මකරානන්දය යථාර්ථවාදී නවකතා ප්‍රවාහයේ රන් රේඛාවක් | දිනමිණ


 

මකරානන්දය යථාර්ථවාදී නවකතා ප්‍රවාහයේ රන් රේඛාවක්

බටුවන්ගල රාහුල හිමි

මිණිඊල, රන්කරඬුව, බොරතෙල්, ගෙදරට බණ වැනි කෘති රචනා කරමින් සම්මානයට පාත්‍ර වූ යතිවරයාණන් වහන්සේ නමක් වන බටුවන්ගල රාහුල හිමි, මෑතකදී කියවූ කෘතිය පිළිබඳ මෙසේ අදහස් දැක්වූහ.

ඔබ වහන්සේ මෑතක දී කියැවූ පොත මොකක්ද?

‍මම කියවා අවසන් වුණේ, 2018 අවුරුද්දෙ සරසවි ප්‍රකාශනයක් විදිහට අප අතට පත් කර තිබෙන, විරාජිනී තෙන්නකෝන් විසින් රචනා කළ “මකරානන්දය” කියන නවකතාවයි. ඒ, ඇගේ පළමු වැනි නවකතාව.

ඇය මීට පෙර “අච්චාරු සහ තවත් කතා” නමින් රාජ්‍ය සම්මාන සඳහා අවසන් වටයට තේරුණු කෙටිකතා පොතක් ලියා තිබෙනවා. ඒත්, මෙය ඇගේ පළමු නවකතාවයි.මට මේ පොත මුණ ගැහුණෙ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ කිවිඳියක වූ අනුරාධා නිල්මිණි නිසයි. ඇය

මේ පොත මා අතට පත් කළේ, වෙලාව අරගෙන හැකිනම් මේ පොත කියවන්න කියන ඉල්ලීමත් එක්කයි. මං මේ පොත කියවන්න පෙලඹුණේ ඒ අනුවයි .

ඔබ වහන්සේ එහි දකින විශේෂතා මොනවද?

ඒ කෘතිය මං හඳුන්වන්නේ, යථාර්ථවාදී නවකතා ප්‍රවාහයේ රන් රේඛාවක් කියලයි. එය එතරම් ම සොඳුරු ගෙත්තමක්. එම ගෙත්තම මඟින් කතා බහට ලක් කරන්නේ, අසූව, අනූව දශකයේ ග්‍රාමීය පරිසරයේ හැඩතලවල ඉඳන්, ජන විඥානයේ පරිණාමය,

විවෘත ආර්ථිකයේ බලපෑම්වලින් වේගවත්ව වෙනස්වී ගිය හැටිත්, පරිණාමයේ වේගවත් බවට ඔරොත්තු නොදීමෙන් සිහි විසඥ වී ගිය සමාජය, දේශපාලකයන් සහ කූට වෙළෙන්දන් විසින් තමාගේ ගොදුරු බවට පත් කර ගන්නා ආකාරයත්, සමස්ත සිදුවීම්වල

ප්‍රතිඵලය සියලු අතින් බිඳ වැටෙන ස්වදේශිකත්වයේ සොඳුරු අඥාදායකත්වය චීන වෙළෙඳ ආධිපත්‍ය මත දියවී යන හැටිත්, මේ කෘතියේ සාකච්ඡා වෙනවා. මේ කෘතිය රචනා කළ ලේඛිකාවගේ හපන්කම වෙලා තියෙන්නේ, කියන දෙයට වඩා කියා ඇති ආකාරයයි. මේ නවකතාවේ අප හිරිවට්ටන ගුණයත්, බලයත් තියෙන්නේ එතැනයි.

ඔබ වහන්සේ එම කෘතියට කැමැති ඇයි?

