සෙනෙට්වරයාගේ කට අරවන්න ඇමක් | දිනමිණ

සෙනෙට්වරයාගේ කට අරවන්න ඇමක්

ඇමරිකන් හස්ල් 57

ෆෙයින්බර්ග් කෙටියෙන්ම කතාව නිම කළේ, වැදගත් කටයුත්තකට මුල්තැන දෙන්නට බව වෙයින්බර්ග්ට දැනිණ. හේ රිසීවරය පහළට දැම්මේ තනිවම සිනාසෙමිනි. නොබෝ වෙලාවකින් සෙනේටර් විලියම්ස්ගේ කාර්යාල කාමරයේ ඇතිවන කලබැගෑනිය ගැන සිහිවත්ම වෙයින්බර්ග් සිනාව මැඬ ගත්තේ අපහසුවෙනි. තරගයට මෙන් හැඬවෙන දුරකතනවලට පිළිතුරු බඳින්නට සෙනේටර්ට අමතර කටක් ඕනෑවනු ඇත. එමීර් යසීර්ට ඕනෑකරන තහවුරු කිරීම ලබාදෙන ලෙසට සිය සගයන්ගෙන් එල්ල වන බලපෑම හමුවේ  ඔහුට තවදුරටත් නිහඬව සිටින්නට නොහැකි වනු ඇත. මේ වෙලාවේ ඒ සියලු දෙනාම දඩබලු රැළක් මෙන් මුදලට වහ වැටී සිටිති.

සෙනෙටර් මෙන්ම පතල් ගනුදෙනුවට එක්ව සිටි ඔහුගේ හෙංචයියන් පිරිසද අමු තක්කඩි රැළකි. ඒ සියලුදෙනාම නිතරම සිටියේ ද සාගින්දරෙනි. එය මුදල් සාගින්දරකි. යසීර්ගෙන් ණය ලබා දීම වෙනුවෙන් තමාට ගෙවීමක් අවශ්‍ය බව වෙයින්බර්ග් කියා සිටියදී, හොරමැරකම්වලින් පදම්ව සිටි ඒ එක් අයකුවත් ඇහිපිල්ලමක් ගසා හෝ එම අසම්මත ඉල්ලීමෙන් සැළුණු බවක් ඇඟවූයේ නැත. එවන් දේ ඔවුන්ට අමුත්තක් වූයේ ද නැත. ණය දෙන්නේ රජයේ කොන්ත්‍රාත්තු දෙන බවට සෙනේට්වරයා දෙන වාචික පොරොන්දුව නමැති කොන්දේසිය මත බව කිව්වා නම් හෙංචයියන් එකතු වී විලියම්ස්ගේ කට අරවනවා සිකුරුය. කරන්නට ඇත්තේ හොරු රැළ ටිකක් කුලප්පු කිරීම පමණි.

මේ අතර සෙනෙටර් විලියම්ස්ගේ භූමිකාව ගැන තවත් වැදගත් තොරතුරක් එළි කර ගන්නට පොටක් පෑදුණේය. සෙනෙටර්ගේ නීතීඥ ෆෙයින්බර්ග් සමඟ කළ දුරකතන සංවාදයකදී ෆෙයින්බර්ග් කියා සිටියේ, පතල් සංස්ථාවේ තමාට හිමි කොටස් සිය නමින්ම තබාගැනීමට සෙනෙටර් විලියම්ස්ට අවශ්‍ය බවයි. ඒ ගැන වෙයින්බර්ග්ගේ අදහස දැනගැනීමට ඔහුට වුවමනා වී තිබුණි. ඉන් මෙතෙක් කලක් සෙනේට්වරයා ගැන වෙයින්බර්ග් සැක කළ කරුණක් ඔප්පුවිය. ඒ ලෝකෝත්තරයකු වූ විලියම්ස් සියලු තුරුම්පු එකවර භාවිත නොකරන බවය. ටයිටේනියම් ගනුදෙනුවේ තමාගේ භූමිකාව ප්‍රසිද්ධියට පත්කළ විට ඔහු කොන්ත්‍රාත්තු ඉල්ලාගෙන රජයට බලපෑම් කරන්නේ කෙසේද ?

