ගැටලු නිමක් නැති ගලේවාඩිය | දිනමිණ

ගැටලු නිමක් නැති ගලේවාඩිය

රාජාංගනය වැව ආශ්‍රිත පැරණිතම ධීවර ගම්මානය ලෙස සැලකෙන ගලේවාඩියේ ජනතාව නිසි පානීය ජල පහසුකමක් නොමැතිවීම, පදිංචි ඉඩම් නිරවුල් නොවීම, රැකියාවේ නියැලීම සඳහා උපකාරයක් නොලැබීම, ගම්මානයේ ප්‍රවේශ මාර්ගය දැඩි ලෙස අබලන්ව තිබීම ආදි ගැටලු ගණනාවකින් පීඩාවට පත්ව සිටින බව පවසති.

ගලේවාඩිය මුල් පදිංචිකරුවකු වන හැටතුන් වියැති ෂෙල්ටන් පුනාන්දු මහතා කලක් තිස්සේ නොවිසඳුණු ගැටලු පිළිබඳව මෙසේ පැවසීය.

"අපි දැන් අවුරුදු හතළිහකට වැඩි කාලයක් තිස්සේ මේ ගමේ පදිංචි වෙලා ඉන්නේ. කාලෙකට සමහරු ඇවිල්ලා අපි මේ ඉන්නේ වැව් තාවුල්ලේ කියලා කියනවා. කවුරු මොනවා කිව්වත් මේ හදාගත්ත ගෙවල් දොරවල් දාලා අපි කොහෙ යන්නද. අපිට යන්න කියන කවුරුවත් අපිට ඉඩමක්, ගෙයක් දෙන්න කතා කරන්නේ නෑ. මේ දරු පැටව් එක්ක පාරට වැටෙන්න තමයි සමහරු කියන්නේ. ඒත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. "

දශක දෙකක පමණ කලක සිට ධීවර රස්සාවේ නියැලෙන ගලේවාඩියේ සුනිල් ගාමිණි මහතා - "අපි ධීවර රස්සාව කරලා ජීවත් වුණාට අපිට කිසිම කෙනෙක්ගෙන් උදව්වක් නෑ. අපි මේ ඉඩම්වල ඉන්නවා කියලා කොන් කරනවා. ධීවර රස්සාව නිකං නමට කරන දෙයක් වගේ වෙලා තියෙන්නේ මිනිස්සුන්ට දැල් ආම්පන්න ඔරු දෙනකොට මේ රස්සාව කරලා දරු පැටවු ජීවත් කරවන අපිට කාගෙන්වත් පිහිටක් නෑ. දහදුක් විදලා හම්බ කරන කීයෙන් හරි තමයි ඔරුවක්, දැලක් ගන්න වෙලා තියෙන්නේ. පොඩ්ඩ බැරිවෙන කොට එහෙම දුක් විඳලා ගන්න දැල් හොරු කපාගෙන යනවා. අපි මේ තැන්වල ඉඳලා මැරිලා ගියාට අපේ දරුවෝ හැමදාම මේ තැන්වල ඉන්න ඕන නෑ. මුළු දවසම වැවේ ඔට්ටු වෙලා හරි කීයක් හරි හොයාගෙන දරුවන්ට උගන්නන්න දඟලන්නේ ඒ නිසයි."

කේ. රන්තිලකා මහත්මිය - "අපිට කුඹුරු ඉඩකඩම් නෑ. ජීවත් වෙන්න තියෙන එකම ආදායම් මාර්ගය මේ වැව. මේ රස්සාව කරගන්න බැරිවුණොත් දරුවෝ බඩගින්නේ. අපි වැවට ආදරෙයි. ඉස්සර රුපියල් දෙතුන් දාහේ මාළු අහුවුණා. දැන් රුපියල් සීයක මාළු අල්ලගන්න බැරි දවස් තියෙනවා. අපි නිතරම කියනවා ක්‍රමයක් ඇතිව රස්සාව කරන්න විදිහක් හදලා දෙන්න කියලා. ඒත් වෙන දෙයක් නෑ. එහෙම වෙලාවට තමයි හිතෙන්නේ අපි විතරක් නීති රැකගෙන රස්සාව කරන එකේ තේරුමක් තියෙනවද?

ජේසු ස්වාමී දරුවන්ගේ පිහිට හැරුණු විට එතෙක් මෙතෙක් ගමට ලද එකම සම්පත ලයිට් ටික විතරයි.

මනෝරි උදේෂිකා මහතිමිය - "ගමේ මිනිස්සුන්ට බොන්න වතුර ටික හොයාගන්නත් පුදුම දුකක් විදින්න වෙලා. එදා ඉඳන්ම බොන්න වතුර ටික ගන්න පිළිවෙලක් කරලා දෙන්න කියලා ඉල්ලන්නේ. ඒත් මේ වෙනකල් හරිහමන් විදිහේ වැඩක් වුණේ නෑ. ගමටම වතුර බොන්න තියෙන්නේ එක ළිඳයි. ඒකේ වතුරත් දැන් කිවුලයි. හන්දියට ගිහිල්ලා සල්ලි දීලා වතුර අරන් එන්නේ. අතේ සල්ලි නැතිවුණහම කිවුල කියලා බලන්න බෑ ළිඳේ වතුරම බොනවා."

හැල්මේ හැදෙන මත්ස්‍ය සම්පත දිගුකාලීනව සිය යහපත උදෙසා යොදා ගැනීමේ නොහැකියාව රාජාංගණයේ ධීවර කර්මාන්තයට ප්‍රශ්නයක් වී ඇති බව කියවෙති. සමහර ධීවර කාර්මික නොපනත්කම් සේම වගකිවයුතු නිල හොබවන්නන්ගේ නොහැකියාවන් ද ඒ සඳහා ඉවහල්ව ඇති බව මේ ධීවරයෝ පවසති.

සන්ධ්‍යා පුෂ්පකුමාරි මහත්මිය - "පහුගිය පෑවිල්ලට මිනිස්සු මාළු ටික අල්ල ගත්තා. දැන් මාළු අහුවෙනවා හොරයි. කට ළඟටම වතුර පිරිලා තියෙන හින්දා මේ දවස්වල මාළු අහුවෙන්නේ නෑ. ආයේ මාළු පැටවු ලොකුවෙලා හැදිලා එන්න කාලයක් යනවා. මේ කාලේ හැම අතින්ම අමාරුයි. මාළුත් නෑ. සල්ලිත් නෑ. ජීවිතය යුද්ධයක්."

ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සී.කේ. සපුමොහොට්ටි මහතා වෙතින් කළ විමසීමක දී පැවසුයේ ජලාශ ආශ්‍රිතව මත්ස්‍ය ඇගිල්ලන් මුදාහැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති බවය. වැව් ආශ්‍රිතව ධීවර පරීක්ෂක ක්‍රියාවලිය සඳහා පැවැති ජලජීවි ව්‍යාප්ති නිලධාරීන්ගේ අඩුවද මේ වන විට සම්පුර්ණ වී ඇති බව ඒ මහතා පැවසීය.

ඩබ්ලිව්.ප්‍රදීප්
තඹුත්තේගම විශේෂ


නව අදහස දක්වන්න