දර්ශාගේ ආසියා වාර්තා බිඳ හෙලූ බහරේනයේ ඇඩෙකෝයාට තහනම් උත්තේජක චෝදනා | දිනමිණ

දර්ශාගේ ආසියා වාර්තා බිඳ හෙලූ බහරේනයේ ඇඩෙකෝයාට තහනම් උත්තේජක චෝදනා

චන්ද්‍රිකා සුභාෂිණීටත් පදක්කම් බලාපොරොත්තුවක්

වසර 2002 බූසාන් ආසියානු ක්‍රීඩා උළෙලේදී දමයන්ති දර්ශා විසින් පිහිටවූ මීටර් 400 ආසියානු වාර්තාව වසර 12කට පසුව 2014 ඉචියොන් ආසියානු ක්‍රීඩා උළෙලේදී බිඳ දැමූ බහරේනය නියෝජනය කළ කෙමි ඇඩෙකෝයා තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා එල්ල වෙයි.

ඇඩෙකෝයා නයිජීරියාවේදී උපත ලැබුවද, 2014දී සිට බහරේන ජාතික කොඩිය යටතේ තරග බිමට පිවිසියාය. ඇය ස්ටෙරොයිඩ් ස්ටැනෝසොලෝල් නම්වූ තහනම් උත්තේජක භාවිතා කොට ඇතැයි චෝදනා එල්ලවී ඇත. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සිදුකරන ලද පරීක්ෂාවකදී ඇයගේ මූත්‍රා සාම්පලයේ තහනම් උත්තේජක තිබී ඇති අතර ඇයට තාවකාලික තරග තහනමක් ද පනවා ඇත. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ නීති රීති අනුව ක්‍රියාත්මක Athletics Integrity Unit නම්වූ තහනම් උත්තේජක මර්දනය වෙනුවෙන් පිහිටුවා ඇති විශුද්ධීකරණ ඒකකය මේ චෝදනා ගොණු කොට තිබේ.

කෙමි ඇඩෙකෝයා තහනම් උත්තේජක භාවිතා කළ ඇති බවට AIU වෙබ් අඩවියේ ලැයිස්තුගත කර ඇති අතර ඉදිරියේදී ඇය නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතුවේ. එම කරුණු අනුව තවදුරටත් චෝදනා ඔප්පු වුවහොත් ඇය දිනාගත් පදක්කම් අහිමි වනු ඇත.

එදා දමයන්ති දර්ශා විසින් මීටර් 400 ආසියානු වාර්තාව තත්පර 51. 13කින් පිහිටවු අතර කෙමි ඇඩෙකෝයා තත්පර 51. 11කින් මූලික වටයේ තරගයේදි වාර්තාව බිඳ හෙලුවාය. ඉචියොන් ක්‍රීඩා උළෙලේ ඇඩෙකෝයා රන් පදක්කම දිනා ගනිද්දී එහි සිවුවැනි ස්ථානය චන්ද්‍රිකා සුභාෂිණී තත්පර 52. 47කින් සිවුවැනි ස්ථානයට පත්ව ඇති හෙයින් 2014දී ඇඩකෝයා දිනාගත් පදක්කම තහනම් උත්තේජක චෝදනා මත අහිමි වුවහොත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා චන්ද්‍රිකා සුභාෂිණීට ලෝකඩ පදක්කම හිමිවේ.

එහෙත් මෙම ඉසව්වේ ආසියානු වාර්තාව පසුගිය වසරේ ඉන්දුනීසියාවේ ජාකර්තාහී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී බහරේනයේ සල්වා ඊඩ් නසීර් ක්‍රීඩිකාව තත්පර 50. 09කින් බිඳ හෙලා ඇති හෙයින් නව වාර්තාව සල්වා සතුව තිබේ.

තහනම් උත්තේජන චෝදනා ලැබූ කෙමි ඇඩෙකෝයා 2016 දී එක්සත් ජනපදයේ පොර්ට්ලන්ඩ්හි පැවති ලෝක ගෘහස්ථ ශූරතාවලියේදී මීටර් 400 ක් රන් පදක්කම දිනාගත් අතර පසුගිය වසරේ ඉන්දුනීසියාවේ ජාකර්තාහී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලු පැන දිවීම ආසියානු වාර්තාවක් හා මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව ලෝක වාර්තාවක් සමග රන් පදක්කම් දිනා ගත්තාය. එබැවින් මෙම තහනම් උත්තේජක චෝදනාව මෙම රන් පදක්කම් දෙකට හා ඇය විසින් පිහිටවූ වාර්තාවලට බලපෑමක් ඇති කරනු ඇත.

ප්‍රින්ස් ගුණසේකර


නව අදහස දක්වන්න