බොර වතුර ද...? හොඳ වතුර ද....? | දිනමිණ

බොර වතුර ද...? හොඳ වතුර ද....?

රන්ජන් අමරරත්න

මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතා පෙන්වා දෙන අන්දමට සිරිනිමල් ලක්දුසිංහ මහතාට බලපා ඇත්තේ චෙකෝව්ගේ කතා සම්ප්‍රදාය යි. “බොර වතුර” කතා සංග්‍රහයෙහි එන කෙටිකතාවල, කතා වස්තු, ආකෘති, නිරූපණ ආදිය නිරීක්ෂණය කරන විට ප්‍රති-තර්කයකින් තොරව ඉහත මතය පිළිගත හැකි ය.

සිරිනිමල් ලක්දුසිංහ මහතාගේ “බොර වතුර” කෙටිකතා සංග්‍රහය පළමුව සමාජගත වන්නේ 1994 දීය. එහෙත් ඊට ඇතුළත් කතා කලකට පෙර රචනා වූ ඒවා බව පැහැදිලි ය. කෘතියට අඩංගු කර ඇති රචකයාගේ සටහනෙහි දක්වා ඇත්තේ; හෙතෙම පාසල් ශිෂ්‍යයකු වූ සමයේ ද, සරසවි ශිෂ්‍යයකු වූ සමයේ ද උක්ත කතා රචනා කරන ලද බව ය. දැන් එහි දෙවන මුද්‍රණයත් නිකුත් වී ඇත. මේ මොහොතේ අප ‍”බොර වතුර” ගැන සාකච්ඡා කරනුයේ විශේෂිත කරුණු කිහිපයක් පාදක කරගෙන ය.

මෙහි එන කෙටිකතා රචනා වී ඇත්තේ 1960 ගණන්වල යැයි අනුමාන කළ හැකි ය. එම කාලය සිංහල ස්වතන්ත්‍ර කෙටිකතාවේ ප්‍රබෝධවත් කාලයෙකි. විශ්වවිද්‍යාලවල සිංහල අංශ කෙටිකතා කලාව පිළිබඳ වැඩමුළු, සංවාද, විචාර සභා හා කෙටිකතා තරග පවත්වා ඇත. පුවත්පත් කෙටිකතාවට විශේෂ තැනක් ලබා දී තිබූ අතර වරින්-වර දීප ව්‍යාප්ත කෙටිකතා තරග පවත්වා ඇත. ලේඛකයා ඉහත යුගය නි‍යෝජනය කළ කතාකරුවකු වන අතර කෙටිකතා තරගවලින් ජයග්‍රහණ ලබා ඇත.

ලෝක කෙටිකතාව සමාජය කැටුව හොඳින් බද්ධ වන්නේ දහනව වන සියවසේ දී යැයි කිව හැකි ය. එකල කෙටිකතාවේ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ එදිනෙදා ජීවිතයේ ගැටලු, මානසික කම්පන හා පුද්ගල චර්යා පාදකකොට යථාර්ථවාදී කෙටිකතා රචනා වීම ය. කෙටිකතාව බටහිර නිර්මාණයක් වන අතර දහනව වන සියවසේ පටන් ම ස්වතන්ත්‍ර සිංහල කෙටිකතා සම්ප්‍රදායයක් බිහිවෙමින් පැවැතිණි. එහිලා මෙරට ලේඛකයන් බහුල ලෙස ම ආදර්ශයට ගත් ලේඛකයෝ දෙදෙනෙක් වූහ. ඒ රුසියාවේ ඇන්ටන් චෙකෝව් හා ප්‍රංශයේ ගී ද මෝපසං ය.

මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතා පෙන්වා දෙන අන්දමට සිරිනිමල් ලක්දුසිංහ මහතාට බලපා ඇත්තේ චෙකෝව්ගේ කතා සම්ප්‍රදාය යි. “බොර වතුර” කතා සංග්‍රහයෙහි එන කෙටිකතාවල, කතා වස්තු, ආකෘති, නිරූපණ ආදිය නිරීක්ෂණය කරන විට ප්‍රති-තර්කයකින් තොරව ඉහත මතය පිළිගත හැකි ය. චෙකෝව් හා ඔහුගේ කතා කලාව පිළිබඳ උත්කර්ෂවත් සංවාද අදත් පවතී. ගිය වසරේදී බොරිස් ෆිෂ්මන් එළිදැක්වූ කෘතිය ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. චෙකෝව්ගේ කතා කලාවේ විශේෂතා, ඔහුගේ දැක්ම හා චෙකොව්‍ට වැරැදුනු තැන් ද පෙන්වා දීමට ෆිෂ්මන් වෑයම් කරයි. එය ආන්දෝලනාත්මක මත දැක්වීමක් හැටියට විචාරක අවධානයට ලක් වී ඇත.

1960 ගණන්වලදීත්; අපේ ආධුනික කෙටිකතාකරුවකු චෙකෝව් හා ඔහුගේ කතා කලාව වටහාගෙන තිබීම සතුටුදායක තත්ත්වයකි. චෙකෝව්ගේ කෙටිකතා හා “බොර වතුර” කතා සංග්‍රහයෙහි එන කතා නිරීක්ෂණය කරන කල අප ලේඛකයා චෙකොව් කතා කලාවෙන් ලබාගත් ආදර්ශ කිහිපයක් සටහන් කළ හැකි ය.

i. ඉතා සුළු සිද්ධියක් විස්තාරණය කොට පරිපූර්ණ කතාවක් නිමැවීම.

ii. උත්ප්‍රාසාත්මක හා සජීවී සංවාද යොදා ගැනීම.

iii. චරිතවල චිත්ත අභ්‍යන්තරයට පිවිසීම හා හැමවිට ම සුවිශේෂ චරිත තෝරා ගැනීම.

iv. ප්‍රමාණාත්මක වශයෙන් ‍කතා කෙටි වීම. (සංක්ෂිප්තතාව)

v. පාඨකයා විස්මයට පත්කරන අවසානයක් දැක්වීම.

“බොර වතුර” කතා සංග්‍රහයට කෙටිකතා හතක් සංගෘහිත කර තිබේ. “පිටස්තරයා”, “වැස්ස”, “නෙළන්න බැරි මල්”, “බොර වතුර”, “දුකකින් - දුකකට”, “තරඟ ධාවනය” හා “මානව දයාව” ලෙසින් ශීර්ෂගන්වා ඇති මේ කතා එකිනෙකට වෙනස් අනුභූතීන් ඔස්සේ රචනා වී ඇත. කතුවරයාට පුළුල් ජීවන දෘෂ්ටියක් ඇති බව ද, සියුම් සමාජ විශ්ලේෂණයක් ඇති බව ද, කෙටිකතා කලාවේ ශිල්පීය අංශ පිළිබඳ හොඳ වැටහීමක් ඇති බව ද මෙහි එන කතාවලින් ප්‍රකට වෙයි.

පිටස්තරයා කෙටිකතාව නිර්මාණය වී ඇත්තේ '83 කළු ජූලියේ අත්දැකීම් පාදක කරගෙන යැයි සිතන්නට පුළුවන. මෙහි එන පිටස්තරයා චරිතය විශේෂිත වෙයි. ඔහු දෙමළ තරුණයෙකි. සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගත ව ජීවිතයේ බොහෝ දේවල් සකස් කරගෙන ඇති ඔහු දෙමළ භාෂාව දන්නේ නැත. දෙමළ තරුණයා සිංහල තරුණියක හා විවාහ වීමට ද අපේක්ෂා කරයි. එහෙත් ජාතිවාදී කෝලාහලය කඩාවදින්නේ සියල්ල විනාශයට පත් කරමින් ය. දෙමළ තරුණයා සිංහල ජාතිවාදීන් විසින් මරා දමනු ලැබේ. මේ ඛේදවාචකය නිරූපණය කරන ලේඛකයා අසාමාන්‍ය ප්‍රේමයක් ද පාඨකයා ඉදිරියෙහි තබයි.

