ලියද්දි කල්පනාකාරී වෙන්න ඕනැ | දිනමිණ

ලියද්දි කල්පනාකාරී වෙන්න ඕනැ

ෂාරි ලැපෙනා

පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්, කුතුහලය දනවන කතා රචනයෙහි දක්ෂ කැනේඩියානු ලේඛිකාවක් වන ෂාරි ලැපෙනා ගේ නවතම ග්‍රන්ථය,' An Unwanted Guest' පසුගියදා එළිදැක්විණි. එම කෘතිය සහ අනෙකුත් ග්‍රන්ථකරණ තොරතුරු පිළිබඳ, www.Goodreads.com වෙබ් අඩවිය කරන ලද සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

ඔබ ඉංග්‍රීසි ගුරුවරියක්, නීතිඥවරියක් ලෙස මුල් කාලයේ සේවය කර තිබෙනවා. ඉංග්‍රීසි කියන්නේ ඔබගේ දෙවැනි භාෂාව. පොත් ලිවීමයි, මේ සියලු කටයුතුයි ඔබ කළමනාකරණය කර ගත්තේ කොහොමද?

මම මුල් කාලයේ නීතිඥවරියක් සහ ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට රැකියාව කළා. ඒත්, ලිවීමේ ආශාව මට මුල ඉඳන් ම තිබුණා. මම පොත් බොහොමයක් ම කියෙව්වා . ඒ වගේ ම මම කතුවරයන් ඇසුරු කරනවා. මම ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමත් සමඟම තමයි ඉංග්‍රීසි කෘති කියවීමට පෙලඹුණේ. එමඟින් මගේ භාෂාව වර්ධනය වුණා.

කතුවරයෙක් වීමේ සිහිනය මුල ඉඳන් ම තිබුණත්, ගැටලුව වුණේ කාලය මදකමයි. පසුව මගේ පෞද්ගලික ජීවිතයේ කටයුතු සමථයකට පත් වීමත් සමඟ, ලිවීම සඳහා මට කාලය ලැබුණා. මගේ පළමු නිර්මාණය 'තින්ග්ස් ගෝ ෆ්ලයින්' 2008 වසරේදී බිහි වුණේ ඒ සමඟ තමයි.

මම මේ හැම දෙයක් ම කළේ රහසින්. කාටවත් කිව්වෙ නෑ. මම පොත් ලියනවා කියලා මගේ ස්වාමිපුරුෂයා නම් දැනගෙන සිටියා. ඒත්, වෙන කිසිවකු දැනගෙන සිටියේ නෑ. කෙසේ හෝ මගේ පළමු පොත විකුණා ගන්න අපහසුතාවක් ඇති වුණේ නම් නෑ. කිසි ම නියෝජිතවරයකු අවශ්‍ය වුණෙත් නෑ. ඒත්, පසු කාලයේ මගේ අතින් නිර්මාණය වුණු සාහිත්‍ය නිර්මාණ විකුණා ගැනීමට නම්, නියෝජිතවරයකු අවශ්‍ය වුණා.

ඒත් ඔබ ජනප්‍රියත්වයට පත්වුණේ 'ද කපල් නෙක්ස්ට් ඩෝ' කෘතිය හරහායි?

ඔව්. ඊට පෙර මං කෘති දෙකක් රචනා කර තිබුණා. මේක මගේ 3 ‍වැනි කෘතිය. බොහෝදෙනා මා දැනගත්තේ මේ කෘතිය හරහායි. ඒ 2016 දී. එම කෘතිය, කැනඩාවේ මෙන් ම ජාත්‍යන්තරවත් වැඩි ම විකුණුම් වාර්තා තැබූ කෘතියක් වුණා.

ඔබ අභිරහස් කතා රචනයට යොමු වීමට හේතුව?‍

මට හැම වෙලේම අවශ්‍ය වුණේ, අභිරහස් කතා නිර්මාණය කිරීමටයි. මම වැඩුණේ බොහෝ ත්‍රාසජනක කතා කියවමින් සහ ඒවාට ආදරය කරමින්. මම තවමත් Netflix හි විකාශය වන ත්‍රාසජනක කතා නැරැඹීමට දැඩි සේ ආදරය කරනවා.

මට මුලදීම අවශ්‍ය වුණේ, ඒ වගේ එක කතාවක් හෝ ලිවීමටයි. ඒත් මම, ඒ සඳහා කතාවක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා දැනගෙන සිටියේ නෑ. මම බොහෝ කතුවරයන්, රචකයන් සමඟ සාකච්ඡා කළා. අභිරහස් රචකයන් බහුතරයක් මං වගේ කියලා මට ඒ වෙලාවෙ තේරුණා. කෙසේ හෝ ටික කාලයක් යන විට මට කතාවක් ගොඩනඟා ගන්න හැකි වුණා. මම එක දිගට අවුරුද්දකට අධික කාලයක් ඒ සඳහා කැප වුණා.

ඔබ, 'අ ස්ට්‍රෙන්ජර් ඉන් ද හවුස්' කෘතියට යොදා ගත්තෙත් ඒ ක්‍රමයමද?

නෑ. සාමාන්‍යයෙන් මගේ ක්‍රමය පොතෙන් පොතට වෙනස්. මේ කෘතිය ලියන විට නම් මට බෙහෙවින් අසීරු කාලයක් තිබුණේ. ඒකට හේතුව, හැම දෙනාම මං දිහා බලාන සිටියා. හැමෝම ‍මම ලියනවා කියලා දැනගෙන සිටියා.