විරාජිනීගේ නවකතාව ලියවැල්වලින් පිරුණු පහන් කණුවක් කීවොත්, එය සාධාරණයි කියලයි මට හිතෙන්නෙ. මුල, මැද, අග මනාව සහ සම්බන්ධ වූ අපූරු ආකෘතික හැඩයක් ඇති මේ පහන් කණුව, ඇය භාෂා උපක්‍රම භාවිත කරමින් සියුම් කැටයම් සහිත ලියවැල්වලින් අලංකාර කරනවා. එම සියුම් කැටයම් සහිත ලියවැල්, පහන් කණුවේ මුල සිට අග දක්වා ඇය ගොතන්නේ, හේතුඵල සහ සම්බන්ධය ගැන ඉතා ප්‍රවේශම් වූ මනසකිනුයි. ඇයගේ එම සියුම් කැටයම් සහිත ලියවැල්වල, පුංචි පළුද්දක් දෙකක් තැනක දැක ගැනීමට හැකි වුණත්, සමස්ත ලියවැල් කියාපාන්නේ, ඇගේ සියුම් නිර්මාණ හැකියාවයි. කොටින්ම කතා තේමාව හා බද්ධ කරගත් සිද්ධි, කතාවේ සන්දර්භීය සීමාවේදි ඇය හසුරවන්නේ, ඉතා පළපුරුදු ශිල්පීය ගුණයකින් හා ඥානයකිනුයි. ඒ සියුම් භාෂා කැටයම්වල, අපගේ නෙත් සිත් දැවටෙද්දී, අපගේ සිත් අමන්දානන්දයට පත් වීම සිදු වෙනවා. ඒ ආනන්දයෙන් පහන් කණුව යටට වෙලා, ඒ පහන් කණුවේ අග දැල්වෙන පහනින් විහිදෙන ඤාණාලෝකය විඳගන්නට අප තුළ ලෝභකමක් ඇති කරවන තරමට, ඇගේ සියුම් කැටයම් අප වශීකෘත කරනවා. ඒ නිසා මං, මේ කෘතියට බොහොම කැමැතියි.

මේ කෘතිය තුළ, ඔබ වහන්සේ වඩාත් සිත්ගත් අවස්ථාවක් හෝ අවස්ථා තියෙනවාද?

ඔව්. එක් අවස්ථාවක් නෙමෙයි. අවස්ථා බොහොමයක් ම තිබෙනවා. මේ ලිපියේ ඉඩකඩේ හැටියට අවස්ථා දෙකක් ගැන කියන්නම්. මේ කතාවේ සාරාර්ථයට අප ළං කරන ප්‍රධාන සංකේතයක් විදිහට, කතාව පුරා ජීවත් වෙන මකරාගේ චිත්‍රය මගේ මතකයේ රැඳුණු සුවිශේෂී ලියවැලක්. මෙය මැය විසින් කතාවට ගේන්නෙ ආගන්තුකව නෙමෙයි. අහේතුකවත් නෙමෙයි. ඇගේ නවකතාව නම් පහන් කණුව බදාගෙන, පහන් කණුවේ සුදුසු නිශ්චිත තැනක සිට, පහන් කණුවේ අග දක්වා විහිදී යන ලියවැලක්. මේ කතාවේ එන ප්‍රධාන චරිතයක් වන සෝමේ විසින් විහාර ගෙයක් සඳහා අඳින ලද මකර චිත්‍රය, අහිංසක ස්වදේශික ගැමි චින්තනය තුළ මතුවන ගෞරවාර්ථ සහිත සංකල්පවල සංකේතයක්. අවසානයේ මේ මකර චිත්‍රය, චීන කොළනියේ අහේනිකාර ලාංකේය මිනිසුන්ගේ අහේනිය, අසහනය මත බලාපොරොත්තු රැඳවීමේ මිථ්‍යා උපක්‍රමයක් විදිහට දේශපාලකයාත්, කපටි වෙළෙන්දාත් යොදා ගන්නවා.