කෙටිකතා නිර්මාණයේ දී චරිත නිරූපණය මෙන් ම චරිත තෝරාගැනීම ද ඉතා වැදගත් ය. පිටස්තරයා කෙටිකතාව කියවන පාඨකයා සිය මුළු අවධානය දෙමළ තරුණයා වෙත යොමු කරයි. කතාවේ සමස්ත ආකර්ෂණය එම චරිතය සමඟ බැඳී පවතී.

“වැස්ස” කෙටිකතාවට පාදක වන්නේ කුඩා පාසල් දරුවකුගේ චමත්කාරය දනවන සිතිවිලි ය. පරිසරයේ ඇතැම් සිදුවීම් දරුවකුගේ මනස කෙතරම් කම්පනයකට පත්කරන්නේ ද යන්න මේ කතාවෙන් ගම්‍ය වෙයි. දරුවා පාසල් නේවාසිකාගාරයෙන් දොට්ට බසින්නේ මහත් අපේක්ෂාවකින් ය. ඒ වැසි සමය බැවින් වෙල්යායේ කෙහෙල් කොට ඔරු පැදීම ඔහුගේ සැලැසුම වෙයි. බසයේ නැඟී නිවෙස බලා යන ඔහුට එහි වේගය ගැන කෝපයක් උපදී.

“බස් එක වැඩි හයියෙන් යන්නේ නැත. පල් ඩ්‍රයිවර් කෙනෙක්. විල්සන් අයියා වගේ මිනිහෙක් හිටිය නම්; අරින්නෙ හැටට - හැටේ. හිමින් යනවා මදිවට හැම තැනම නවත්තනව. බස් එක අවුරුද්දක් විතර එක තැන හිටෝගෙන කොන්දොස්තර මොනව කරනවද? කොට්ටපොල් අඩුක් කළා වාගෙ හිරවෙලා තියෙද්දි තවත් මිනිස්සු පටෝගන්නෙ පිස්සුවට ද?

(පිටුව - 18)

දරුවකුගේ සිතිවිලි නිරූපණයේ දී බොහෝ ලේඛකයෝ පොට වරද්දා ගනිති. එහෙත් ලක්දුසිංහ මහතා මේ දරුවාගේ සිතිවිලි හා අපේක්ෂා කදිමෙට නිරූපණය කරයි. ළමයාට ගෙදරට ගොස් ඔරු පැදීමට ඇති හදිස්සිය පාඨකයාගේ ඇඟටත් දැනෙයි. එය හරි අපූරු නිරූපණයකි. යොදාගනු ලබන වචන පවා හොඳින් ගැළපෙයි. කතාව නිමාවට පත්වන්නේ වැස්සෙන් චමත්කාරයක් ලැබූ දරුවා වැස්ස එපා කියන තැනකට පත් කිරීමෙන් ය. ඒ කුමක් නිසාදැ'යි දැනගැනීමට නම්; කතාව කියැවිය යුතුය.

“නෙළන්න බැරි මල්” කතාවේ පසුබිම වන්නේ දුම්රිය ස්ථානයකි. එය සත්‍ය කතාවක් පසුබිම්කොට රචනා වී ඇති බවක් ද පෙනෙයි. එම දුම්රිය ස්ථානයට මල් වැවීමේ තරගයකින් ප්‍රථම ස්ථානය ලැබෙයි. ත්‍යාග හා සහතික ලබාගනු පිණිස ස්ථානාධිපති කොළඹ යයි. මල් වැවිල්ල සිදුකළ සුළු සේවකයා ද උත්සවයට සහභාගි වීම සඳහා සැලැසුම් කර තිබුණ ද ඔහුට නිවාඩු ලැබෙන්නේ නැත. ස්ථානාධිපති ත්‍යාග හා සහතික රැගෙන උද්දාමයෙන් යුතුව ස්ටේෂමට එයි. ඔහුගේ අපේක්ෂාව ඊළඟ වසරේ ත්‍යාගය ද ලබාගැනීම ය. ස්ථානාධිපති සුළු සේවකයාට කතාකොට ඔහු උනන්දු කරවීමට වෑයම් කරයි. එහෙත් සුළු සේවකයාගේ කෝපය පුපුරා යයි. විනාඩි කිහිපයක් තුළ සුළු සේවකයාට රාජකාරි ලිපියක් ලැබේ. එහි සඳහන්ව ඇත්තේ ඔහු වැඩ තහනමකට ලක් වී ඇති බව ය.