ඒත් මම ඒක හොඳටම කළා කියලා හිතනවා. ඒක අවසාන කරන්න මට හරියටම එක් අවුරුද්දක් විතරයි තිබුණේ. මම මේ කෘතියේදී බොහෝ සංස්කාරකවරු සමඟ වැඩ කළේ නෑ. ඒත්, මට නියෝජිතවරයකු සොයා ගැනීමට සිදු වුණා. මට මේ කතාවට පසුබිම් කතාවක් තිබුණේ නෑ. එහි සිටින ප්‍රධාන චරිතය මම එදිනෙදා ජීවිතයේ දකින පවුල් ජීවිත හා විවාහය තුළ ඇතිවන ගැටුම්වලට මුහුණ දෙන කාන්තාවන් ඇසුරින් නිර්මාණය කළා.

ඔබගේ නවතම කෘතිය 'ඇන් අන්වෝන්ටඩ් ගෙස්ට්' ගැන කතා කළොත්?

මේ කතාව, අනෙක් කතාවලට වඩා බෙහෙවින් වෙනස්. ඒක ප්‍රහේළිකාගත අභිරහසක් කිව්වොත් වඩාත් නිවැරැදියි. ඒ කතාව ඔබට නිකම් ම, සරල විදිහට විසඳගන්න අමාරුයි. මම ඒ සඳහා යොමු වුණේ, ප්‍රවීණ ලේඛිකාවක වන අගතා ක්‍රිස්ටි ගේ 'And Then There Were None' කෘතිය කියැවීම නිසයි.

ප්‍රහේළිකාමය අභිරහස් කතා ලිවීම බෙහෙවින් ම අසීරුයි. කතාව ලියන අය පවා සෑම විටෙකම, සිද්ධි, නිවැරැදි සම්බන්ධතාවකින් පවත්වාගත යුතුයි. ලිවිය යුත්තේ බොහොම කල්පනාකාරීවයි. ලියද්දි මම නැවත නැවත සංස්කරණ කටයුතු කරනවා. ඒ මඟින් මගේ නිර්මාණය සාර්ථක කර ගන්න පුළුවන්.

ඔබට ලැබුණු සම්මාන පිළිබඳ කියන්න පුළුවන්ද?

ඔව්. මගේ 'තින්ග්ස් ගෝ ෆ්ලයින්' කෘතිය 'Sunburst Award' සම්මාන උළෙලේ අවසාන වටයට නිර්දේශ වුණා. ඒ වගේම මගේ දෙවැනි නවකතාව වන 'හැපිනස් ඉකොනොමික්ස්' කෘතිය, 2012 වසරේදි 'Stephen Leacock' සම්මානය සඳහා නිර්දේශ වුණා.

ඔබ මේ දක්වා ප්‍රකාශයට පත් කර තිබෙන කෘති මොනවාද?

මගේ පළමු කෘතිය 'තින්ග්ස් ගෝ ෆ්ලයින්' 2008 වසරේදීත්, 'හැපිනස් ඉකොනොමික්ස්' කෘතිය 2011 දීත්, 'ද ‍කපල් නෙ‍ක්ස්ට් ඩෝ' කෘතිය 2016 දීත්, 'අ ස්ට්‍රේන්ජර් ඉන් ද හවුස්' කෘතිය 2017 දීත් එළිදැක්වුණා. මගේ නවතම කෘතිය 'ඇන් අන්වෝන්ටඩ් ගෙස්ට්' නමින් පසුගියදා එළිදක්වන්න මට හැකි වුණා.

ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරයෙක් විදිහට, ඔබ දරුවන්ට කියැවීමට නිර්දේශ කරන පොත් මොනවාද?

මම , මගෙ ළමයින්ට පවා කියන්නේ, 'හොඳ කියවන්නන්, තමන් කැමැති දේ තමයි කියවන්නේ' කියලයි. ඒත්, අද කාලෙ මවුපියන්, ඔවුන් නිර්දේශ කරන පොත් වර්ග තමයි ළමයින්ට කියවන්න බල කරන්නේ. මම නම් මගේ පුතාට 'Captain Underpants' කියන කතා මාලාව අරන් ‍දුන්නා . ඒ වගේම, 'Percy Jackson and the Olympians' කතා මාලාවත් අරන් දුන්නා. මගේ දුව, 'මාගරට් ඇට්වුඩ්' කතුවරියට බොහොම කැමැතියි. ඒ වගේම, අනෙක් ළමයි වගේ මේ දෙන්නත් හැරී පොටර් කතා මාලාවටත් කැමැතියි.

ඔබ සාමාන්‍යයෙන් කියවන්නේ මොන වගේ පොත් ද?

මම චරිතාපදාන කතා, ඉතිහාස කතා කියවන්න බොහොම කැමැතියි. මම විශේෂයෙන්ම, රුසියානු ඉතිහාසය කෙරෙහි වැඩි ඇල්මක් දක්වනවා. සාමාන්‍යයෙන් අනෙක් කතුවරයන් නම් කියන්නේ, පොතක් ලියන විට වෙනත් පොත් කියවන්න එපා කියලයි. ඒත් මට ඒක කරන්න බෑ. මම අවුරුද්දකට වතාවක්වත් පොතක් එළිදක්වනවා. ඉදිරි සති කිහිපයේදී, Laura lipp+man කෘතිය කියවන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

යශෝදා ඉන්දීවරී


නව අදහස දක්වන්න