සාරවිටේ කතන්දරේ | දිනමිණ

සාරවිටේ කතන්දරේ

විට, විඩ සහ බුලත් විටේ යනුවෙන් හඳුන්වන බුලත් විඩ දැන් සරසවි සිසුන්ද සපන ප්‍රවණතාවක් දැකිය හැකිය. දැනට බුලත් විටක් රුපියල් 20, 30, 35, 40 ආදී මිල ගණන්වලට වෙළෙදපොළේ අලෙවි වෙයි. සාර විඩ නම් වු බුලත් විටක් රුපියල් තිස් පහකි. උත්සව කලයේදී හා ලංකාවේ විවිධ රැස්වීම් අවස්ථාවලදී ද විටක් රුපියල් 30 සිට 40 දක්වා මිල නියම වේ.

විශේෂයෙන් ගාල්ල, මාතර, කොළඹ, ගම්පහ ආදී ප්‍රදේශවල බුලත් විට විකුණන සහ බුලත් විට සකස් කර මෙම කර්මාන්තයෙන් ජීවත්වන පිරිසක්ද ලංකාවේ සිටිති. මේ අතර පාරම්පරිකව බුලත් විට වෙළෙඳාමේ යෙදෙන පරම්පරා කිහිපයකට අයත් පිරිසක් ද සිටිති.

බුලත් අපට ලැබුණේ නාග ලෝකයෙන් යෑයි පැරැණි කතාවක් තිබේ. නාගරාජයකු බුලත් කොළය මෙලොවට ගෙනැවිත් ඇත්තේ කටේ තබාගෙනය. බුලත් කොළය උඩු යටි අතට හරි මැදින් දෙකට නැමූ විට එකට හිටින නැට්ට හා අගිස්ස නයාගේ කටේය. ඒ නිසා ඇතැමුන් බුලත් කොළය හපන්නට පෙර නටුව අගිස්සෙන් කඩා ඉවත දමයි. නැට්ටේ අගිස්සේ නයි විෂ ඇතැයි කියනු ලැබේ. එහෙත් ඇත්ත වශයෙන්ම ඒ දෙපොළේ තිබිය හැක්කේ එකතු වූ විෂබීජ ය. ඒ බුලත් නාගවල්ලි නමින් හැඳින්වේ.

බුලත් විට වෙළඳාමේ යෙදෙන කිහිප දෙනකු ඔවුන්ගේ ගැටලු පිළිබඳ විසිතර කළේ මෙසේය,

පාරම්පරික සාර විට විකුණන්නකු වූ මාටින් සිරිපාල ද සිල්වා මහතා, - "මම දවසකට සාර විට දෙසීයක් තුන්සීයක් විකුණනවා. මෙදා පාර නම් හරි සවුත්තුයි. පුවක් හොයා ගන්නෙ අමාරුවෙන්. හුඟ දෙනෙක් විට නැතිව ආපහු හැරිලා යනවා. අපිත් කැමතියි ඉස්සර ගාණටම දෙන්න. ඒත් මොනවා කරන්නද පුවක් නැතිනම්. විටේ කෑලි අඩු කරන්නෙ නැතිව ගාණ වැඩි කරන්න වුණා. රුපියල් තිස්පහයි. මී පැණිත් අපි සාර විටට දමනවා. මගේ නිවෙස හැදුවෙත් දරුවන් හතර දෙනෙක් හදලා දීග තල දුන්නෙත් සාර විට විකුණලා තමයි.

නගරයට ගිහින් කෙළින්ම පුවක් මිලදී ගත්තා. සමහරු මඩ පුවකුත් සැපයුවා. නිතරම මගෙ ළඟ පුවක් තියනවා. ඒත් දැන් මාසයක් විතර ඉඳන් පුවක් නෑ. ඩෙංගුවලට දඩ ගහන හින්දා මිනිස්සු මඩ පුවක් දාන්න බයයි. මේ වෙනකොට මං පුවක් ගෙඩියක් දෙන්නෙ රුපියල් දහයට. සාර විට සකස් කරන කළමනා ප්‍රමාණය විසිහයකට ආසන්නයි. එම කළමනා වෙනත් මල්ලක දමාගෙන වෙළෙඳ පොළට එනවා. විකිණෙන තරමට තමයි සාර විට සකස් කරන්නේ. මේකට කුඩා ඉඩක් තිබුණාම හොඳටම ඇති.

ඔන්න අප්‍රේල් මාසෙ ලිස්සන ගස්, කොට්ට පොර කණු හිටවන්න පුවක් ගස් කැපුවා. මැයි, ජුනිවල මොකද වුණේ දන්නවද. මහා තොරණ රාජයො කී දෙනෙක් වෙනුවෙන් පුවක් ගස් වන්දි ගෙව්වද. ඒ විනාසේ ප්‍රතිඵල තමයි අද දකින්න තියෙන්නෙ. හෙට අනිද්දාට තවත් පුවක් වාගේම බුලතුත් හිඟවෙයි. අනික මේ පායන විදියට බුලත් කොරටුවලින් බුලත් කඩන්නේ නෑ. පුවක් ඵලදාව අඩු වෙලා."

ශ්‍රී ලංකාවේ ද දැන් බුලත් විටක මිල රුපියල් 30 - 40 අතර මිලකි. මෙයට හේතුව පුවක් සහ බුලත් මිල ඉහළ යැමය. බුලත් විට සැපීම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික පුරුද්දක් නොවේ. ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, බුරුමය, බටහිර දිග චීනය, ලා ඕසය, තායිලන්තය, කාම්බෝජය, මලයාසියාව, වියට්නාමය, පැපුවා නිව්ගිනියා, වනවාටු ආදී රටවල ද බුලත් විට සැපීමේ සිරිත දක්නට ලැබේ.