නොදැනුවත් මිනිසාගේ අන්තිම තුට්ටු දෙකත් හූරා කන කපටියන්ගේ ඉසව්වක් දක්වා දුරකට, මේ මකරා ඉතා සියුම්කැටයම් සහිත ලියවැලක් කරලා රැගෙන එන අපූරුව, මේ පොත කියවන්නකුට අත්දැකිය හැකියි. එම මකරා තවත් පසෙකින් සෝමෙලාගේ පංතියේ චින්තන විකාශනය සිදු වූ ආකරය නිරූපණය කරන කැඩපතක්. සෝමේ නැවත අඳින මේ මකර රූපය, එංගලන්ත රැජණගේ ඇඳුමක මෝස්තරයක් බවට පත් වෙන්නේ, ඇයගේ සාදු සම්මත පවිත්‍ර ගැමි චින්තනය, මුදල් උපයන සමාජයක දියවී ගියේ කෙසේද යන්න චිත්‍රණය කරමිනුයි. කපටියන් ඒ මකර රූපය මෝඩ ජනයා මත වන්දනීය වස්තුවක් කරන අතර, සෝමෙ එම චිත්‍රය එංගලන්ත රැජණගේ සාය මත මෝස්තරයක් කරන්නේ, මකර රූපයට ගැඹුරු සංකේතාර්ථ මතුකරවමින්.දෙවැනි කාරණය, ඇය සිද්ධි ජීවත් කරවන පරිසරය ඊට අනුරූපී ලෙස ගොඩනැගීමයි. එය කොච්චරද කියනවා නම්, අප වැවක් අයිනෙ තියෙන සොඳුරු අහිංසක ගමක පිළක් මත වැව් දිය පිස එන සිසිල විඳ විඳ ජීවත් වන මොහොතක්, අප මනසින් අත්විඳින තරමට ප්‍රබල ජීව ගුණයක් ඇය සිය සිද්ධි නිරූපණයේදී දක්වනවා.අනෙක් පසින්, කොළඹ සමාජයට ආපසු අපට බේරේ වැවෙන් හමන පල් ගඳට, නාසය අකුලාගෙන අවට සිරි නරඹන බවක් හැඟී යන පරිද්දෙන් එම පරිසරය සජීවීකරණය කරනවා.

සාහිත්‍යමය වශයෙන් මෙහි ඇති වටිනාකම කෙබඳුද?

මේ කෘතිය නවක ලේඛිකාවකගේ යැයි කෙසේවත් විශ්වාස කළ නොහැකි තරමේ ගෙත්තමක් කිව්වොත් වඩාත් හොඳයි. එතරම් ම මේ කෘතිය පරිපූර්ණ ගෙත්තමක්. ඇගේ පරිකල්පන ඤාණය භාෂාව සමඟ ගැටගැහී ඇති අපූර්වත්වය, අපට මේ කෘතිය පුරාවටම පේන්න තියෙන පොදු ලක්ෂණයක්. සාහිත්‍යමය අගය කෘතියක මතුවෙන්නෙ, එම කෘතිය මත භාෂාව හරඹ පා ඇති ආකරය මතයි. මේ කෘතිය තුළ ඇය ඒ හරඹ පෑම මනා ලෙස සිදු කර තියෙනවා.ඇගේ සංකේත භාවිතය අති විශේෂිතයි. සොඳුරුයි. පරිකල්පනීයයි. තඹර තූප කතා වස්තුව නම් ආරම්භක කතාවේදී, අනුරාධපුර වැව්බැඳි රාජ්‍යයේ ගැමි චින්තනය, නෙළුම් පොහොට්ටුවක හැඩයට ගොඩනැගෙන කුඩා චෛත්‍යයකින් පාඨකයා වෙත ගෙන එනවා. එම චෛත්‍යයේ බැබළීම, තිරිවාන ගල් අඹරා ඒවා හුණු බදාමවල කවලම් කර ගෑමෙන් ලබා ගන්නා දිස්නයක්. ගැමියාගේ ශ්‍රම ශක්තිය සාධු අර්ථවත් ක්‍රියා වෙනුවෙන් දියකර හැරීමටකෙතරම් රුචිකත්වයක් දරන්නේ ද යන්න නිරූපණය කිරීමට, මේ තිරිවාන ගල් කුඩු භාවිත කරන බව පේනවා. එපමණක් නෙමෙයි, මේ තිරිවාන ගල් චිරි චිරි හඬින් කෙටෙන, ඇඹරෙන හඬ, ගැමි ශ්‍රමය සාධු අර්ථ පිණිස වැගිරීමේ කැමැත්තේ හඬක් විදිහට අපට ඇහෙනවා. මේ, සංකේත මත ඇති අතුරු සංකේතයි. නෙළුම් පොහොට්ටුව, මහා සංකේතයක් විදිහට ඇය මේ කොළඹ නෙළුම් කුලුන මත තැන්පත් කරන්නේ, වැව අසබඩ පිං බිම හැදූ නංහාමි නම් ගැමියාගේ උත්තරීතර අරමුණු, චීන උප සංස්කෘතියේ දියවීයන්නේ කාගේ වරදින් දැයි සිතා බලන පෙලඹවීමට අවශ්‍ය ආලෝකය, අර පහන් කණුවේ ආලෝකයෙන් ලබා දෙමිනුයි. මේ නිසා ඇගේ සංකේත භාවිතය ඉතා සියුම්. අර්ථවත්. විශ්වසනීය වූ සංකේත. ලිංගික චර්යා අමු අමූවේ පොතකට ගිල්ලවීම සාහිත්‍ය යැයි හඳුනාගෙන සිටින අයට යමක් නිහඬව කියා දෙන ඇය, ඒ අවස්ථා මෙහි නිරූපණය කරන්නේ, භාෂා උපක්‍රම දන්නා නිර්මාණ කරුවකුට, ඒ අවස්ථා සංයම ලෙසත්, මනා ලෙසත් සජීවීකරණය කළ හැකි බව, මනාව ඔප්පු කරමින්.

