පරාජයන් ජයගැනීම | දිනමිණ

පරාජයන් ජයගැනීම

වසන්ත ප්‍රිය රාමනායක

කොමිෂන් සභා පිහිටුවීමේ පැත්තෙන් ලබාගෙන තිබෙන ප්‍රගතිය ද සාධනීය තැනක පවතී. සමහර පත්කිරීම් ආණ්ඩුවේ නායකයනට හිතුමතයට සිදුකළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ. එසේ පත්කරන්නේ නම් ඒවා හරවා එවීමේ බලය ද කොමිෂන් සභා සතුවේ. මේ වන විට ප්‍රායෝගික තලයේ එහි යම් යම් අඩුපාඩුකම් පැවැතිය ද ප්‍රතිපත්තියක් මෙන්ම සංයුතියක් ලෙස ගෙවී ගිය සිව් වසර තුළ කොමිෂන් සභා ස්ථාපිත කිරීමට හැකිවීම ජයග්‍රහණයකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිය ධුර කාලයේ සිව්වැනි පදවිප්‍රාප්තිය පසුගිය ජනවාරි 8 වැනිදා උදාවිය. එදින එතුමා ගත කළේ මාතලේ නව ලග්ගල නගරය විවෘත කිරීමේ උත්සව රැසකය. එසේම කළුගඟ ව්‍යාපෘතිය උදෙසා ඉදිවූ වේල්ලේ කටයුතු අවසන් කර අදාළ කොන්ත්‍රාත් සමාගම මගින් රජයට බාරදීම ද එදින සිදුවිය.

ජනාධිපති මෛත්‍රී 2015 ජනවාරි 8 වැනිදා සිය ධුරයට පත්වීමත් සමගම ප්‍රකාශයට පත් කළ තිරසර සංවර්ධන ප්‍රතිපත්තියේ පිළිබිඹුවක් ලෙසින් ලග්ගල නව නගරය නිර්මාණය වී තිබුණි. රාජ්‍ය ආයතන ඇතුළුව අංගසම්පූර්ණ නගරයක් එහි නිර්මාණය වී තිබුණේ හරිත නගර සංකල්පයට අනුවය. එය තිරසර සංවර්ධන දැක්මේ නාගරික නගර නිර්මාණයක් සේ සැලකේ.

මේනිසා ජනාධිපතිවරයා සිය පදවිප්‍රාප්තිය වෙනුවෙන් කොළඹ නගරයේ උත්සවයක් සමග රැස්වීමක් සංවිධානය කිරීමෙන් තොරව මෙවන් කාර්යයක නිරතවීමේ වැදගත්කමක් ඇත. මේනිසා පසුගියදා ලග්ගල දී සිදුවූයේ සිය ප්‍රතිපත්තියේ ප්‍රායෝගික වැඩක් නිම කිරීමේ අවස්ථාවකි.

එහෙත් ඔහු ගෙවීගිය කාලපරිච්ඡේදයට අදාළව කළ කී දෑ මෙන්ම තමන්ට ඉටු කිරීමට නොහැකි වූ කාරණා ගැන ද සඳහන් කරමින් යම් සමාලෝචනයක යෙදීමට ද මෙහිදී අමතක නොකළ බව පෙනේ.