රජයේ කාර්යාල තුළ ඇති අවිධිමත්භාවය, නිලධාරිවාදය හා සේවක ප්‍රජාවගේ අසමඟිය මේ කතාවේ යටි පෙළෙන් මතුවෙයි. කතාවේ පසුබිම මැනැවින් චිත්‍රණය කර ඇත. දුම්රිය ස්ථානයක් හා එහි දර්ශන පෙළක් මැවී පෙනෙයි.

“බොර වතුර” කතාවෙන් කියැවෙන්නේ අරමුණක් - සැලැසුමක් නැති අවිධිමත් තරුණයකුගේ ඉබාගාතේ ඇවිදීමක් ගැන ය. අපට මතුපිටින් පෙනෙන තත්ත්වය එසේ වුව කතාවේ යටි පෙළෙන් මතුවන්නේ තරුණ පරම්පරාවේ සිහින හා බලාපොරොත්තු ගැන ය. එම සිහින හා බලාපොරොත්තු දිගේ සිත හා ගත නිසඟයෙන් දුවන ආකාරයක් යටිපෙළෙන් මතු වෙයි. මේ කතාව රචනා වී ඇත්තේ රටේ දේශපාලනය, ආර්ථිකය හා රාජ්‍ය පාලනය තරුණ පරම්පරාවේ විවේචනයට බඳුන්වන කාලයකදී බව පැහැදිලි ය. ඒ සමය තුළ තරුණ ගැටලු මෝරා වැඩෙමින් තිබූ බව ද පැහැදිලි ය. කතුවරයා මේ කතාවේදී දක්වන චරිත නිරූපණ හැකියාව ද අගය කළ යුතු ය. කතාවේ එන ප්‍රධාන චරිතය වන තරුණයා ඉබාගාතේ ඇවිද යන්නේ සිත්ගත් ගැහැනියක දැකගැනීමට ය. තරුණයාට ඉලක්කයක් ඇති බව එහි යටි අරුත වේ. අදාළ ගැහැනිය මැහුමක යෙදී සිටින අයුරු කතුවරයා අතින් නිරූපණය ‍වන්නේ මෙලෙස ය.

“ඇගේ මුහුණ පියකරු නොවේ ද? මා සිතුවා හරි නොවේ ද? එය ජීවයෙන් පිරුණු වටකුරු කදිම පෙනුමක් ඇති එකකි. දෙකන් පෙති වැසී යන ලෙස කෙස් කළඹ පිටුපසට ගෙන එක් කරලක් වන ලෙස ගොතා තිබිණි. පොතෙහි අනින ඉඳිකටුව සීරුවෙන් ඉහළට ගනිත්දී ඇය උඩුතොල සපාගෙන සිටියා ය. ඒ ඉරියව්ව ඇගේ මුහුණට වඩාත් සුන්දර පෙනුමක් එක්කරන්නේ නොවේ ද?”

(පිටුව - 33)

චරිත නිරූපණය යනු අධ්‍යයනය කළ යුතු හා අභ්‍යාස කළ යුතු විෂයයකි. මෙහිලා චරිතවල අභ්‍යන්තර හා බාහිර චර්යා රටා පරෙස්සමෙන් විශ්ලේෂණය කළ යුතු ය. කතුවරයාට චරිත නිරූපණය පිළිබඳ හොඳ වැටහීමක් ඇති බව ඉහත උධෘතයෙන් සනාථ වෙයි.

