ඔස්ට්‍රේලියාව මෙල්ල කිරීමට චන්දිමාල්ගෙන් සැලසුමක් | දිනමිණ

ඔස්ට්‍රේලියාව මෙල්ල කිරීමට චන්දිමාල්ගෙන් සැලසුමක්

ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව ඉන්දීය පිල ලැබූ ඓතිහාසික ජයග්‍රහණය මෙන් සාර්ථකත්වයක් ලැබීමට නම් පිතිහරඹයේ ඉහළම දස්කම් පෙන්වමින් පළමු ඉනිමේදී ලකුණු 300ට වැඩි සංඛ්‍යාවක් ඉනිමට එකතු කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සිය පිතිකරුවන්ගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා පිල නවසීලන්තය සමග ටෙස්ට් තරගමාලාවකට ක්‍රීඩා කරමින් සිටියදී ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගමාලාවක් ජයගත් පළමු ආසියාතික රට බවට පත්වෙමින් විරාත් කෝලිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය පිල පසුගියදා තරග 2-1කින් ටෙස්ට් තරගමාලාව ජයගත්තේය.

ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා පිලේ ටෙස්ට් ඉතිහාසය ඉතා දුර්වල එකක් වන අතර මෙතෙක් පැවැති ටෙස්ට් තරග 13ක් අතරින් තරග 11ක් පරාජයට පත්වූ අතර තවත් තරග 2ක් ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. එමෙන්ම මේ ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිමේදී ලකුණු 300 සීමාව පසු කරනු ලැබුවේ අවස්ථා 4කදී පමණි.

කෙසේවුවත් බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ මේ මස 24 වැනිදා ආරම්භ වන දෙපිල අතර දිවා රාත්‍රී පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට තම උපදෙස් පිළිපැදිය හැකිවුවහොත් ඔස්ට්‍රේලියානු පිලේ පිතිකරුවන්ට පීඩනයක් ගෙනදිය හැකි අන්දමේ දැඩි අභියෝගයක් එල්ල කිරීමට පන්දු යවන්නන්ට හැකිවනු ඇතැයි චන්දිමාල් විශ්වාසය පළ කරයි.

‘අපිට දියුණු කරගැනීමට අවශ්‍ය එක් අංශයක් තමයි ඒක.‘ ඔහු මේ අදහස් පළ කළේ අද හොබාර්ට් නුවරදි ඇරැඹෙන තුන්දින පුහුණු තරගයට සූදානම් වෙමින් සිටින අතරතුරය.

‘නවසීලන්තයේ පැවැති ටෙස්ට් තරග 2දීම අපි සාර්ථකව ක්‍රීඩා කළා. විශේෂයෙන් දෙවැනි ඉනිම්වලදී. නමුත් අපිට පිත්තෙන් හෝ පන්දුවෙන් අපට තරගයට හොඳ ආරම්භයක් ලබාදිය යුතු වෙනවා. අප මේ සියල්ල නවසීලන්ත ටෙස්ට් තරගමාලාවෙන් ඉගෙන ගත්තා. අපේ ක්‍රීඩකයන්ට වෙන වෙනම සැලසුම් තිබෙනවා. ඔවුන්ට ඒ සැලසුම් ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ හැකි නම් අපට සාර්ථක ආරම්භයක් ලබාගත හැකියි.‘ චන්දිමාල් කියා සිටියේය.

‘අපේ වේගපන්දු යවන්නන් හොඳින් පන්දු යවමින් සිටින නිසා අපට ලකුණු 300 සීමාව පසු කිරිමට හැකිනම් එය වාසිදායක වේවි. ඉන්දියාවේ පන්ද යැවීමේ අංශය ඉතා හොඳ තත්ත්වයක තිබෙනවා. විශේෂයෙන් ඕවර 40-80 අතර. ඒ නිසා තමයි ඔවුන්ට ටෙස්ට් තරගමාලාව ජයගැනීමට හැකිවුණේ. අපිටත් කණ්ඩායමක් හැටියට එවැනි දස්කමක් පෙන්නුම් කිරිමට සිදුවෙනවා.‘ ඔහු කීවේය.

නවසීලන්ත ටෙස්ට් තරගමාලාවේදී පිත්තෙන් විශිෂ්ට දස්කම් පෑ ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු තරගමාලාවට ක්‍රීඩා නොකරයි. එබැවින් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට, කුසල් මෙන්ඩිස්ට සහ නායක චන්දිමාල්ට වැඩ වගකීමක් දැරීමට සිදුවනු ඇත.

‘මැතිව්ස්ගේ දස්කම් අප හැමෝම දන්නවා. ඔහු නොමැතිවීම බලවත් පාඩුවක්.‘ චන්දිමාල් කීවේය.

‘තරුණ ක්‍රීඩකයන්ට දස්කම් දැක්වීමට මෙය හොඳ අවස්ථාවක්. ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව හොඳින් දස්කම් දැක්වීමට හැකිනම් පිතිකරුවන්ට ඉදිරියේදී එය වඩාත් විශ්වාසනීයත්වයක් ලබාදේවි. ඔස්ට්‍රේලියානු කණ්ඩායම කෙතරම් දක්ෂ කණ්ඩායමක්දැයි අප දන්නවා. සෑම කණ්ඩායමකම කණ්ඩායමක් හැටියටත්, වෙන වෙනම ක්‍රීඩකයන් හැටියටත් පසුබෑම් සහ නැගිටීම් දකින්නට ලැබෙනවා. නමුත් ඔස්ට්‍රේලියාව තවමත් දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත විශිෂ්ඨ කණ්ඩායමක්. ආසියාතික කණ්ඩායමකට ඔස්ට්‍රේලියාවේදී තරගමාලාවක් ජයගැනීම කොහෙත්ම ලෙහෙසි නෑ.‘ ඔහු කීවේය.

ෆවුස් මොහො­මඩ් 

 

 

නව අදහස දක්වන්න