කැපකිරීම් සහ ප්‍රතිඵල

‘‘ගෙවී ගිය සිව් වසරක කාලය තුළ රටේ ජනතාව බලාපොරොත්තු වූ අරමුණු ඉෂ්ට කර ගන්න අපි ලොකු කැප කිරීමක් කර තිබෙනවා. එහි ප්‍රතිඵල රාශියක් තිබෙනවා. එහි බොහෝ සාර්ථකභාවයන් තිබෙනවා. ඒවගේම අසාර්ථකභාවයන් ද තිබෙනවා. ජය මෙන්ම පරාජය ද තිබෙනවා. ලැබූ ජයග්‍රහණ පිළිබඳව කතා කරනවා වගේම ලබා ඇති පරාජයන් පරාජය කර ඒවායින් ජයග්‍රහණය කරන්න ඉදිරි කාලසීමාව තුළ මම තමුන්නාන්සේලා වෙනුවෙන් කැපවෙනවයි කියන එක මේ අවස්ථාවේ සහතික කරනවා. ඒ ලැබූ ජය ගැන මා දිගට කතා කරන්නේ නැහැ. යහපාලන දේශපාලන සංකල්පයේ මූලික පදනම ලෙස සැලකූ රාජ්‍යයේ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ දූෂණය, වංචාව, නාස්තිය, හොරකම පරාජය කිරීමේදී අපි පරාජය වෙලා තිබෙනවා. මම එයයි කිව්වේ පරාජය වූ දේ ජයගන්න අපි සියලුදෙනාම නැවත අධිෂ්ඨානශීලීව එකතුවෙමු කියලා.

සිව් වසරක අත්දැකීම් විමසද්දී, මේ රට ගොඩනඟන්න, මේ රටේ ජාතික ආදායම ශක්තිමත් කරන්න, ජනතාවට සුඛිත මුදිත ආර්ථිකයක් සමඟ ප්‍රබුද්ධ සමාජයක් ගොඩනඟන්න මේ රටේ අපට තිබෙන බරපතළම අභියෝගය දූෂණය, හොරකම, නාස්තිය සහ වංචාවයි. දේශපාලනඥයන් ගේ සිට පහළට ගලා ගිය මේ මහා ජාතික ව්‍යසනය මේ රටින් තුරන් කරන්න අපි සියලුදෙනා අත්වැල් බැඳ ගන්න ඕනෑ”.

මෙහිදී ඔහු ලබාගත් ජයග්‍රහණයන් මෙන්ම පසුබැසීම් ගැනද සඳහන් කිරීමට අමතක නොකළ බව පෙනේ. එසේම යහපාලන දේශපාලන සංකල්පයේ මූලික පදනම ලෙස සැලකූ රාජ්‍යයේ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ දූෂණ, වංචා, නාස්තිය හා හොරකම පරාජය කිරීමේදී තමන් පරාජය වී තිබෙන බව සඳහන් කිරීමටද ඔහු අමතක නොකළේය.

මෙය වැදගත් ප්‍රකාශයකි. දූෂණය, වංචාව, නාස්තිය පරාජය කිරීමට නොහැකි වූවාය කියන්නේ එය තවමත් සිදුවෙනවා යන්නයි. විශේෂයෙන්ම මහබැංකු මංකොල්ලය වැනි මහා පරිමාණයේ දූෂණ කාරණා මීට හේතු වන්නට ඇත. එහෙත් මහබැංකු මංකොල්ලය වැනි සිදුවීම් වුවද යටපත් නොවී නීතිය ඉදිරියට ගෙන ඒමට වත්මන් රජයට හැකිවී තිබේ. ජනාධිපතිවරයා ඊට එරෙහිව දැරූ සෘජු අනම්‍ය පිළිවෙත ද ඊට හේතුවන්නට ඇත. විශේෂයෙන්ම කොමිෂන් සභා ස්ථාපිත කර ඒවාට නිදහසේ වැඩ කිරීමට පසුගිය සිව්වසර තුළ හැකිවීම නිසා යහපාලනය පැත්තෙන් (පෙරට වඩා නැතිනම් 2015 ජනවාරි 8 වැනිදාට පෙරට වඩා) යම් සාධනීය වෙනසක් ඇතිවී තිබේ. එහෙත් ජනාධිපතිවරයා බලාපොරොත්තු වන මට්ටමින් පමණක් නොව එතුමා හිතන ආකාරයට ජනතාව බලාපොරොත්තු වන මට්ටමින් සාර්ථක ප්‍රතිඵල නැතුවා විය හැකිය.

ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල් ආර්ථික සංවර්ධනයේ දී වඩාත් ජයගතයුතු කාරණය වන්නේ එම රටවල සංවර්ධන ව්‍යාපෘති හරහා සිදුවන නාස්තිය, දූෂණය අක්‍රමිකතා පිළිබඳ කාරණායි. ඊට දේශපාලනඥයින් පමණක් නොව නිලධාරීහුද සම්බන්ධව සිටිති. මෙම රටවල ජාතික සම්පත් මංකොල්ලය සිදුවන්නේ මෙම දෙපාර්ශ්වයේම අන්‍යෝන්‍ය මැදිහත්වීම සමගිනි. එය සම්පූර්ණයෙන්ම නැතිකළ නොහැක. එහෙත් යම් සැලකිය යුතු මට්ටමකින් අවම කළ හැකිය.

ජයග්‍රහණ

පසුගිය සිව් වසරක කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දුන් යහපාලන රජය යටතේ මේ සඳහා යම් සාධනීය ඉසව්වකට රට ගමන් කර තිබුණි. ජනාධිපතිවරයා එදා ලග්ගල නව නගරය විවෘත කරමින් සඳහන් කර තිබුණේ සිය ධුරයේ ඉදරි කාලය පරාජය වී ඇති කාරණා ජයගැනීමට අදිටන් කරගෙන සිටින බවයි.

මෙහිදී එතුමා වඩාත් අවධානය යොමු කළේ ජයගත් කාරණා ගැන නොවේ. පසුබෑමකට ලක්වූ දේ ගැනය. එහෙත් පසුගිය සිව්වසර තුළ යහපාලනය පැත්තෙන් ජයගත් කාරණා ද වේ. 19 වැනි සංශෝධනය, කොමිෂන් සභා පිහිටුවීම හා තොරතුරු දැනගැනීමේ පනත ආදිය සඳහන් කළ හැකිය. අපේ රටේ පමණක් නොව වෙනත් බොහෝ රටවල ද සිදුවී නොමැති ජනාධිපතිවරයෙක් බලයට පත්වීමෙන් පසු තම බලතලවලින් කොටසක් අත්හැරීමේ දුලබ දේශපාලන සිදුවීම සිදුවන්නේද ගෙවීගිය සිව්වසර තුළය.

19 වැනි සංශෝධනය මගින් ජනාධිපති බලතල කප්පාදු කිරීම අඩුවෙන් තක්සේරු කළ යුතු කරුණක් නොවේ. වත්මන් ජනාධිපතිවරයා ගේ පෞද්ගලික මැදිහත්වීම නොවන්නට එවැන්නක් කිසිසේත්ම සිදුවන්නේ නැත. එය කොතරම් ප්‍රබල මැදිහත්වීමක් ද යන්න පැහැදිලි වන්නේ 18 වැනි සංශෝධනයට ඡන්දය ප්‍රකාශ කළ තම දේශපාලන සගයන්ම ඊට අවැසි ඡන්ද ප්‍රමාණය ලබාගැනීම සඳහා එකඟ කරවා ගැනීම නිසාය.

ප්‍රජාතන්ත්‍රවාදය

එදා 19 වැනි සංශෝධනයේ ජනමත විචාරණයකට තුඩු දෙන කාරණා ඉවත් කරනු ලැබුවේ අධිකරණයේ මැදිහත්වීමෙනි. මෙම සංශෝධනයෙන් තහවුරු කළ ව්‍යවස්ථාමය කාරණා කොතරම් ප්‍රබල ද යන්න පසුගිය සමයේ ඇතිවූ දින 52 දේශපාලන පෙරළියේ දී තහවුරු විය. එහිදී අත්හදා බැලූ සමහර ව්‍යවස්ථාමය කාරණා යළි නොවෙනස් වන අයුරින්ම තහවුරු විය. වෙන විදියකින් සඳහන් කරන්නේ නම් දින 52 දේශපාලන පෙරළිය 19 වැනි සංශෝධනය තවදුරටත් තහවුරු කිරීමකි. එසේම එය ගෙවීගිය සිව් වසර තුළ ජනාධිපතිවරයා රටට අත්පත් කර දුන් වෙනත් කිසිදු ජනාධිපතිවරයකු අත්පත් කර නොදුන් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ජනතාව ලැබූ ජයග්‍රහණයකි.