“යකාට ගියාවේ! ඒක පුදුම කතාවක්. ටයිටේනියම් බිස්නස් එකට එයා සම්බන්ධයි කියලා එළිවුණාම එයා ඒකට කත් අදිනවා කියලා හැමෝම දැනගන්නවානේ. එතකොට කොහොමද එයා අපිට වැඩක් අල්ලලා දෙන්නේ ?“

පුදුමය අඟවන්නටත් වඩා වෙයින්බර්ග්ට අවශ්‍ය වූයේ සෙනේට්වරයාට එවන් එඩිතර වන්නට තරම් හයියක් ලැබුණේ කෙසේද කියා දැනගන්නටය.

“හ්ම්ම්.....මට තේරෙනවා. ඔයා හරි.“ ෆෙයින්බර්ග්ගේ හඬ කල්පනාකාරීය.

“මං කියන්නේ, සෙනේට්කාරයා එහෙම දෙයක් කළාම අපි කරපු හැම දෙයක්ම වතුරෙ. අපි එයාව මේකට සම්බන්ධ කරගත්ත එකෙනුත් වැඩක් නැතිව යනවා. නැද්ද මං කියන්නේ ? “

“ඒක නම් එහෙම තමයි. හරි මං ඒ ගැන බලාගන්නම්. ඔයා කලබල වෙන්න එපා. මම ඒකට වෙන පිළිවෙළක් යොදන්නම්.“

ඉන් අනතුරුව වෙයින්බර්ග් ඇමතුවේ නගරාධිපති එරිචෙට්ටිවය. සෙනෙටර් විලියම්ස්ගේ කටඅරවන්නට නම් හොරු රැළේ සියලුදෙනා ලවාම ඔහු මත හොඳ පීඩනයක් යෙදිය යුතුය. ඇමට දැමිය යුත්තේ මුදල් තණ්හාවයි. එරිචෙට්ටි, ෆෙයින්බර්ග්, කැට්ස් , සැන්ඩි විලියම්ස් යන මේ සියලුදෙනාටම තිබුණේ එකාට එකා නොපරදින තණ්හාවකි. ටයිටේනියම් ගනුදෙනුව සාර්ථක වුණොත් ඒ හැමකෙනාටම ලැබෙන කොටසේ තරබාරුකම ගැන වෙයින්බර්ග් විස්තර කරද්දී එරිචේට්ටිට කෙළ හැළුණි. දුරකතනයේ අනෙක් කෙළවරේ සිටියත් නගරාධිපතිගේ කෑදරකම වයරය ඔස්සේ ගලාගෙන එන බව දැණුන වෙයින්බර්ග් තොණ්ඩුව තවත් තද කළේය.

“මේකෙන් ඔයාලා හැමෝටම ලැබෙන වාසිය කොච්චරද කියලා ඔයා දන්නවානේ. අරාබි එමීර් කෙනෙක්ගෙන් ඇරෙන්න මෙහෙම වාසනාවක් වෙන කොහෙන්වත් කඩාපාත් වෙන්නේ නැහැ. ඒක ඔයාගේ සෙනේට්කාරයට පහදලා දෙන්න. එයාට ගනුදෙනුවෙන් සීයයට විස්සක් ගෙවන්නේ පොල් ගාන්න නෙවෙයි. වැඩක් ඇති දෙයක් කරන්න. ඒක එයාගේ කටින්ම එමීර්ට කියන්න බැරි නම් එයා අපි ගාවට ඇවිත් පොළොවේ පස් කකා කොච්චර පොරොන්දු දුන්නත් වැඩක් නැහැ. එමීර්ට ඕනේ එයාගේ වචනේ විතරයි. හැබැයි ඒක එයාගේ කටින්ම එන්න ඕනේ. එයා පස්ස ගැහුවොත් ඔක්කොම හබක්. ඔන්න ආයේම නොකිව්වයි කියන්න එපා ඇන්ජි.“

“හරි, හරි, මෙල් මම පිටීගේ (සෙනේට්ර් විලියම්ස්) බෙල්ලෙන් අල්ලගෙන හරි වැඩේ කරලා දෙන්නම්. මාව විශ්වාස කරන්න. මම මේ දැන්ම මිනිහාට කතා කරලා මේකේ දෙකෙන් එකක් බේරගන්නම්.“ එරිචෙට්ටි පොරොන්දු වූයේ දැඩි විශ්වාසයකිනි.

