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද විසින් රචනා කළ “තැනිතලාවේ පිහිටි කුඩා නිවස” ඇතුළු පොත් කියෙව්වට පස්සෙ තමයි මට, පරිවර්තන කාර්යය ගැන ඇල්මක් ඇතිවුණේ. මට මුලින් පරිවර්තනය කරන්න ලැබුණෙ ලෝරා ලියූ පොත් නෙමෙයි, ඇගේ දියණිය රෝස් වයිල්ඩර් ලියූ පොත්. “කඳු මුදුනේ සොඳුරු නිවස” ඒ අතරින් එකක්. රෝස් වයිල්ඩර්ගේ කඳු මුදුනේ සොඳුරු නිවෙස කෘතියේ සිට කොටස් 8කින් සමන්විත කෘති මාලාවක් තිබෙනවා. මම ඒ කෘති 8ම පරිවර්තනය කළා. මේ වෙද්දි පළමු වැනි කෘතිය හය වතාවක් මුද්‍රණය වුණා. ඒ තරමට ඒ කෘතිය අලෙවි වෙනවා.

ඔබේ ලේඛන කලාව දියුණු කර ගැනීමට ඔබට ශක්තියක් වූණේ කුමන සාධකද?

එකක් තමයි මට ලැබෙන අතිශය බලවත් පාඨක ප්‍රතිචාර. වයස සීමාවක් නැතුව ප්‍රතිචාර ලැබෙනවා. මට ඒ ගැන ආඩම්බරයි. වැඩි දෙනෙක් කැමැති මං අනුගමනය කරන සරල භාෂා ශෛලියටයි. මට දැන් වයස අවුරුදු 76ක්. ජීවිතේ මං ලැබුව අත්දැකීම් හරි ම රසවත්. මං හැදුනෙ වැඩුණේ බණ්ඩාරවෙල. බොහොම සුන්දර ප්‍රදේශයක්. ඒ සුන්දර වටපිටාවත්, රසවත් අත්දැකීමුත් හේතුවෙන් අපේ සිතුවිලිත්, වචනත් අතිශය සුමටයි. දැන් මම විශ්‍රාමික ගුරුවරියක්. අවුරදු 54ක් පාසල්වල ඉගැන්නුවා. ඒ ලැබුණු අත්දැකීම් පවා මට මගේ ලේඛන කටයුතු ඉදිරියට අරන් යන්න ශක්තියක් වුණා කියලා මං විශ්වාස කරනවා.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න