මේ නිසා මහජන මුදල් වැය කරමින් සිදු කරනු ලබන ඉදිරි ජනාධිපතිවරණයක වටිනාකම ද අඩුවී තිබේ. මේ සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය මීට වඩා බරපතළ අයුරින් සාකච්ඡා කිරීම වැදගත්ය.

එසේම කොමිෂන් සභා පිහිටුවීමේ පැත්තෙන් ලබාගෙන තිබෙන ප්‍රගතිය ද සාධනීය තැනක පවතී. සමහර පත්කිරීම් ආණ්ඩුවේ නායකයනට හිතුමතයට සිදුකළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ. එසේ පත්කරන්නේ නම් ඒවා හරවා එවීමේ බලය ද කොමිෂන් සභා සතුවේ. මේ වන විට ප්‍රායෝගික තලයේ එහි යම් යම් අඩුපාඩුකම් පැවැතිය ද ප්‍රතිපත්තියක් මෙන්ම සංයුතියක් ලෙස ගෙවී ගිය සිව් වසර තුළ කොමිෂන් සභා ස්ථාපිත කිරීමට හැකිවීම ජයග්‍රහණයකි.

එහෙත් ආර්ථික සංවර්ධනය පැත්තෙන් පසුගිය සිව් වසර තුළ රජයට යම් විවේචනයන් එල්ලවෙමින් පවතී. ඊට හේතුව වඩාත් නව ලිබරල්වාදී ඉසව්වකට රජය ගමන් කරමින් සිටින බවයි. මෙය දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ චින්තනයක සිටින ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් වීම පුදුමයක් නොවේ. නව ලිබරල් ආර්ථික කාරණා පමණක් නොව සිංගප්පූරු ගිවිසුම, පෞද්ගලිකකරණය ආදී කාරණා සම්බන්ධයෙන් ද නොකැමැත්තක් හා යම් කනස්සල්ලක් ජනාධිපතිවරයාට තිබෙන බව පෙනේ. ඔහු ජාතික ආර්ථික සභාව පිහිටුවන්නේ මේ තත්ත්වයන් පාලනය කිරීමට බව පෙනේ.

එහෙත් ආර්ථික සභාවට වැඩ ඇරඹීමට සිදුවන්නේ එය පිහිටුවීමෙන් කලකට පසුවය. ආණ්ඩුවේ අභ්‍යන්තරය කෙසේ සැකසී තිබුණ ද රාජ්‍යයේ නායකයා ලෙසින් මේවායේ වගකීම ජනාධිපතිවරයාට ද බැරවීම වැළැක්විය නොහැක.

මේ ආකාරයෙන් පසුබෑම් හා ජයග්‍රහණයන් මැද ගෙනගිය සිය පදවිප්‍රාප්තියේ සිව්වසරක කාලපරිච්ඡේදයේ යම් යම් අභ්‍යන්තර හැලහැප්පීම් ඇතිවූ බව ද රටට රහසක් නොවේ. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක ආණ්ඩුකරණය ද ඊට එක් හේතුවකි.

පසුගිය සමයේ ජනාධිපතිවරයා සිව් වසරක පදවිප්‍රාප්තිය අවසන් කිරීමට ආසන්නව තිබිය දී දැවැන්ත දේශපාලන පෙරළියකට මුල පුරන්නේ එහි පස්වැනි වසර මීට වඩා වෙනස් ආකාරයකට ගෙවා දැමීමට දැයි කියන්න දන්නේ නැත.


නව අදහස දක්වන්න