වෙයින්බර්ග් ඊළඟ ඇම වැදුණේ ෆෙයින්බර්ග්ටය. ඒ වහාම ෆෙයින්බර්ග්ට ඇමතුමක් ගත් වෙයින්බර්ග් කියා සිටියේ තමා යසීර්ගේ පණිවුඩයක් ගෙන එන බවයි.

“ඇලෙක්ස්, යසීර්ගෙන් පණිවුඩේ ආපු ගමන්ම මම අනික් අතට ඔයාට ගත්තේ මේක ඒ තරම්ම වැදගත් හින්දයි. මේක තවත් මඩේ ඔබ ඔබා ඉන්න අපිට බැහැ. වැඩේ ඉවරයක් දකින්න ඕනේ නම් එයා මේකට බැහැල වැඩ කරන්න ඕනේ කියලා සෙනෙටර්ට කියන්න. යසීර් කියනවා පිටී විලියම්ස් නැතිව මේ ගනුදෙනුව පවතින්නේ නැහැයි කියලා. මේ වැඩේ සම්පුර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ සෙනෙටර් ආණ්ඩුවෙන් අපිට ජොබ් අරන්දෙන එක උඩ. “

“හරි, මෙල්, ඔයා කියපු දේ මට තේරුණා. අපි කොහොම හරි පිටීගේ කට අරවමු. මම මේ දැන්ම වැඩේට බහිනවා.“

ෆෙයින්බර්ග් කෙටියෙන්ම කතාව නිම කළේ, වැදගත් කටයුත්තකට මුල්තැන දෙන්නට බව වෙයින්බර්ග්ට දැනිණ. හේ රිසීවරය පහළට දැම්මේ තනිවම සිනාසෙමිනි. නොබෝ වෙලාවකින් සෙනෙටර් විලියම්ස්ගේ කාර්යාල කාමරයේ ඇතිවන කලබැගෑනිය ගැන සිහිවත්ම වෙයින්බර්ග් සිනාව මැඬ ගත්තේ අපහසුවෙනි. තරගයට මෙන් හැඬවෙන දුරකතනවලට පිළිතුරු බඳින්නට සෙනෙටර්ට අමතර කටක් ඕනෑවනු ඇත. එමීර් යසීර්ට ඕනෑකරන තහවුරු කිරීම ලබාදෙන ලෙසට සිය සගයන්ගෙන් එල්ල වන බලපෑම හමුවේ ඔහුට තවදුරටත් නිහඬව සිටින්නට නොහැකි වනු ඇත. මේ වෙලාවේ ඒ සියලු දෙනාම දඩබලු රැළක් මෙන් මුදලට වහ වැටී සිටිති. සෙනේට්වරයාගේ අනන්‍යතාව රහසක්ව තබාගැනීම ගැන මේ වෙලාවේ ඒ කිසිවකුත් වද වෙන්නේ නැත. කොටින්ම සෙනෙටර් විලියම්ස්වත් මේ වෙලාවේ තමා ගැන හිතනවාට වඩා මුල්තැන දෙන්නේ යසීර්ගෙන් කොටා ගන්නට ලැබෙන මිලියන දාහතටය. දැන් එළැඹ තිබෙන්නේ කවුරු කවුරුත් උරගා බැලෙන ගින්දර පරීක්ෂණයයි .

ඇමරිකානු රජය නියෝජනය කළත්, සෙනෙටර් විලියම්ස් යනු පල් හොරෙක් බව වෙයින්බර්ග් දැන සිටියේ බොහෝ කලක සිටය. නමුත් මේ දක්වා සිය කෙරුම්කාරකම් ඔහු ප්‍රසිද්ධීයේ පෙන්වූයේ නැත. ෆෙයින්බර්ග් ඇතුළු තමාගේ සෙසු අතවැසියන්ට මුවාවී සෙනේට්වරයා ගෙනගියේ බියගුලු, හොර ක්‍රියාපිළිවෙතකි. දැන් ඔහුට එළිපිටම නටන්නට සිදුව ඇත. නැටුමේ ප්‍රතිඵලය සෙනෙටර් විලියම්ස්ට අධිකරණ කූඩුවට නැගීමට සිදුවීමය. ඒ සඳහා යසීර්ට දෙන පොරොන්දුව ප්‍රායෝගිකව ඉෂ්ඨ සිද්ධ වීම අනවශ්‍යය. පොරොන්දුව කට වචනයෙන් දීම පමණක් ප්‍රමාණවත්ය. සෙනෙටර් පිටී විලියම්ස්ට තවත් වසර ගණනාවක් හිරබතේ රස බැලීමට පුළුවන.