මේ කතාවට ආලෝකය සපයා ඇති තවත් සංකේතයක් විදිහට, කුකුරුමාන ගෙඩි හඳුන්වන්න පුළුවන්. කුකුරුමාන ගෙඩි කියන්නේ, මාළු අල්ලන අය, සිදී යමින් තියෙන වැව් මාළු සිටින තැන්වලට, මාළු මත් කිරීම සඳහා දමන ගෙඩි විශේෂයක්. මේ කකුරුමාන ගෙඩි තලලා වැවේ තැනකට දමලා, මාළු උඩ මතුවෙද්දී සතුටුවන පොඩි හාමුදුරුවන්, සිවුරු අත්හැර කාලයකට පසු දේශපාලන නායකයකුගේ නිල ජ්‍යෝතිෂ්‍යවේදියා වෙලා, එම දේශපාලන බොරුකාරයන්ගේ පොරොන්දු උපක්‍රම මත හෙම්බත්වී සිටින ජනතාව නමැති මාළු, ආර්ථිකය නමැති ජලය සිඳී යන වැවේ දී මිථ්‍යාව නම් කුකුරුමාන ගෙඩි දමා බිලී බා ගන්නා මොහොත දක්වා ගෙන එන්නේ, සොඳුරු සියුම් කැටයම් සහිත ලියවැලක අමුණාගෙනයි. චරිත නිරූපණය නවකතාවක ඇති විශේෂ ගුණයක්. මේ ලේඛිකාව, නවකතාවේ තේමාවට උචිත විදිහට එම චරිත විශිෂ්ට අයුරින් ගොඩනගනවා. මෙහි ඇති උපමා බාහුලිකත්වය, සද්ධර්මරත්නාවලිය සිහිගන්වන සුළුයි. ඇයට මඟහැරී ගිය ඉතා කුඩා අතපසුවීමක් හැර, මේ කෘතියට හානි පැමිණිය හැකි සාහිත්‍යමය අඩුපාඩුකම් නම් මට පේන්නෙ නෑ. සමස්තයක් විදියට සාහිත්‍ය පිරුණු කෘතියක ආස්වාදය, භාෂා උපක්‍රම දත් පාඨකයාට මේ කෘතිය මඟින් අත්විඳිය හැකි බව මගේ විශ්වාසයයි.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න