“දුකකින් - දුකකට” කතාව පුද්ගලයාගේ මනස විශ්ලේෂණය කිරීමට ගත් වෑයමක් ලෙස හැඳින්විය හැකි ය. වඩාත් සරල හැඳින්වීමක් කළහොත් විවිධ සිදුවීම් පුද්ගලයාගේ මානසික චලනවලට බලපාන ආකාරය ඉහත කතාවෙන් නිරූපණය කෙරේ. කතාවේ ප්‍රධාන සිදුවීම් තුනක් තිබේ. එක; තාත්තාගේ අකල් මරණය යි. දෙක; අම්මාගේ මානසික කම්පනය යි. තුන; පුත්‍රයා සිය දිවි නසාගැනීමට තැත් කිරීමයි. මේ කතාව ද නිමාවට පත්වන්නේ නොසිතූ ආකාරයෙන් ය. එය චෙකොව් කතා සම්ප්‍රදායේ එක් ලක්ෂණයකි.

“තරඟ ධාවනය” කෙටිකතාව විදුදය සරසවියේ කෙටිකතා තරගයකින් ත්‍යාගයක් දිනාගත් නිර්මාණයකි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ජීවිතයේ තරගයට මුහුණ දෙන ආකාරය පිළිබඳ විවරණයක් ඊට ඇතුළත් ය. එක අතෙකින් ජයග්‍රහණය වෙත ළඟාවන ඔහු තව අතෙකින් අන්තයට ම පරාජය වෙයි. තරඟයේ ස්වාභාවය හා මනුෂ්‍යත්වය අතර පවත්නා නිරන්තර ගැටුම කතාවෙන් නිරූපණය වෙයි. “තරඟ ධාවනය” කතාව යම් පමණකින් සංවාදයට ලක් වී ඇති අතර විදුදය සඟරාවක ද එය පළකර තිබිණි.

“මානව දයාව” උත්ප්‍රාසය දනවන නිර්මාණයකි. එම කතාව ගොඩනැඟීම සඳහා යොදාගෙන ඇත්තේ චරිත දෙකකි. එක් චරිතයක් උගත් ධනවත් තරුණයෙකි. අනෙක් චරිතය නූගත් දුප්පත් ළමයෙකි. දෙදෙනා අතර පරතරය බොහෝ ය. මානව දයාව පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කරන බව කියන උගත් තරුණයා ළමයාට බැණ වදින්නේ ඔහු සත්‍යජිත් රායි ගැන හෝ නො දන්නා බවට චෝදනා කරමින් ය. එහෙත් පාරේ ඇතිවන සිද්ධියකින් මානව දයාව කනපිට පෙරැළෙයි. ඇත්ත මානව දයාව ඇත්තේ ළමයා ළඟද උගත් තරුණයා ළඟ ද යන්න ඉතා සියුම් නිරීක්ෂණයක් ඔස්සේ නිරූපණය කරන්නට කතුවරයා උත්සුක වෙයි. ගැඹුරු යටිපෙළක් සහිත කතාවකි.

සිරිනිමල් ලක්දුසිංහ මහතා පුරාවිද්‍යාව, ඉතිහාසය හා කෞතුකාගාර විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික උගතෙකි. ඔහුගේ මේ ශාස්ත්‍රීය ක්‍රියාවලිය යට අපූරු නිර්මාණකරුවකු සිටින බව “බොර වතුර” කතා සංග්‍රහයෙන් පැහැදිලි වෙයි. එහෙත් ඒ නිර්මාණකරුවා යට කරගෙන පුරාවිද්‍යාව මතුපිටට පැමිණ ඇත. “බොර වතුර” කතුවරයා පිළිබඳ සාධනීය සංකේතයකි. එබැවින් එය හොඳ වතුරක් ලෙස අපට පෙනෙයි.


නව අදහස දක්වන්න