ජූනි මාසය මැද භාගය වන විට යසීර්- සෙනෙටර් හමුවට කටයුතු සූදානම් වෙමින් තිබිණි. ෆෙයින්බර්ග්, කැට්ස්, සැන්ඩි හා එරිචෙට්ටි යන මේ සියලුදෙනාගේ සාමුහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස සෙනෙටර් විලියම්ස්, යසීර් හමුවී සිය ප්‍රතිඥාව දීමට එකඟව සිටියේය.

“මිනිහා ගාණට වැඩේ දේවි. ආණ්ඩුවේ ටයිටේනියම් කොන්ත්‍රාත් ටික ඔක්කොම සෙට් කරලා දෙනවා කියලා මිනිහා යසීර් ළඟ වැටිලා කකුලුත් ලෙවකෑවේ නැත්නම් තමයි පුදුමේ. අපි එයාව ගාණට බය කරලා තියෙන්නේ. අපි වගේම සෙනෙටර්ටත් ඕනේ ඩොලර්. හිතේ සැකයක් තියාගන්න එපා මෙල්, ඔයා හිතනවාටත් වඩා හොඳට වැඩේ වෙයි. “

කවුරුන් කෙසේ අස්වැසුවත් වෙයින්බර්ග් සිටියේ අසහනයෙනි. වෙයින්බර්ග්ගේ හිත කිව්වේ නිව් ජර්සි ප්‍රාන්තය නියෝජනය කළ සෙනේට්වරයා සහජයෙන්ම අමාරුකාරයකු බවය. ඔහුගේ අසහනයට හේතුවූයේ එයයි.

ජූනි 28දාට හමුව යොදා ගත්තේ වර්ජිනියා ප්‍රාන්තයේ ආර්ලින්ටන්හි පිහිටි මැරියට් අවන්හලේදීය. වොෂින්ටනයේ සිට ගලාගෙන ආ පොටෝමැක් නදිය ගලා බැස ගියේ මැරියට් අවන්හල අසලිනි. හමුවට පෙරදින රාත්‍රියේදී යසීර් හොර රහසේම තමන්ගේම ගුවන්යානයකින් පැමිණ අවන්හලේ ලැගුම්ගනු ඇත. සිය අනන්‍යතාව වසන්කර ගැනීමේ අවශ්‍යතාව නිසා ඔහු අවන්හලේ අමුත්තන්ගේ ලේඛනයේ ලියාපදිංචි වනු ඇත්තේ ව්‍යාජ නමකිනි. ෆෙයින්බර්ග් වඩාත්ම සැනසීමට පත්වුණේ සෙනේට්වරයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට මුල් තැනදි කටයුතු කරන ලෙසට යසීර් කාටත් උපදෙස් දී ඇති බව වෙයින්බර්ග් දැන්වූ විටය.

“එමීර් අපිට උපදෙස් දීලා තියෙන්නේ සෙනෙටර්ට ෆුල් ගාඩ් එක දෙන්න කියලා. තමන් නිසා සෙනෙටර්ට කරදරයක් වෙනවට එයා කොහෙත්ම කැමති නැහැ. ඒ නිසා මේ මීටින් එක පුළුවන් තරම් රහසින් කරන්න තමයි එයාගේ කැමැත්ත. යසීරුයි, ‍සෙනේටර්යි ඇරුණම මේකට එන්නේ මමයි, ඇමරොසෝයි, එරිචෙට්ටියි විතරයි. කොටින්ම තමන්ගේ ස්ටාෆ් එකවත් මේකට ගෑවෙනවට එමීර් කැමති නැත්තේ සෙනෙටර් ගැන හිතලමයි.“

“රත්තරන් වටින එමීර් කෙනෙක්නේ. ආණ්ඩුවේ කොන්ත්‍රාත් ගන්නකොටත් මම සෙනෙටර්ට විශේෂයෙන් මතක් කරන්නම්.“ ෆෙයින්බර්ග් තවත් පොරොන්දුවක් දුන්නේ කළගුණ දක්වන අදහසිනි.