බුලත් - පුවක් වෙළෙඳාමෙහි නියුතු සුනිල් මහතා තම ව්‍යාපාරය සඳහා පුවක් රැගෙන එන්නේ ගාල්ල,කෑගල්ල, මාවනැල්ල ප්‍රදේශවලිනි. බුලත් සඳහා කුලියාපිටිය, උඩුබද්දාව ප්‍රදේශවලින් තොග වශයෙන් විකුණන පොළවල් කරා ඇදෙන ඔහු සතියේ දින 07 ම විවිධ පොළවල්වල ව්‍යාපාර කටයුතු කරයි. උදෑසන කාලය බුලත්-පුවක් රැගෙන ඒම සඳහා වැය කරන ඔහු සවස සතිපොළවල් වල ව්‍යාපාර කටයුතුවල යෙදෙයි. සිල්ලර කඩ හිමියන් හා බෝට්ටු සඳහා බුලත්විට සපයන්නන් මොහුගේ පාරිභෝගිකයන් වන අතර මොහුගේ අදහස නම් වෙළඳාම විටක ලාභද, විටක අලාභද සහිතව සිදුවන බවයි.

විවිධ උත්සව අවස්ථාවල දී තැන තැන ගොස් සාර විට විකුණන ඇඹිලිපිටියේ ලියොනිස් මහතා - "අපි බුලත් වර්ගීකරණයකට ද ලක් කර තියනවා. ඒ අනුව ප්‍රධාන වශයෙන් බුලත් වර්ග 10 ක් පමණ තියනවා. සමහර බුලත් වර්ග අප අපේ සාර විටට එක් කර ගන්නේ නෑ. නාගවල්ලී, මහ මානේරු ( කහ මානේරු) රටදලු බුලත් ( රට බුලත්) ගල්දලු බුලත්, වැල් බුලත්, මැටි පලා බුලත්, කහ කීරිය බුලත්, ගැට කෝටු බුලත්, ගස් බුලත් ගැරඬි මානේරු මේවායෙන් සමහරක් තමයි අපි සාර විටට එක් කරන්නේ.

පුවක්, කරදමුංගු, ඉඟුරු පියළි, වැල්මී, හුණු, කස්තුරි යන මේවා එදා ආර්යයන් බුලත් සැපීමේදී භාවිතා කළ බව පෙනේ. බුලත් විටට එකතුවූ තවත් විශේෂාංගයක් නම් සුවඳ ද්‍රව්‍යක් වූ කයිප්පුය. මේවාද සාර විටට එක් කරයි.

ගැමි ගෙදරක බුලත් විටට වඩා රජ මැඳුරේ බුලත් වඩිය විවිධත්වයෙන් යුක්තය. එයට පස් පලවතක් අඩංගු වේ යයි සැලකේ. බුලත් පුවක් කපුරු කස්තුරි සමග තකුල් වසාවාසි ආදිය ද එනසාල් ද ඇත. එයට අමතරව සාදික්කා කපුකරිස්ස ඇට එනසාල් අරළු සහ පුවක් ඇතුළත් සංයෝගයක් ද කරාබු නැටි, වසා වාසි, කයිප්පු, කපුරු, කස්තුරි හා මුතුඅළු ඇතුළත් බුලත් විට ද භාවිතා කර ඇත.

ගම්බද ජනතාවගේ පාරම්පරික ආශ්වාදජනක කෑමක් වන ‘බුලත් විට‘ වල රස මතුකරන ප්‍රධානතම සාධකය පුවක්ය. ‘සිංහල පුවක්‘ හා ‘රට පුවක්‘ යනුවෙන් ලංකාවේ ප්‍රචලිත පුවක් වර්ග දෙකකි.

සිංහල පුවක් කහට රසය මූලික කරගත් රසයකින් යුත් අතර එම පුවක් වැඩිපුර කෑමෙන් ඇතමුන්ට මත් ගතියක් මෙන්ම ක්ලාන්ත ගතියක්ද ඇතිවේ. එබැවින් බුලත් විටක් කෑමේදී එම පුවක් අවම පමණින් යොදා ගැනීම පළපුරුද්දෙන්ම කළ යුතුයි. සිංහල පුවක් පැසීමට කලින් ‘ගොලෑ පුවක්‘ වන අතර හොඳින් පැසුණු ඉදුණු පුවක් රබ්බඩ ලෙස හැඳින්වේ. ගොලෑ පුවක් හා රබ්බඩ පුවක් අතරමැද පවතින පුවක් එනම් (මඳක් මදය මේරූ) හාල් පුවක් ලෙස ගැමි ජනතාව අතර ප‍්‍රකටය. අනෙක් වර්ගය වන්නේ සිංහල පුවක් ගෙඩියට වඩා ප්‍රමාණයෙන් විශාල වූ කහට රසයට වඩා කිරි රසයෙන් යුත් රට පුවක් නම් පුවක් විශේෂයයි.

දුටුගැමුණු රජ සමයේ පවා රජුගේ යුද හේවායන් සඳහා රජ ගෙදරට ‘බුලත් සැපයීමේ රාජකාරියට‘ වෙන්වූ පුද්ගලයන් කීපදෙනෙක් සිට ඇත. බුලතා යෝධයා ඉන් අයෙකි. බුලතා යෝධයා දුටුගැමුණු රාජ සේනාවට බුලත් සපයද්දී බුලත්විටට අවශ්‍ය පුවක් සපයා ගැනුණේ සබරගමුවෙන් හා මහනුවර කොත්මලේ වැනි ප්‍රදේශවලිනි.

ලංකින්ද නානායක්කාර
ඉමදුව සමුහ


නව අදහස දක්වන්න