එමීර් යසීර්ගේ රංගනය සඳහා යළිත් වරක් ඔහායෝ සිට එෆ්.බී.අයි. නිලධාරි ෆාර්හාට් නිව්යෝක් වෙත ගෙන්වා ගැනුණි. ඇබ්ස්කැම් අලුත්ම වික්‍රමය ගැන ඔහු දැනුවත් කිරීමට විශේෂ හමුවක් අබ්දුල්ගේ ලෝන්ග් අයිලන්ඩ් කාර්යාලයේදී පැවැත්විණි. ෆ්ලොරිඩාවල නෞකා සාදයේදී කළා සේ මෙහීදීත් යසීර් ඉංග්‍රීසි කතා නොකරන, එහෙත් ඉංග්‍රීසිය මැනවින් අවබෝධ කරගත හැකි එමීර්වරයකු ලෙස ඉදිරිපත් කිරීමට තීරණය විය. ප්‍රශ්න ඇසීම ඇමරොසෝ කරද්දී, කතාබහ ඉදිරියට ගෙනයාම සෙනෙටර්ට හා එරිචෙට්ටිට කරන්නට පුළුවන්කම එමඟින් ලැබිණි. මීළඟට වෙයින්බර්ග්ට තිබූ ලොකුම අර්බුදය ෆාර්හාට්ගේ ඇඳුමය. කවදත් පිළිවෙළට ඉන්නට ප්‍රියකරන වෙයින්බර්ග්ගේ ලෝකයේ ඇඳුම් පැලඳුම්වලට අංක එක හිමිවිය. ඇඳුම් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නකු ලෙස වෙයින්බර්ග් ප්‍රකට නිසාම මෙවැන්නකට මුහුණ දීමට සිදුවන බව ජෝන් ගුඩ් කල් තියාම දැන හුන්නේය. සුපිරි ධනවත් එමීර්වරයකු ලෙස ෆාර්හාට් කරන රංගනය සර්ව සම්පූර්ණවීමට නම් ඔහුගේ තත්වයට ගැලපෙන වටිනා ඇඳුමක අවශ්‍යතාව වෙයින්බර්ග් අවධාරණය කරද්දී ගුඩ්ට කෙඳිරි ගෑවුණේ බියුරෝවේ මුදල් අගහිඟකම් ඇබ්ස්කැම් මෙහෙයුම මතින් දෙගොඩ තලායමින් තිබූ බැවිනි.

ගුඩ්ගේ අසරණ ප්‍රතිචාරය වෙයින්බර්ග්ද අපේක්ෂාවෙන් සිටියකි. ගුඩ්ට කිසිවක් කීමට ඉඩක් නොතැබූ වෙයින්බර්ග් කළේ ෆාර්හාට්ද රැගෙන හන්ටින්ටන්හි පිහිටි සුපිරි පැලැන්තියේ මහත්වරුන්ගේ ඇඳුම් අලෙවිසලක් වෙත යාමය. ඩොලර් පන්සියයක් වටිනා ඇඳුම් කට්ටලයකින් හා ඊට හොඳ පෙනුමක් ලබාදීමට අවශ්‍ය සෙසු කළමනාවලින්ද බියුරෝ නිලධාරියා සැරසූ වෙයින්බර්ග් වැයවු මුදල ෆ්ලොරිඩාවල සෆෝක් එෆ්.බී.අයි. කාර්යාලයට බැර කළේය. ගුඩ් වැනි මහත්මා ගතිගුණ ඇත්තකු පීඩාවට පත් නොකිරීමට තරම් වෙයින්බර්ග් කාරුණික විය.

පරිවර්තනය රුක්ලන්ති පෙරේරා

හෙට - සෙනෙට්වරයාට පාතාල උපදෙසක්

නව අදහස දක්වන්න